නැණවතා සිල්වතෙකි
සිල්වත්බව සාමාන්‍යයෙන් හික්මුණු මිනිසාගේ ස්වභාවයයි. ඒ හික්මීම ද උප්පත්තියෙන්
ඇතිවන හික්මීම, පරිසරය අනුව ඇතිවන හික්මීම යන්නෙන් දෙවැදෑරුම් වේ. සහජයෙන් හික්මීම
ඇතිවන්නේ පෙර පින් ඇති සත්පුරුෂයන් තුළ ය. වැඩි දෙනෙක් හික්මෙන්නේ පරිසරය අනුවයි.
සහජයෙන් හික්මීම නොලැබූ ඇතැම් පුද්ගලයෝ ගුණවතුන්, නැණවතුන් ඇසුරෙන් ද, යහපත්
අධ්‍යාපනයෙන් ද හික්මෙති. පරිසරය යනු ඒ සත්පුරුෂ ඇසුර හා අධ්‍යාපනයයි.
මේ කොයි ක්‍රමයකින් වුව ද හික්මුණු තැනැත්තා සමාජයේ අහිංසකයෙකි. විනීතයෙකි.
“සිල්වතා” යනු ද ඔහු ම ය. හික්මීම සිල්වතාගේ ලක්ෂණය හෙයිනි.
උප්පත්තියෙන් ම නොහික්මුණු පුද්ගලයෝ ද සමාජයේ අල්ප වෙති. වැඩි දෙනෙක් පරිසරය අනුව
නොහික්මුණු පුද්ගලයෝ වෙති. කරුණු වටහා ගැනීමට නොහැකි නිසා ද, පරිසරයේ වරද නිසා ද
බොහෝ පුද්ගලයන් නොහික්මුණු අය ලෙසින් ක්‍රියා කරතත් ඔවුන් අතුරෙන් වැඩි දෙනෙක්
පරිසරයෙන් හික්මවිය හැකි බව ද පෙනේ. උප්පත්තියෙන් ම හික්මුණු ඇතැම් පුද්ගලයෝ
නොහික්මුණු පුද්ගලයන්ට කරුණු වටහාදීමෙන් හික්මවා ගනිති.
කෙලෙසින් හෝ නොහික්මුණු මිනිසා සමාජ ද්‍රෝහියෙකි. සතුරෙකි. සමාජය කෙලෙසන්නෙකි.
“දුස්සීලයා” යැයි කියනු ලබන්නේ හික්මීමක් නැති තැනැත්තා ය. “දුස්සීලකම” නොහික්මුණු
මිනිසාගේ ස්වභාවයයි. හික්මීමක් ඇති තැනැත්තා ම සමාජයේ සිල්වතා හෝ ගුණවතා වශයෙන්
සැලකිය යුතුව තිබේ. එහෙයින් නියම මිනිසා නම් හික්මීමක් ඇති තැනැත්තා ම ය. හික්මීමක්
ලබන්නේ සීලයෙන් ම ය.
අතීතයේ සමාජය තුළ පැවැති ඉවසීම, සමානාත්මතාව, කරුණාව, අන්‍යොන්‍ය සහයෝගය, පොදු
පරිහරණය, අහිංසක දිවි පෙවෙත ආදී ගති ගුණ පිරිස වැඩි වනවිට හීන වන්නට පටන්ගත් බව
පෙනේ. එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාව, කෝපය, අනෙකාට වඩා උසස් වීමේ ආශාව අනෙකාගේ දිවි
පෙවෙතට කරදර වන ලෙසින් හැසිරීම, පෞද්ගලික පරිහරණයට ආශා කිරීම ආදී දුර්ගුණ
(දුසිල්කම්) පුරුදු වන්නට වූ බව ද සැලකිය හැකි ය.
එහෙයින් ම දේපළ බෙදා ගැනීම, අනුන්ට අයත් දේ සොරා ගැනීම හෝ බලෙන් (පැහැර) ගැනීම,
පරුෂ වචනය, මුසාවාදය, කේළම ආදී නරක ගතිපැවතුම් ද දියුණු වන්නට විය. කල් යත්ම
නුවණැති සත්පුරුෂ මනුෂ්‍යයෝ මෙකී දුසිරිත්වලින් සුසිරිත් වෙන් කොට ගෙන මේ “පින්” ය.
මේ “පව්” ය. මේ ධර්මය. මේ අධර්මයයි. මේ දුසිල්වත්කම් ය. මේ සිල්වත්කම් ය ආදී වශයෙන්
පවත්වා ගත්හ.
මෙලෙසින් ඔවුනොවුන් අතර සමගිය හා සමාදානය පවත්වා ගැනීම සඳහා නානාවිධ ‘දාන’ විධි ද,
කය - වචන දෙකේ සංවර භාවය පිණිස “සීල” විධි ද, චිත්ත දමනය සඳහා නානා විධියේ “භාවනා”
ක්‍රම ද නියම කර ගත්හ.
එපමණක් ද නොවේ. ඔවුහු පර පණ නැසීම, අන් සතු දේ පැහැර ගැනීම ආදී පංච දුෂ්චරිතය
මිනිස් සමාජය කෙලෙසන විසම වූ දුසිල්කම් වශයෙන් ද, පංච දුශ්චරිතයෙන් වැළකීම "මනුෂ්‍ය
ධර්මයක්" වශයෙන් ද නියම කර ගත්හ.
එසේම පංච දුශ්චරිතයෙහි යෙදෙන්නවුන් දුසිලුන් ලෙස ද, ඉන් වැළකී සිටින්නවුන්
සිල්වතුන් ලෙස ද සම්මත කර ගත්හ. මෙසේ ආදි කල්පිතයන් අතර පංචශීලය ප්‍රථමයෙන් ම ඇති
වූ බව සැලකිය හැකි ය.
මානව සමාජය දියුණුවත්ම ඇතැම් නුවණැතියන් මෙවුන්දම් සෙවීම පිළිකුල් කළහ. එය
ග්‍රාම්‍ය ධර්මයක්. නීච වෘත්තියක් ලෙසින් සැලකූහ. එහි ප්‍රතිඵල වූයේ “බ්‍රහ්මචාරියක
පංචශීලය” පනවා ගැනීමයි.
මෙයින් ද නොනැවතුණු ඇතැම් නුවණැතියන් සිත් සතන් තුළ හටගන්නා ලෝභා දී අකුසල් මැඬලීම
සඳහා විකාල භෝජනය නොකළ යුතු යැයි සිතූහ. ඉර අවර වූ තැන් පටන් පසු දා අරුණෝදය තෙක්
විකාල යැයි සලකා ඒ කාල සීමාව තුළ පාන වර්ගයක් පමණක් ගැනීමෙන් ඇතැමෙක් තෘප්තියට
පැමිණියහ. “ඒක භක්තික ෂට්ක සීලය” සමාදන් වූහ.
ඇතැම් කෙනෙක් ක්‍රමයෙන් උස සුන් - මහ අසුන්වලින් ද නෘත්‍ය දර්ශන හා ගීත ශ්‍රවණයෙන්
ද වැළකී අෂ්ටාංග ශීලයක් පනවාගත්හ.
ඒ ද නිත්‍යයෙන් රකින්නට අසමත් වූ පිරිස මසකට එක් දිනක් හෝ දෙදිනක් හැකි අය එයටත්
වැඩි දින ගණනක් තුළ අටසිල් සමාදන් වූහ. එයටත් වඩා නුවණැත්තෙක් “දසසිල්” පනවාගත්හ.
ඉතා සත්පුරුෂ වූ අයෙක් පොහෝ දිනයන් හි අෂ්ටාග ශීලය ද තවත් සිකපදයක් එකතු කිරීමෙන්
“නවාංගපෝසථ ශීලය” ද සම්පූර්ණ කළහ.
මෙසේ ශීල ප්‍රතිපත්ති පනවාගත් නැණැතියෝ ඉන් නොනැවතී චිත්ත දමනය සඳහා නානාවිධ සමථ
භාවනා ක්‍රම ඇති කරගෙන ඒ භාවනා බලයෙන් ධ්‍යාන සමාපත්ති හා අභිඤ්ඤා ද ඉපදවූහ. අපේ
ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන කල පූර්වෝක්ත සියලු ශීල ප්‍රතිපත්ති ද සමථ
භාවනා ක්‍රම ද පැවැත්තේ ය.
කාල දේවල, ආලාර කාලාම, උද්දකරාම පුත්‍ර ආදී තාපසයෝ මනා ශීල ප්‍රතිපත්තිවල පිහිටා
නෛෂ්ක්‍රමය සංකල්පනා, අව්‍යපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා දියුණු කොට සමථ භාවනා
බලයෙන් චිත්තවශීභාවය ගත්හු රූපාවචර වූ ද, අරූපාවචර වූ ද සමාපත්ති උපදවා විසූහ.
තථාගතයන් වහන්සේ ලොව පහළ වන විට පන්සිල්, අටසිල්, දසසිල් ආදී වශයෙන් දැක් වූ
පූර්වෝක්ත සීල - භාවනා පින්කම් මහජනයා අතර ප්‍රචළිතව තිබුණි. එහෙත් සීලය පිළිබඳ
ලක්ෂණ හෝ ආනිසංස හෝ නිසි ලෙසින් නොදත්හ. එහෙයින්ම පංචතාප තපන, මරුප්පතාප තපන,
උදකාරෝහණායුක්ත ආදී ශීල විධි ද සමාදන් ව ගෙන අත්තකිලමථානුයෝගයන්හි ද යෙදුණාහ.
තථාගතයන් වහන්සේ අංග සම්පූර්ණ කොට මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා රකින ශීලයෙහි
ශ්‍රේෂ්ඨකම වදාළ සේක. නිර්වාණය ප්‍රාර්ථනා කොට ගෙන ඒ සඳහා පිරිය යුතු ගුණධර්ම හා
සීල භාවනා ක්‍රම පිළිබඳ විවරණ ද කොට සීලය පාරමිතාවක් වන අයුරු ද සසර දුක් නැසීම
පිණිස සම්පූර්ණ කළ යුතු ප්‍රතිපදාවෙහි ශීලය මුල් වන අයුරු ද සවිස්තරව වදාළ සේක.
බුද්ධාගමේ පරමාර්ථය නිර්වාණ ධාතුවයි. බෞද්ධයාගේ බලාපොරොත්තුව විය යුත්තේ ද නිර්වාණ
ධාතුව ප්‍රත්‍යක්ෂ කිරීමයි. එය සීලයෙන් තොරව අවබෝධ කළ හැක්කක් නොවේ. වර්ෂයකට වරක්
දානයක් පිරිනැමූ පමණින්, දන්සලක් පැවැත් වූ පමණකින් බෞද්ධ පරමාර්ථය වන නිවන අවබෝධ
කළ හැකි නොවේ.
පංච දුශ්චරිතයන් හි ගැලෙමින්, අධර්ම ජීවනෝපායන්හි යෙදෙමින්, මඩවළක ගැලීසිට ස්නානය
කරන්නා සේ ඉඳහිට කරන දාන පරිත්‍යාගයකින් ම ආත්ම ශුද්ධියක් සිදු නොවේ. ඒ එසේ වේ නම්
සීල භාවනා ප්‍රතිපත්ති පිරීමෙන් වැඩක් නැත.
කාලාන්තරයක් තිස්සේ ක්‍රමානුකූල සංවිධානයක් ඇතිව ආත්ම දමනයෙන් හා කාය වාග් සංවරයෙන්
යුක්තව සීල, සමාධි, ප්‍රඥා ශික්ෂාපදය අනුව කටයුතු කරන්නාටයි නිවන් ලැබිය හැක්කේ.
සම්බුදුරදුන් හමුවෙහි දී මාර්ගපලාවබෝධය කළ සියලු දෙනාම සීලයෙන් සමන්විත වූවෝ ය.
මිනීමරු අංගුලිමාලයෝ ද ගම් පැහැරීම් මංකොල්ල කෑම් ආදී නානාප්‍රකාර දූෂණ ක්‍රියාවල
යෙදී සිටි දහස් ගණන් දෙනා ද සරණ සීලයෙහි පිහිටා අනතුරුව ලොවුතුරු සැපය හිමි කර
ගත්හ.
සරණ සීලයෙහි පිහිටා පිරිසුදුව රකින පංච ශීලය පවා නිවන් ලැබීමේ මූලික පතිපත්තිය
වන්නේ ය.
අබුද්ධෝත්පාද කාලයේ විසූ නැණැතියන් විසින් නිත්‍ය ශීලය වශයෙන් පංච ශීලය පනවාගෙන එය
ආරක්ෂා කරන්නට පටන් ගත් අයුරු ප්‍රථමයෙන් දැක්වීමු. තථාගතයන් වහන්සේගේ පහළවීමෙන්
පසු ද නිත්‍ය බෞද්ධ ශීලය වශයෙන් ඇතැමෙක් පංච ශීලය ආරක්ෂා කළහ. සරණ සීලයෙහි පිහිටා
අනතුරුව පංච ශීලය සමාදන් වූහ. එහෙත් සම්බුද්ධ ශාසනයේ නිත්‍ය ශීලය වන්නේ “ආජීව
අට්ඨමක සීලය යි”. සිද්ධාර්ථ ගෞතම මහ බෝසතාණන් වහන්සේ විසින් පැවිදි වූ දා පටන්
ආරක්ෂා කරන ලද්දේ ශ්‍රේෂ්ඨතම වූ “ආජීව අට්ඨමක” සීලයයි.
ඇතැමෙක් “උපෝසථ අට්ඨාංග සීලය” පොහෝ දිනයන්හි ආරක්ෂා කළහ. විශාඛා උපාසිකාව, අනේපිඬු
මහ සිටු ආදීහු නිත්‍ය වශයෙන් ආජීව අට්ඨමක සීලය ද පොහෝ දිනයන් හි අට්ඨාංග සීලය ද
ආරක්ෂා කළහ.
“ඒවං උප වුත්ථෝ විසාඛේ පේ කිච මහප්ඵලෝ හෝති කීච මහානිසංසෝ” ආදී වශයෙන් විසාඛ පෝසථ
සූත්‍රයෙහි දැක්වෙන පරිදි යම්කිසි කෙනෙක් අංග මගධ කාසිකෝසලාදී වශයෙන් වූ සොළොස් මහා
ජනපදයන්ගේ සියලු වස්තු සම්පත් සහිත වූ ආධිපත්‍ය දරන්නේ නම්, එක දවසක රැක්කා වූ
උපෝසථ අට්ඨාංග සීලයේ වටිනාකමින් සොළොස්වන කලාව තරම්වත් පූර්වොක්ත රාජ්‍යාධිපත්‍යය
නො වටනේ ය.
එපමණක් නොව “ඉර සඳ දෙදෙනාගේ ආලෝකය ලැබෙන එක් සක්වළක් තුළ ඇති සියලු රත්න ජාති යමකුට
ලැබෙන්නේ නම් ඒ ලාභයට වඩා එක දවසක් රැක්කා වූ අට්ඨාංග උපෝසථ සීලයෙහි අනුසස් වැඩි බව
ද දේශනා කර ඇත්තේ ය. සීලයෙහි ශ්‍රේෂ්ඨ බව එයින් පෙනේ.
අවුරුදු සියයක් දුශ්ශීලව ගත කරන ජීවිතයට වඩා එක දවසක් රැකි සිල්වත් ජීවිතය උතුම්
වේ.
නැණවතා සිල්වතෙකි. සිල්වතා නැණවතෙකි. සීලය ඇති තැන ඥානය ඇත. ඥානය ඇති තැන සීලය ඇත.
සීලයෙන් නුවණ දියුණු වේ. නුවණින් සීලය දියුණු වේ. සීල ප්‍රඥා දෙක ලෝකයේ අග්‍ර ධර්ම
වෙති.
- අයන්ති විතාන |