නවම් පුර අටවක 2023-01-28
යහපත් හෙට දිනක්
පවුලක් ශක්තිමත් වන්නේ මවුපිය දෙදෙනාගේ ඇප කැප වීම මත ය. ඔවුනොවුන් වෙත පැවරෙන
යුතුකම් හා වගකීම් ඉටුකිරීමේ ප්‍රමාණය මත ය. එමෙන් ම රටක අනාගතය ගොඩනැඟෙන්නේ
මවගේත්, පියාගේත් උත්සාහය හා ධෛර්යය මත ය. ඒ අනාගතයේ රට බාර ගන්නා දරුවන්ගේ
පූර්වාචාර්යවරුන් වන බැවිනි. ඔවුන් ඇප කැප විය යුතු පෞරුෂයෙන් යුතු, ගුණ නැණ දෙකෙන්
පොහොසත් පුරවැසියෙක් අනාගතයට දායාද කරන්නට ය. තමන් ගේ පවුල සුරැකෙන්නේත්, ගම රට
දියුණු වන්නේත් එවිට ය.
මවුපිය යුතුකම් ගැන සඳහන් කිරීමේ දී තථාගතයන් වහන්සේ අවධාරණය කොට වදාළේ පළමුව තම
දරුවන් ‘පාපා නිවාරෙන්ති’ පවින් වළක්වා ගත යුතු බව ය.
දරුවන් තමන්ගේ ලෝකයේ වීරවරයන් ලෙස සලකන මවත්, පියාත් අනුකරණය කිරීම, ආදර්ශයට ගැනීම
අසාමාන්‍යයක් නොවේ. එහෙයින් සෑම ආකාරයකින් ම ආදර්ශයට ගත හැකි චරිතයක් ගොඩනඟා ගැනීම
මවුපිය දෙදෙනාට පැවරෙන භාරධූර වගකීමකි.
අම්මා, තාත්තා අනුන්ගේ ප්‍රාණය නැති කරනවා නම්, හිංසා පීඩා කරනවා නම්, අන් සතු දෙය
සොර සිතින් ගන්නවා නම් , කාමය වරදවා හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මත්වතුර,
මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම් දරුවන් ද ඒ පස්පව් කරන්නට ලජ්ජා නොවේ. බිය නොවේ.
ඇදට ගමන් කරන කකුළු මව සිය දරුවන්ට කෙළින් යන ලෙස මොන තරම් අවවාද කළත් පෙර ගමන් කරන
ඇය දෙස බලන දරුවෝ ද ඇදටම යති. ඒ උපහැරණය ඕනෑම මිනිස් මවකට, පියකුට දරුවන්ට අවවාද
කිරීමෙහි ලා අපූර්ව ඉඟියක් ලබා දෙයි.
දරුවන් පවින් වළක්වා ගන්නවා සේ ම යහපතෙහි යෙදවීම ද කළ යුතු ය. වැඩිහිටියන්ට නොසලකන,
ගුරුවරුන් නොතකන, මවුපියන් රැකබලා නොගන්නා අසංවේදී පුද්ගලයාගෙන් කිසිවකුටත්
හව්හරණක් නැත. ආත්මාර්ථකාමී වන තරමට තමන්ගේ පවුලට හෝ ගමට රටට වැඩදායී පුද්ගලයෙක්
විය නොහැකි ය.
අද බොහෝ දරුවන්ට තමන් ගැන පමණක් සිතන්නට කියා දෙනු ලබන්නේ මව්පියන් විසින් ම ය.
විශේෂයෙන් තරඟකාරි අධ්‍යාපන රටාව තුළ තම දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබා දෙන්නට
උත්සාහ ගන්නා මවුපියන් දිවා රෑ වෙහෙසෙන්නේ දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීමට ය.
ඉහළින් ම විභාග සමත් කරවීමට ය. එතැන දී ගුණ දහම් අමතක කිරීම නිතැතින් ම සිදුවේ.
හදවතේ තෙතමනයක් නැති පුද්ගලයා බුද්ධියෙන්, දැනුමෙන් කවර තරමේ ඉහළ තළයකට පැමිණිය ද
ආත්මාර්ථකාමී බව මිස පරාර්ථ චර්යාවක් ඔහුගෙන් අපේක්ෂා කළ නොහැකි ය. එවැන්නෝ සමාජ
හිතකාමී නොවෙති.
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ තමන්ට ද හිත, අනුන්ට ද හිත, තමන්ට සේ ම අනුන්ට ද
අර්ථ සම්පන්න පුද්ගලයකු විය යුතු බව ය. මවුපියන් දරුවන්ට යහපත් දෙය කියා දිය යුතු
වන්නේ එවැනි චර්යාවන්ගෙන් සන්නද්ධ කිරීමට ය.
දරුවන්ගේ දැනුම, බුද්ධිය, ධර්මය සමඟ පෝෂණය විය යුතු ය. ධර්මානුකූල පුද්ගලයා සැබෑ
මිනිසත් ගුණ ඇත්තෙකි.
මිනිස් ගුණ හීන පුද්ගලයෙක් දුටු තැන තිරිසන් සතකුට උපමා කිරීම බොහෝ දෙනාගේ සිරිතකි.
මිනිසුන් හා තිරිසනුන් අතර පොදු සමානකම් කිහිපයක් වේ. ආහාර ගැනීම, නින්ද, බියවීම,
කාම සේවනය ආදි වු අංග මිනිසුන්ට මෙන් ම සතුන් ට ද පොදුය. එහෙත් මේ අංග ක්‍රියාවට
නැඟීමේ දී මිනිසා සතුන්ගෙන් වෙන්වන්නේ ධර්මය නිසා ය.
මවුපියන් උත්සාහ කළ යුතු මිනිස් දරුවා තිරස්චීනයකු කිරීමට නොව සැබෑ මනුසත් දම්
හඳුනන මිනිසෙක් කිරීමට ය. |