අවිද්‍යාෙවන් මඟ ඇහිරුණු සසරක ස්වභාවය
“පුනබ්භව“ නම් වූ නැවත නැවත සකස්වන “භවය“ නම් වූ සංකල්පය බෞද්ධයාට බොහෝ සමීප ය. එය
නැවත නැවත ඉපදීම ලෙස හුරු පුරුදු ය. පින, පව අනුව නැවත ඉපදීම සිදුවන බවත්, මෙය ම
සසර ලෙසත් අපි තේරුම් ගෙන සිටිමු.
නැවත ඉපදීමේ දී වැඩිපුරම උරුම වන්නේ දුගතියයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබූව ද ඉපදීමේ සිට
ලෙඩවීම, දිරාගෙන යෑම, මරණය, ප්‍රියයන්ගෙන් හෝ ප්‍රිය වස්තුවෙන් බැහැරවීමට සිදුවීම,
කැමති දෑ නො ලැබීම හෝ කැමැති ලෙසින් ඉටුනොවී ම ආදී අපමණ වූ කායික සහ මානසික දුක්ඛ
දෝමනස්සයන්ගෙන් පිරී පවතී. මේ මානසික දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස් වීමේ හොඳම ක්‍රමය
මුදල් ඉපයීම හෝ මුදල් ඉපයීමේ මාර්ගය ගොඩනඟා ගැනීම බව සමාජයේ පොදු මතයක් ව පවතී.
තවත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම්, මේ ගෙවන ලෞකික ලෝකයට ම බැඳී හැකිතාක්දුරට ඇස,
කන, නාසය, දිව, ශරීරය ආදී වූ ඉඳුරන් පිනවීම බව විශ්වාස කරති.
ඉගෙනීම, උපාධිය, රැකියාව හෝ සුදුසුකම්, තනතුරු, ගේදොර, යානවාහන, ඉඩකඩම්, විනෝදවීම්,
ක්‍රීඩා ආදිය ජීවිතයේ පැවැත්ම බව බොහෝ දෙනෙක් සිතති. මේවා ජීවිතය නොවේ. ජීවිතයට මේ
දේවල් එපා යැයි මෙහි දී අදහස් නොකෙරේ. ජිවිතය යනු කුමක් දැයි තේරුම් ගනිමින් මේ
සියල්ල මෙහෙයවීමට උත්සාහවත් විය යුතු ය.
අප ජීවත් වන සමාජයේ වැඩි පිරිසක් පස්පව්, දස අකුසලයන්ට යොමු වී සිටින්නේ ආහාර පාන,
අඳීන්නට ඇඳුම් නැති නිසා ම නොවේ. ඒ වගේ ම ඉන්නට ගේ-දොරක් නැති නිසා ම නොවේ. ලෙඩක්
දුකක් හැදුණුවිට බෙහෙත් හේත් නැති නිසා ම නොවේ. ජීවිතයේ යථාර්ථය, ලෝක ස්වභාවය මදක්
හෝ අවබෝධ කර නො ගැනීම නිසාය. එසේ නොමැති නම් ඒ ගැන සිතන්නට තරම් ඕනෑකමක් නැති නිසා
ය.
මෙයින් පැහැදිලි වන්නේ, ඔවුන් සිතන ආකාරයට ආහාර ගැනීම, නිදාගැනීම, කාමසේවනය, ඇස කන
ආදී පිසිඳුරන් පිනවීම ම ජීවතය බව ය. මේවා තිරිසන් සත්වයාටත් පොදු වූ දේ ය.
“ජීවිතය“හෝ “ජීවත් වෙනවා ය“ යැයි සමාජ සම්මතයෙහි උගත් යැයි පවසන පිරිස් සමාජ
විරෝධීව බලවත් වූ ආත්මාර්ථකාමී බවෙන් යුතුව හැසිරෙති. ආර්ය මාර්ගයට ඇතුළු වන තෙක්
සෑම අයෙක් තුළ ම යම් වූ ද ප්‍රමාණයකට හෝ ආත්මාර්ථකාමී බවක් දක්නට ලැබේ. එය සමාජ
සම්මතයෙහි පිහිටා ඉගෙනීම, තනතුරු ලැබීම්, ධනය ඉපයීම්, ගේ-දොර ඉදිකර ගැනීම ආදිය විය
හැකි ය. ඒ අතර තවත් පිරිසක් විශාල ලෙසින් ධනය උපයා ගැනීමට සිතයි. එය සමහර විටෙක
වංචනික හෝ පාපී ක්‍රියාවල යෙදීමෙන් විය හැකි ය. ඒ නිසා ම ඔවුන් සමාජයෙන් නින්දා
ලබති. හිරේ විලංගුවේ වැටෙති. රණ්ඩු දබර, ගහ බැණ ගනිති, උසාවිවල නඩුවලට පැටලෙති.
අවසානයේ දිවි නසා ගන්නට වූව ද පෙළඹෙති. ඒ අතෘප්තිකර ආශාවලින් ජීවිතය පවත්වා
ගැනීමෙන් ජීවිතයට සිදුවන අහිතකර බලපෑම් ය.
ඒ වගේ ම තවත් සමහර කෙනෙක් වචනයෙන් වැරැදි කරති. බොරුකීම්, කේලාම්කීම්, පරුෂ වචන කීම
සහ හිස් වචන පවසමින් කට නිසා පිරිහෙමින් විනාශ වෙති. ඒ වගේ ම අන් අයටත් නින්දා
කරමින් බලවත් ලෙස පාපී මඟකට යොමු වී සිටිති. මේ, සිත, කය, වචනය තිදොරින් ම පව්
සිදුකරමින් මෙලොවත් පරලොවත් පරිහානියට පත් කර ගන්නා වූ පුද්ගලයාගේ ජිවිත ගමන් මඟ
යි.
අප සිතා සිටින සියලු සැප-දුක්, සතුට-කඳුළ, දුක්ඛ - දෝමනස්ස සමඟින් ම ජීවිතයේ සැබෑ
ස්වභාවය ද පවත්වමින් ඉදිරියට ම ඇදී යයි. ඒ ලෙඩවීම, වයසට යෑම සමඟින් ම ඉන්ද්‍රියන්
හි දුබලවීම සහ මරණයයි. මේවා අතර ප්‍රිය විප්පයෝගය ද බලවත් වූ ම චිත්ත පීඩා ද, සුව
කළ නොහැකි මරණය පවා සිදුවන ලෙඩදුක් හට ගන්නේ නම්, ලෞකික ජීවිතයේ සියලු ම
බලාපොරොත්තු ප්‍රාර්ථනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යුතුව අවසන් කරන්නට සිදුවෙයි.
කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යුතුව ජිවිතයේ යථාර්ථයට මුහුණ දෙන්නටත් එය පිළිගන්නටත්
සිදු වේ.
මේ සසර පැවැත්මෙහි කෙළවරක් දකින්නට නැත. ආරම්භයක් දැක ගන්නට, දැනගන්නට නොහැකි ය.
අවිද්‍යාවෙන් මාර්ගය ඇහිරුණු, තෘෂ්ණාවෙන් සසරට බැඳුණු, දිවෙන සැරිසරන සත්වයන්ගේ
ස්වභාවය මේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
මෙසේ බොහෝ මිනිසුන් දැන හෝ, නො දැන හෝ දුක්විඳීමින් සිට මිය පරලොව යති. බුදු දහමට
අනුව මරණින් මතු දුගතියක උපදින්නේ නොදන්නාකම සහ අනුවණකම නිසා ය. “මගේ, මගේ“ යැයි
සිතමින්, පවසමින් සිතින් මෙන් ම අතින් අල්ලාගත් දෙය ද, ලියා තැබූ දෙය ද, ආරක්ෂිත
තැනක තබා වැසූ දෙය ද, බැංකුවක තැන්පත් කළ දෙය ද මෙලොව තබා මොහොතකින් මිය යන්නට
පුළුවන. මෙලොව සියලු සම්බන්ධකම් සැණින් නිමා විය හැකි ය.
මගේ යනුවෙන් ඇති කර ගත් බැඳීම ම තෘෂ්ණාව ය. එම තෘෂ්ණාව බලවත් වූයේ නම් නරක,
තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ උපතක් ලබා දෙන්නේ ය. තෘෂ්ණාව බලවත් වූයේ
ප්‍රාණඝාත සොරකම, කාම මිත්‍යාචාරය, බොරුව, මත්වතුරෙන් ඇති කර ගත් කෙලෙස් මදය සහ
අකුසලයට නැඹුරු වන ප්‍රමාදය වැනි පාප නිසා නම්, සතර අපාය නම් වූ දුගතියෙහි ගත කරන
කාලය බොහෝ වන්නේ ය.
“වෙනස්වීම“ එනම් සියල්ලෙහි ඇති “අනිච්ච“ බව අමතක කොට අතෘප්තිකර ආශාවන්ගෙන් යුතුව
ජීවිතය විඳීන්නට යෑමෙන් අවසානයේ හිමි වන්නේ මේ ජිවිතයත්, මරණින් මතු ජීවිතයත්
විඳවීම ය.
මේ සසර දුක නැසීම හෙවත් සසර කෙටිකර ගැනීම යනු කුමක් දැයි තේරුම් කොට ගත යුත්තේ,
මනුෂ්‍යත්වය හෙවත් මිනිසත් බව යනු කුමක් දැයි හැකිතාක් දුරට නිවැරැදිව තේරුම්
ගැනීමෙනි. මනුෂ්‍යයකු වී ඉපදීම දුර්ලභ බව ඉතා හොඳීන් අවබෝධ කර ගත යුතු ය. එම
දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජිවිතය ද ඉතා ම කෙටි බවත්, ඕනෑ ම මොහොතක මේ ජිවිතය අත් හැරෙන
බවත් තේරුම් ගත යුතු ය.
තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ දහම එයයි. බෞද්ධයන් ලෙස අප ඒ සත්‍ය
තේරුම් ගෙන ජීවිතය හසුරුවා ගන්නේ නම්, මෙලොව සේ ම පරලොව ජිවිතය ද සාර්ථක කර ගන්නට
හැකි වනු ඇත.
-
දීපා පෙරේරා |