නවම් අමාවක 2023-02-19
තමන් දැවෙමින් අනුන් දැවීම
යම් පුද්ගලයකුගේ සැබෑ ස්වරූපය හඳුනාගත හැකි ඔහු දෙස බලා සිටින, ඔහු සමඟ ගනුදෙනු කරන
අන්‍යයන්ට නොව ඒ පුද්ගලයාට ම ය. තමන්ගේ සිතිවිලි ක්‍රියාත්මක වන ආකාරය, තමන් ලෝකය
දෙස බලන ආකාරය අන් සියල්ලන්ට ම වඩා හොඳින් අවබෝධ කර ගන්නේ තමන් ම ය.
ඒ හඳුනාගැනීම තුළ තමන්ගේ යහපත්කම, අයහපත්කම පිළිබඳ විනිශ්චයකට එළඹිය හැකි ය. ඒ
විනිශ්චය අනුව ඉදිරියට තම හැසිරීම් හසුරුවා ගත යුතු ආකාරය පිළිබඳ නිවැරැදි තීරණයක්
ගන්නට පුළුවන. යම් හෙයකින් අයහපත් පැවැත්මක්, අයහපත් දැක්මක්, අයහපත් ආකල්පයක් වූයේ
නම් මින් ඉදිරියට එතැනින් මිදීමේ තීරණය ම අර්ථවත් ජීවිතයකට අවශ්‍ය පසුබිම ගොඩනඟනු
ඇත.
ජීවන අර්බුද උග්‍රවන තරමට පීඩාකාරී වන සමාජය ඒ අසහනය පිට කරන්නේ බොහෝවිට අනුන් වෙත
කෝපාග්නිය දල්වමිනි. ක්‍රෝධය මුදාහරිමිනි. මේ සිතිවිලි දැනෙන වහාම එහි භයංකරත්වය
අවබෝධ කර ගන්නවා නම් තමන් දැවී, අනුන් ද දවන කෝපාග්නිය වෙනුවට මෛත්‍රියේ සිසිලස ළඟා
කර ගනිමින් තමන් ද නිවී, අනුන්ට ද සිසිලසක් වන්නට පුළුවන.
ක්‍රෝධයේ විනාශකාරී බව ගැන දැනුම්වත් වන තරමට එය දුරු කර ගැනීම පහසු ය. සම්බුදු
දහමට අනුව ක්‍රෝධයේ පීඩාව දැඩිව දැනෙන්නේ අනුන්ට නොව තමන්ට ම ය. ඒ ක්‍රෝධයෙන් මත්
වූ පුද්ගලයාට හොඳ නරක තෝරා බේරාගත නොහැකි බැවිනි. ඒ නිසාම කයින් හා වචනයෙන් පව්
සිදුකර ගනී. ඒ නිසාම ධනයෙන් ද පිරිහේ. නින්දාව, ඥාති හිතමිතුරන් දුරස්වීම පමණක් නොව
පිළිසරණක් ලැබිය යුතු අවස්ථාවේ කිසිවකුගේ පිළිසරණක් නැති හුදකලා වූ අසරණයකු බවට
පත්වීම ක්‍රෝධයේ ප්‍රතිවිපාක ය.
සමාජය පළමුවෙන් ම කෙනෙක් පිළිබඳ නිගමනයකට එළැඹෙන්නේ බාහිර ස්වරූපයෙනි. දුර්වර්ණ වූ
අප්‍රසන්න මුහුණින් යුතු පුද්ගලයකු අප්‍රසාදය සමඟින් ප්‍රතික්ෂේප වීම සාමාන්‍ය
ස්වභාවයයි. මෙම ස්වරූපයට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ සිතෙහි පවත්නා ක්‍රෝධ සහගත
බවයි.
පවට ලජ්ජාවිය යුතු බව, බිය විය යුතු බව සම්බුද්ධ දේශනාවයි. ලජ්ජා බිය ඇති පුද්ගලයා
වචනය සේ ම කය ද සංවර කර ගනී. ඔහු කිසිවිටෙක අශිෂ්ට වචන භාවිත නොකරයි. අසභ්‍ය,
නිසරු, අනර්ථ වචන භාවිත නො කරයි. ක්‍රෝධ සිතිවිලි ඇති පුද්ගලයාට පවට ලජ්ජා බිය නැත.
එහෙයින් කය හෝ වචනය සංවර කර ගැනීම පිළිබඳ නාම මාත්‍රයක හෝ හැඟීමක් ඔහුට නැත.
සම්බුදු දහමට අනුව අයහපත්, ධාර්මික ක්‍රියාවෙන් වෙන් වූ, තැවීම පිණිස වන යම්
ක්‍රියාවක් වේ නම්, කිපෙන්නා එවැනි ක්‍රියාවන්හි ම නිරත වෙයි. ක්‍රෝධයේ, කෝපයේ
විනාශය මෙවැනි ය. මෙලොවට පමණක් නොව මරණින් මතු ජීවිතයට ද විපත්තිකර ය.
කුඩා කල සිටම ක්‍රෝධ සිතිවිලි පාලනය කර ගන්නට, මෛත්‍රී සිතිවිලි පුරුදු පුහුණු කර
ගන්නට, යහපත් ආකල්පයන්ගෙන් සිතිවිලි පෝෂණය කර ගන්නට අවශ්‍ය වටපිටාව විශේෂයෙන්
වැඩිහිටියන්, ගුරුවරුන් විසින් තම දරුවන්ට, සිසු දරු දැරියන්ට සකසා දිය යුතු ම ය.
නැතිනම් හෙට දවසේ අපට දකින්නට හැකි අසංවේදී, අමනුස්සකම් රජයන සමාජයකි.
පසුගිය දා තරුණ දරුවන් කිහිප දෙනෙක් එක් වී තමන්ට අවවාදයක් දුන් පියකුට ජීවිතය
නැතිවන තුරු පහර දුන්නේ ඒ අමනුස්සකම් ප්‍රදර්ශනය කරමිනි. අප වහා කටයුතු කළයුතු
එවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත නොවන තැනට ය. මිනිසත් ගුණ ඇති මිනිසුන්ගෙන් මේ
සමාජය පරිපූර්ණ වන තැනට ය. |