පරලොව ගිය අයට දිය හැකි අග්‍රතම
තිළිණය
යම් කෙනකුට පිරිනැමිය හැකි මහඟු තිළිණය ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ මිය ගිය
ඥාතීන් වෙනුවෙන් පින්දහම් කිරීම හා එම පින අනුමෝදන් කරවීමයි. තවද පින් අනුමෝදන්
කරන්නා එ මඟින් තවත් පිනක් රැස් කර ගන්නා බව ද උන්වහන්සේ වදාළ සේක.
කුසල් කිරීමේ යෙදුණු, විශේෂයෙන් ම ‘මහණ බමුණන්ට දන්දීමේ යෙදුණු අයට එම කුසල් තම මිය
පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් කරන ලෙස බුදුරදුන් ඔවුනට උපදෙස් දී ඇත. දන්දීමේ දී
මියගිය ඥාතීන් වෙනුවෙන් දන් දීමට ද, දන් දෙනවිට මෙසේ සිහිපත් කරන ලෙස ද උන්වහන්සේ
උනන්දු කළ සේක.
එනම් ඔහු ජීවත්ව සිටිය දී ඔහු මෙවන් සම්පත් මට දී ඇත. ඔහු මේ දේ මා වෙනුවෙන් කර ඇත.
ඔහු මගේ අසවල් ඥාතියා ය. මගේ හවුල්කරු ය යනාදි වශයෙනි.
(තිරෝකුඩ්ඩ සූත්‍රය ඛුද්දකපාඨ)
ඇඬිමෙන් පලක් නැත. දොම්නස් වැළපීම්, ළාතෝනි දීම්වලින් මළගියවුනට කිසිදු යහපතක් නො
වන්නේ ය. මළගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමේ පොදු විශ්වාසය පදනම් වී ඇත්තේ
කෙනකු මිය ගිය විට ඔහුගේ පින් පව් එකිනෙක ගෙන තුලනය කිරීමෙන් ඔහුගේ ඉරණම තීරණය
කිරීම ගැන ය.
ඔහුගේ ක්‍රියා කලාපය ඔහු යහපත් ස්ථානයක ප්‍රතිසන්ධිය ලබා ගනී ද, අයහපත් රාජධානියකට
වැටේ ද යන්න තීරණය කරත්ම මිය ගිය අයගේ ආත්මය අනික් මිය ගිය අයගේ ආත්ම ඇති ලෝකයකට
ගමන් කරන බව සමහර අයගේ විශ්වාසයකි.
පහත් ලෝකවල උපදින අයට අලුතෙන් පින් රැස් කර ගැනීමට නො හැකි ය. මෙලොව දී උපයා ගත්
පින් මහිමයෙන් එහි ජීවත් විය යුතු ය. අනුනට හානි නො කර ජීවිත කාලය තුළ දී කුසල්
රැස් කර ගත් අය නිරායාසයෙන් පහසු ස්ථානයන්හි උපත ලබන්නට වාසනාව ලබති. එවැනි අයට
ජීවත්ව සිටින ඥාතීන්ගේ ආධාරය අනවශ්‍ය යි. කෙසේ වෙතත් සුවදායක ස්ථානයන්හි ඉපදීමට
තරම් අවස්ථා නැති අය ජීවත්ව සිටින ඥාතීන් ගේ පින් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ
තමන්ගේ ඌණතාව සපුරාගෙන සතුටුදායක වාසස්ථානයක ඉපදීමට හැකිවීම සඳහා ය.
අවාසනාවත් ආත්මභාවයන්හි පුනරුත්පත්තිය ලැබූවන් ඔවුන්ගේ වේදනාකාරී තත්ත්වයන්ගෙන්
මුදවාගත හැක්කේ තම මිතුරන්, ඥාතීන් කරන්නා වූ කුසල කර්මයන්ගේ පින පවරා දීමෙන් හෙවත්
අනුමෝදන් කිරීමෙනි.
මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බෞද්ධ මතය පැරැණි යුග සිසාරා පැමිණි හින්දු
සමයේ චාරිත්‍රයක අනුරූපයකි. මියගිය ඥාතීන්ගේ ආත්මයට සාමයෙන් ජීවත්වීමට විවිධ උත්සව
පවත්වමින් ආධාර කරති. මේ චාරිත්‍රය ඇතැම් බෞද්ධ රටවල සමාජ ජීවිතයේ මහත් බලපෑමක්
කෙරෙයි. කිසියම් යහපත් වැඩක් කළ කල්හි මියගිය අය සිහි කරති. බොහෝ විට එය කරනු
ලබන්නේ ඔවුන්ගේ ජීවිත හා සම්බන්ධ අවස්ථාවල දී ය. එනම් උපන් දිනය හෝ අභාවය ස්මරණය
කරන සංවත්සරවල දී ය. එවැනි අවස්ථාවල සාමාන්‍යයෙන් පවත්වනු ලබන පුද පූජා ද වෙයි.
පවරන්නා හෙවත් අනුමෝදකයා යම් භාජනයකින් ජලය ගෙන වෙනත් භාජනයකට වත් කරමින් පාලි
ගාථාවන් කියයි. එහි අන්තර්ගත අදහස මෙසේ ය.
යම් සේ ගංගාවන් පිරී ගිය කල
වහා ගලා ගොස් මහ සමුදුරට වදී ද,
එසේ ම මෙතැ නින් වෑහෙන ජලය ගලා යන සේ එහි සිටින මියගියඅයට ඵලදායී වේවා
උස් තැනින් වැගිරූ මේ ජලය
පහළට වැගිරී යන සේ මේ දුන් පින
එහි සිටින ජීවීන්ට අත්වේවා
නිධිකණ්ඩ සූත්‍රය - ඛුද්දක පාඨ
පින් අනුමෝදන් කිරීමේ මූලාරම්භය හා වැදගත්කම ශාස්ත්‍රීය විවාදයකට විවෘත වූවකි. මෙකී
පැරැණි සිරිත අද දක්වා බොහෝ බෞද්ධ රටවල පවතින නමුදු මෙය අනුගමනය කරන බෞද්ධයන්
අතුරෙන් මෙම පුණ්‍යානුමෝදනාවේ අර්ථය හා යෝග්‍ය ක්‍රියා පිළිවෙළ අවබෝධ කර ගෙන ඇත්තේ
ඉතා ටික දෙනෙකි.
සමහරු නිකරුණේ කාලය හා ධනය මිය ගිය අය සිහි කිරීමේ උත්සව සහ පරිසාධනයන් සඳහා නාස්ති
කෙරෙති. මේ පුද්ගලයෝ අධික වියදමින් භූමදානාගාර, සොහොන් කොත්, තොරණ හා වෙනත් ආම්පන්න
ගොඩනැඟීමෙන් මිය ගියවුනට සෙතක් සැලසිය නොහැකි බැව් වටහාගෙන නොමැත.
හඳුන්කූරු, කඩදාසි දැල්වීමෙන් පරලොව ගිය අයට ආධාර දිය හැකිද? නැතහොත් සත්ව ඝාතනය
කරමින් සතුන් බිලි පූජාවලට යොදා ගනිමින් ආහාරපානාදිය දීමෙන් මිය ගිය ඇත්තනට පිළිසරණ
විය හැකි ද? තවද දුප්පතුනට දිය හැකි මියගිය ඇත්තන් පරිහරණය කළ දෑ ගිනි දෙවියනට පුද
කිරීමෙන් මියගිය අයට සැලසෙන සෙතක් නැත. එය නාස්ති කිරීමක් පමණි.
මිය ගිය අයට උදව් විය හැකි එකම ක්‍රමය නම් ඔවුන් සිහිකර ආගමානුකූල ක්‍රමයකට කිසියම්
කුසල ක්‍රියාවක යෙදීම ය. එකී පුණ්‍ය ක්‍රියාවකට දන්දීම, පාසල් ගොඩනැඟිලි ඉදිකිරීම,
විහාරස්ථාන, අනාථ නිවාස, පුස්තකාල ආරෝග්‍යශාලා දහම් පොත්පත් බෙදාදීම වැනි කටයුතු
ඇතුළත් විය හැකි ය.
බුදුරදුන්ගේ අනුගාමිකයන් නැණවත් ලෙස කටයුතු කළ යුතු ය. කිසිවකු අන්ධානුකරණය නො කළ
යුතු ය. වෙනත් අය මිය ගියවුන් වෙනුවෙන් යාඥා පවත්වන අතර බෞද්ධයෝ ඔවුන්ගේ මෛත්‍රී
සහගත චෛතසික තරංග මිය ගිය අය වෙත පතුරුවති. පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් එම පින් මිය
පරලොව ගියවුන්ගේ සුබ සාධනය සඳහා අනුමෝදන් කෙරෙති.
මියගිය අයගේ නම පැවතීමටත්, ඔවුනට සැබෑ අන්දමින් හරසර දැක්වීමටත් හොඳම ක්‍රමය එයයි.
ඔවුන් සුවපත් වූ විට මිය ගිය ඇත්තන්ට ද ඔවුන්ගේ ජීවමාන ඥාති මිත්‍රාදීනට ද, ඒ අයගේ
ආශීර්වාදය ද, අන්‍යොන්‍ය කරණය ද සිදුවිය හැකි ය.
එබැවින් ජීවතුන් අතර සිටින ඥාතීන්ගේ යුතුකම වන්නේ පින් අනුමෝදන් කරවීමෙන් හා ඝෘජුව
ම මෛත්‍රිය පැතිරවීමෙන් තම මිය පරලොව ගිය අය සිහිපත් කිරීම ය.
කේ.ශ්‍රී ධම්මානන්ද හිමි |