[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

බුද්ධානුභාවයෙන් සෙත සැලසෙන බෝධි පූජාවක අරුත දැනගනිමු

බුද්ධානුභාවයෙන් සෙත සැලසෙන බෝධි පූජාවක අරුත දැනගනිමු

බෝ හෙවත් බෝධි යනුවෙන් අප හඳුන්වන්නේ අස්වත්ථ වෘක්ෂයයි. බෝධි යන්නෙහි අර්ථ හතරකි. එනම් සර්වඥතා ඤාණය, ආර්ය මාර්ගය, පැනවිම සහ ඇසතු රුක යන තේරුම් ය.

ඇසතු රුකට ආයු කාලය බොහෝ ය. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූයේ ඇසතු වෘක්ෂයක සෙවණේ ය. මෙනිසා බුද්ධානුස්මෘතිය උපදවා ගැනීමේ සජීවි සංකේතයක් හැටියට බෞද්ධයෝ සමස්ත ඇසතු රුක්ෂයන්ට ගරු බුහුමන් කරති.

බුදුන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍ය අතර බෝධිය පාරිභෝගික චෛත්‍ය අතරට වැටේ. ගෞතම බුදුන්ගේ බුද්ධත්වයට පෙර දීත් බෝධි වෘක්ෂය ඉන්දියාවේ ප්‍රභූන්ගේ පවා පූජාවන්ට ලක්ව තිබේ.

සුජාතා සිටු දියණිය කිරිපිඬු පූජාව සූදානම් කළේ සිදුහත් තාපසයන් බුදුවීමට පෙර දිනයේ ය. ඇය එම දානය සූදානම් කළේ බුදුරදුන් උදෙසා නොව එම වෘක්ෂයේ අධිගෘහිත දෙවියන් උදෙසා ය. බුදුරදුන් ද ඇසකු වෘක්ෂය ආශ්‍රය කරගෙන පහල වූ බැවින් ඉන්දීය සමාජයේ එම වෘක්ෂය වඩාත් වන්දනාමානයට පාත්‍ර විය. අශ්වත්ථ වෘක්ෂය විෂ්ණු ප්‍රතිමූර්තියකි. එමෙන්ම බෝධිය නමින් එය බුදුන්ගේ ප්‍රතිමූර්තිය බවට පත්විය. මෙම සංකල්ප දෙකම හින්දු හා බෞද්ධ සංකල්පවල සම්මිශ්‍රණයකි.

බෝධි කතා පුවතින් බුදුරදුන් ජීවමාන සමයේ දී ම ඇසතු රුක පූජනීය වස්තුවක් බවට පත්වූ බව කියැවේ. බුදුරදුන් පිදීමට දෙව්රම් වෙහෙරට සැදැහැවතුන් නිරතුරුව පැමිණෙන අතර, ඔවුහු බුදුරදුන් නොමැති විට පූජා ද්‍රව්‍ය ඉවතලා කණස්සළු සිතින් යන අයුරු අනේපිඬු සිටු තුමා ආනන්ද තෙරණුවන්ට සැළකර තිබේ. මේ සඳහා ප්‍රතිකර්මයක් ලෙස බුදුරදුන් නොමැති විට බුදුරදුන්ගේ සංකේතයක් නියම කරන ලෙස ආනන්ද හිමි බුදුහිමියන්ගෙන් විමසා සිටියේ ය. එවිට බුදුරදුන් දෙසා ඇත්තේ උන්වහන්සේ විසින් ප්‍රයෝජන ලැබූ බෝධිය තමන් වහන්සේ නොමැති වූ විට බුදුරජාණන් හා සමාන වන බවයි. එවිට ජය ශ්‍රී මහා බෝධියේ බීජයක් දෙව්රම් වෙහෙරේ රෝපණය කිරීමට ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලූහ. එහි දී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ එය රෝපණය කළ විට තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙරේ නිරතුරු වැඩවසන්නාක් මෙන් වන බවයි. ආනන්ද බෝධිය වූයේ එම බෝධියයි.

බෝධීන් වහන්සේට පූජා පැවැත්විය යුතු ආකාරය කාලිංග ජාතකයෙහි මෙලෙස සඳහන් ය.

සුවඳ පැනින් බෝධිය නෑවීම, මල් පහන් සුවඳ දුම් පිදීම, මල්දම් එල්ලීම, ධජ පතාකවලින් බෝධිය සැරසීම, පුන්කලස් තැබීම, ප්‍රාකාර දොරටු සහ වේදිකා ඉදිකිරීම, බෝ මළුවේ රන්වන් , රිදීවන් වැලි ඉසීම, තූර්ය වාදනය, ප්‍රදක්ෂිණා කිරීම හා සාධුකාරදීම සහ වන්දනය යන ආකාරයෙනි.

බෝධි පූජාව සංවිධානාත්මකව පවත්වන්නේ ද පළමුවෙන් ම බෝධිය නැහැවීමෙනි. ඇසතු වෘක්ෂය ඝර්ම කලාපීය වෘක්ෂයක් වන බැවින් එහි පැවැත්මට ජලය අවශ්‍ය ය. එසේ ගසේ පැවැත්මට අවශ්‍ය ජලය පිදීමෙන් ඊට උපකාර කර පිහිටක් ඉල්ලීම මෙහි හරයයි.

කල් යාමේ දී දේව පූජාවක දී කරනු ලබන සියලු වතාවත් බෝධි පූජාවේ චාරිත්‍රවලට ද එක්ව තිබේ. බෝධිය නැහැවීම පුරාණ සිංහල රජ දරුවන් විසින් ද ඉටුකළ චාරිත්‍රයකි.

ක්‍රිස්තු පූර්ව එක්වැනි සියවසේ රජ පැමිණි භාතිය රජතුමා එබඳු පූජාවක් පවත්වා ඇති බව ඉතිහාසයේ සඳහන් ය. එය බෝධි සිනාන පූජාව ලෙස හඳුන්වා ඇත. ඉන් පසු රජවරුන් ද බෝධිය නැහැවීමේ චාරිත්‍රය පවත්වා ඇත.

ප්‍රාග් බෞද්ධ යුගයේ ද පෞද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම උදෙසා ඇසතු, නුග වැනි වනස්පතී වෘක්ෂයන්ට පුද පූජා පැවැත්වීම චාරිත්‍රයක් විය. එසේ ජනයා හුරු පුරුදුවී සිටි පුද පූජා බෝධියට කළ හැකි වූයෙන් සාම්ප්‍රදායික වෘක්ෂ වන්දනා ක්‍රමය බෞද්ධයන් අතරින් ඈත්විය. එසේ වුවත් බෝධි වන්දනයෙන් අත්වන පිනෙන් ඔවුන්ගේ අභිමතාර්ථ සාර්ථක වන විශ්වාසය ඇත. අභිමතාර්ථ සාධනය වූ විට තවත් එවැනි පින්කම් කර කෘතවේදීත්වය පළකිරීමටත් බෞද්ධයින් පෙළඹිණි. එයට මූල පාදක වී ඇත්තේ, ඉතිහාසයේ මුල්ම බෝධී පූජාව වූ බුදුන් වහන්සේගේ සත් සතියේ දී අනිමිස ලෝචන පූජාව පැවැත්වීම ය.

එම ආනුභාවයෙන් පුද්ගලයින්ගේ අපල උපද්‍රව දුරුකීරීම, ලෙඩදුක් නිවාරණය, වසංගත රෝග දුරුකීරීම, දෛනික ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීම, ආරක්ෂාව, සශ්‍රීකත්වය, දරු සම්පත් ප්‍රාර්ථනා කිරීම, විභාග සමත්වීම හා රැකී රක්ෂා තනතුරු ආදිය ලබා ගැනීම ආදී විවිධාකාර අරමුණු ඉටුකර ගැනීම සඳහා ජනතාව බෝධී පූජාවේ පිහිට පතයි.

ඊටත් අමතරව වැසි වස්සවා ගැනීම, විවාහ සහකරු හෝ සහකාරිය සොයා ගැනීම හා ගම්බිම්වල ආරක්ෂාව ආදී විශේෂිත කාර්යයන් සඵලවීමට ද බෝධී පූජා පවත්වනු ඇත.

අනුරාධපුර වැඩ හිඳීන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුකරන බව ලෝකයට ම පසක් වූ කරුණකි. දිනපතා එම පින්බිමට ඇදී එන දහස් සංඛ්‍යාත ජනකාය ම ඊට සාක්කි දරයි.

එලෙසම සෑම විහාරස්ථානයක ම අනිවාර්ය අංගයක් ලෙස වඩා ඉඳුවා ඇති බෝධීන් වහන්සේ ද මේ ආනුභාවය දරයි. මල්මාලා එල්ලීමෙන්, ප්‍රාර්ථනා වැකි ලියා හෝ නොලියා හෝ කොඩිවැල් හෝ ලෙස ධජ එල්ලීමෙන්, බෝ මළුව අමැදීමෙන්, මළුවට සුදුවැලි ඉසීමෙන්, පහන් දැල්වීමෙන්, පැන් වත්කිරීමෙන් , බෝධි වර්ණනා කවි කීමෙන්, පිරිත් කීමෙන් හා බෝධීන් වහන්සේට අධිගෘහිතව වැඩවසන දෙවි දේවාතවුන්ට පින්දීමෙන් බැතිමත්හු ඒ හැම බෝධියකින් ම සෙත් ශාන්ති ලබති.

බෝධි පූජාව සංවිධානය කරනු ලබන අරමුණ, කාල වේලාව, ස්ථානය, ප්‍රාදේශීය සම්ප්‍රදායන් හෝ ඒ ඒ ස්ථානවල ආවතේව විධි අනුව මෙම පූජාවන් පවත්වන ක්‍රම අතර වෙනස්කම් තිබිය හැකි ය. එහෙත් සමස්ත බෝධිපූජාවේ හරය මෙය ය.

බෝරුක අධික වශයෙන් ඔක්සිජන් නිපදවන ශාඛයක් බැවින් මාරාන්තික පිළිකා රෝග , දියවැඩියාව, ආදි ලෙඩ සුව කිරීමට බෝ සෙවණේ භාවනා කිරීම හොඳම පිළියමක් ලෙස බටහිර වෛද්‍යවරු ද විශ්වාස කරති. බුද්ධ ආනුභාවය සපිරි බෝධියට පූජා පැවැත්වීම බුදුරදුන් උදෙසා කරන පූජාවක් ලෙස ජනයා අදත් විශ්වාස කරන්නේ එනිසයි.

ඔබ සැමට බෝ සමිඳු පිහිටයි !


මැදින් පුර පසළොස්වක

මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පුර පසළොස්වක ලබා
07 අඟහරුවාදා අ.භා. 06.09 න් ගෙවේ.
06 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]