මරණයට නොබියව මුහුණ දෙන්න
අප්‍රමාදී වන්න
ශාස්ත්‍රපති
බඩල්ගම සුමේධ හිමි
සිහි නුවණින් කුසලයෙහි යෙදීම, කෙලෙස් දුරුකිරීම, නොබැඳී නොඇලී යහපත් පැවතුම් ඇතිව
නිවනට මඟ සලසා ගැනීම පමා නොවීමයි. කෙලෙස් මඩින්නට නම් මුලා නොවිය යුතු ය. සිහිනුවණ
උපදවා ගත යුතු ය.
ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන් පංච උපාදානස්කන්ධයන් සමඟ නිරන්තර
බැඳීමකට ලක්වන අතර, මෙය මම ය මාගේ ය වශයෙන් නොගෙන අත්හැරීමට මඟ සලසා ගැනීම ම පමා
නොවීමයි. එය අප ලබන උතුම් භාග්‍යය ද වේ.
පමා වූවෝ සසර සැරිසරන්නට හේතුවන බැඳීම් ඇති හෙයින් ඉපදීම් මැරීම් මූලික කොටගත්
දුකින් පෙළෙන්නෝ ය. පමා වන්නෝ මරණයට බිය වෙති. අප්පමාදි වූවෝ මරණයට බිය නොවෙති.
හිරි ඔතප් ධර්මය පිළිබඳ දැන සකස් වීම අප්‍රමාදී බව වේ. පවට ඇති ලජ්ජාව, පවට ඇති බිය
පිළිබඳ විමසුම් ඇසක් ගොඩනඟා ගත යුතු වේ.
පංචශීලය තුළ ශික්ෂණයක් ගොඩනැඟීම මූලිකව මේ සඳහා උපකාරි වේ. එයින් වර්ධනය වන මානසික
ස්වභාවයන් තුළ අටසිල් දසසිල් දක්වා අප අපම වර්ධනය වීම හා දස කුසල්, අටමහ පින්කම්
මෙන්ම දස පුණ්‍ය ක්‍රියාවල නිරතවීම ද අප්‍රමාදී බව වේ.
මේ තුළින් ලෞකික සම්මා දිට්ඨියක් ඇතිවන අතර, ලෝකෝත්තර සම්මා දිට්ඨියකට මග සකස් වීම
ද සිදුවන්නේ ය.
වෙසෙසින් දැනුම ඇත්තා අප්‍රමාදී වේ. ඔහු නිවන් පසක් කරනා අයුරු ද පමා වීමෙන් මැරි
මැරි සසර දුකට පත්වන අයුරු ද තතු ලෙස අවබෝධ කර ගනී. බෙහෙවින් සතුටට ද පත්වන අතර
නොපමාව ගුණ රැකීමේ අගය අන් අයට කියා දෙයි. තමා ද නිරන්තරයෙන් නොපමා බව අගය කරනා සේ
ම සිව්සස් අවබෝධයට අවශ්‍ය කරුණු ප්‍රගුණ කරන අතර, අන් අයට එය අවබෝධ වීමට ද ඉඩ හරිනු
ලබයි.
නැඟී සිටි වීර්යයෙන් යුතුව කුසීතකම, කම්මැලිකම මැඩගෙන යහපත සඳහා කය, සිත වෙනස්වීම,
පුද්ගල දියුණුව සේ ම යසස, කීර්තිය ඔප් නැංවෙන කාරණාවක් ද වේ. විශේෂයෙන් ලෞකික සිත
නිතරම පැරැණි හුරු පුරුදු කරා යාම ස්වභාවික ය. සිත අලුත් මුහුණුවරකට ගෙන යාමට නම්
මහත් වෙහෙසක් දැරිය යුතු වේ. ඒ ගන්නා වූ උත්සාහය "සම්මා වායාමය" වේ. "සම්මා වායාමය"
නොපමා බවේ ප්‍රබලතම සාධකය වේ.
නූපන් අකුසල් නූපදවීම
උපන් අකුසල් නැති කිරීම
උපන් කුසල් වැඩි දියුණු කිරීම
ආදී මේ උත්සාහයන් තුළ කායික, වාචසික, මානසික අභිවර්ධනය සිදුවේ.
කුසල් අරමුණක් මත සිත පිහිටුවා ගැනීමට හැකියාව වර්ධනය වේ. සතිමත් බව සියලු
කාරණාවෙහි යුතු අයුතු බව වටහා ගන්නා බවයි. කය අනුව බැලීම වේදනාව අනුව බැලීම, ධර්මය
අනුව බැලීම සිත අනුව බැලීම විවිධ අරමුණු කෙරෙහි විසිරී ගිය සිත එකමුතු කොට සිහිය
පිහිටුවා ගැනීම ම අප්‍රමාදී බව වේ.
සියලු දෙයෙහි විමසීම, හික්මුණු කය, වචනය, සිත ඇතිකර ගැනීම, දැහැමින් දිවි පවත්වා
ගැනීම, ගිහියන් නම් පවින් වැළැකී වැරැදි වෙළඳාම් ආදී ජීවන ක්‍රියාවන් තුළින් ඈත්ව,
පැවිද්දකු නම් ආර්ය ශීලයෙහි පිහිටා කටයුතු කිරීම ආදි ගුණාංග මත අප්‍රමාදී ගුණය
නිතැතින් ම ආරක්ෂා වේ.
වර්තමාන සාමාජීය ක්‍රියාවලිය තුළ පමාවීම අප්‍රමාණ ය. විවිධ ක්‍රියාකාරකම් තුළ
පමාවීම ගැන විවිධ කතිකා පවත්වන්නෙමු. දිනපතා වේලාව හඳුනා නුවණින් පරීක්ෂා කොට
කළමනාකරණ න්‍යායන් ජීවිතය තුළට ඇතුළත් කොටගෙන කාලසටහන් ක්‍රියාවලියක් තුළ හා
අන්‍යෝන්‍ය ළබැඳියාව සබැඳියාව තුළ කටයුතු කිරීම මඟින් පමාව පරයා නොපමාව වර්ධනය
වන්නේ ය. |