රකිතොත් සිත පිරිසුදු කොට සිල් ම ය
දඩල්ල, වාලුකාරාම වෙහෙර වාසි,
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
කර්මය බුදුදහමේ මූලික ඉගැන්වීමකි. එම ඉගැන්වීමේ අරමුණ අපගේ ක්‍රියා පිළිබඳ අපට ඇති
වගකීම පෙන්වා දීමයි. අප කරන ක්‍රියා අපට ද, අප අවට සිටින අයට ද, මුළු ලෝකයට ද බලපාන
බව පෙන්වා දීමයි. එසේ පෙන්වා දෙන අතර කර්මය පිළිබඳ සමකාලීන මිථ්‍යා මත බැහැර කරයි.
බුදු දහමට අනුව චේතනාව මුල් වී කයින්, වචනයෙන් හා මනසින් කර්ම රැස් කරයි. ඒවා කුසල්
අකුසල් වශයෙන් වර්ග කරයි. කර්මය මැන බැලිය හැකි නිර්ණායක හෙවත් මිනුම් දඬු අතර
චේතනාව හා විපාකය ප්‍රධාන වේ. බුදුරජාණන් වහන්සේට මෙන්ම කෙලෙස් නැසූ මහරහතන්
වහන්සේලාට ද කුසල අකුසල කර්ම විපාක දුන් අවස්ථා තිබේ. කර්මයත් විපාකයත් පිළිගැනීම
සැබෑ බෞද්ධ ජීවිතයක ලක්ෂණය වෙයි.
ප්‍රධාන වශයෙන් තිදොරින් සිදුකරන අකුසල ක්‍රියා දහයක් වෙයි. ඒවායේ විපාකය ද ඉතා
දරුණු ය. කෝට්ටේ යුගයේ රචිත ලෝවැඩ සඟරාවේ වීදාගම ඝනානන්ද පිරිවෙන්පති වීදාගම මහා
මෛත්‍රී මාහිමියෝ ඒ බව මෙසේ රචනා කරති.
දස අකුසල් ක්‍රියා නම්, පරපණ නැසීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු
කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභය, තරහව, වැරැදි විශ්වාසයයි.
පරපණ නැසීමේ විපාකය දරුණු ය
පෙර අඟනක් එක් එළු දෙනක ඉස සිඳා
සියළඟ වැළැඳි ගිනි දැල් නිරය දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා
මෙම රඟ වේ ය කාටත් අකුසලේ ලෙදා
පුරාණ කාලයෙහි ස්ත්‍රියක් විසින් එළු දෙනකගේ හිස සිඳින ලදී. ඒ පවින් මුළු ශරීරය
ගිනිදැලින් වෙළී අපා දුක් විඳින්නට ඇයට සිදුවුණි. ඒ එළු දෙනගේ ලොම් ගණනට හිස්
කැපුම් ලද්දීය. අකුසලය නම් සියල්ලන්ට ම විපාක ලබා දෙන්නේ ය.
සෙල්ලමටවත් සොරකම් නොකරන්න
කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ
එළිකොට නැවත දුන් මිනිසකුට එතෙකිනේ
විළිවැස්මක් නොලැබිණි දෙවි වුණත් අනේ
කෙළියටවත් නොකරව් සොරකමක් දැනේ
එක් පුද්ගලයෙක් යහළුවකුගෙන් සෙල්ලමට වස්ත්‍රයක් සොරකම් කර එය සඟවා තබා, ඒ බව පවසා
නැවතත් වස්ත්‍රය දුන්නේ ය. සෙල්ලමට කළත් අකුසලයේ විපාකය දරුණු ය. දෙව්ලොව ඉපදුණත්
ඔහුට දිවසළු නොලැබුණේ ය.
ලෝකුඹු නිරයේ දුක් ලැබෙන හැටි
නොනැවති අයෙක් පෙර පරදර පව් කැමතී
ගුගුරති ගැලෙති තිස්වා දහසින් උඩෙතී
හිමිනැති තවම ලෝකුඹු නිරයේ පැසෙතී
නොකෙරෙති මෙපව් නුවණැති
අය වැඩ කැමතී
පුරාණ කාලයේ අයෙක් ආශාවෙන් නැවත නැවතත් පරදාර සේවනය කළේ ය. මියගිය ඔහුට එම අකුසලයේ
විපාක ලෙස ලෝකුඹු නිරයේ උපත ලැබුණේ ය. අවුරුදු තිස්දහසකට වරක් ගිනිජාලා මතුවට විත්
විලාප දෙන්නේ ය. නැවතත් එහිම ගිලෙන ඔහු තවමත් නිරයේ දුක් විඳින්නේ ය.
බොරුවෙහි ළැදිකම
ළැදිව රජෙක් බොරු බස් කී විගස කයා
නැතිව රිද්දි බලයක් ඒ මිනිස් කයා
පොළොව පළාගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා
පුරාණ කාලයේ රජ කෙනෙක් ආශාවෙන් බොරු කීවේ ය. ඔහු ලබා තිබූ සෘද්ධි බලය ද අහිමි වී
මිනිස් ශරීරයෙන් ම අපායට වැටුණේ ය. බොරු කීම එතරම් දරුණු දුක් විපාක ලබා දෙන්නේ ය.
සමඟිය බින්දොත් ...
පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේතවැ විඳි ගැහැට
පිසුණු බසක් නොකියව් අද පටන් කොට
අයෙක් කේලාම් කියා සමඟියෙන් වාසය කළ සඟ දෙනමක් භේද කළේ ය. මරණින් මතු ඔහු
නරකාදියෙහි ඉපිද කල්පයක් විසූ අතර, නැවත ප්‍රේත අපායෙහි කුණු වූ විරූපී මුහුණක්
ඇතිව ඉපිද අපමණ දුක් විඳින්නේ ය. කේළමෙහි විපාකය එතරම් දරුණු ය.
නොපියකරු වචනය ද බියකරු ය
පෙර මහණෙක් සඟ ගණහට බැණ නපුරු
නිරයේ වැටී බිම සත්ගව් වැඩෙන තුරු
ගොර දුක් විඳී තව පේතව සිට කුරිරු
පරහට එයින් නොකියවු බස් නොපියකරු
එක් ස්වාමීන් වහන්සේ නමක් මහා සංඝරත්නයට පරුෂ වචනයෙන් බැණ වැදුණේ ය. අපායට වැටුණ
ඔහුට බිම සත් ගව්වක් වැඩෙන තෙක් අපා දුක් ලැබුණේ ය. නැවත ප්‍රේත අපායෙහි ඉපදුණ ඔහු
තවමත් දරුණු දුක් විඳින්නේ ය.
වැඩකට නැති බස
කීවොත් වැඩක් නැති බස් බොරු නිරා ගැබේ
මහත් කුරිරු දුක් විඳ යළි ආවොත් මොබේ
කීවත් සැබෑ නොගනිති ඔහුගෙ බස් සබේ
ගෙවත් සසර දුක් මෙම නොකියතොත් සැබේ
වැඩකට නැති දෙතිස් කථාවෙහි යෙදෙන අය අපායේ උපත ලබා අපමණ කෲර දරුණු දුක් ලබන්නේ ය.
මනුලොව උපන්නත් ඔහුගේ වචන කිසිවකු පිළිනොගන්නේ ය. හිස් අසත්‍ය වචන නොකියන අයට සසර
දුක් කෙළවර කළ හැකි වන්නේ ය.
සිතිවිල්ලකින්වත්...
අන්සතු දෙයක් වේවයි සිතුව තම හට
ඉන් දුගතියෙහි දුක් විඳ අව මේ ලොවට
උන් සිතුවා සිදු නොම වෙයි සිතු ලෙසට
මින් මතු සිතක් නොසිතව් එවැනි පවකට
අනුන්ට අයත් වූ දෙයක් තමන්ට අයත් වේවා'යි සිතා දැඩි ලෝභ සිතින් පව්කම් කළහොත්
දුගතියෙහි උපත ලැබෙන්නේ ය. මිනිස් ලොව උපත ලද්දේ නම්, තමා කැමැති දේ එපරිද්දෙන්
සිදු නොවන්නේ ය. නොලැබෙන්නේ ය.
දරුණු රෝ දුක් ලැබෙන හැටි
බෝවා දහස් පැසවන නිරය වෙන වෙන
වෑපාද නම් රුදු වන බව නපුරු වන
ආබාධ දුක් සිදුවන උපනුපන් තැන
වෑපාදයක් නොසිතව් දැන දැන සිතින
තරහව, කේන්තිය නිසා විවිධ අපාය ලෝකවල බොහෝ කල් දුක් විඳින්නට සිදු වේ. උපනූපන්
තැන්වල දරුණු රෝගාදී ආබාධ දුක් ඇතිවන්නේ ය. ව්‍යාපාදය නම් නොසිතිය යුතු ම අකුසලයකි.
වැරැදි විශ්වාසය
කලක් නිරා දුක් විඳ විටෙක ගොඩ දුටු
නොයෙක් රෝග අටගෙන ගතවෙයි අරිටු
උදක් නුවණ නැතිවේ සිත වෙයි කිලුටු
මෙවක් පටන් පව් නොම කරනු මිසදිටු
මිථ්‍යාදෘෂ්ටි ගතවූවොත් නරකය ආදී අපා ලෝකවල දුක්විඳ මේ මිනිස් ලොව උපන් කාලයෙහි ද
විවිධ රෝගාබාධ ඇති වී ශරීරය අවලස්සන වෙයි. අඥානව කිලිටි සිත් ඇතිව උපදින්නේ ය.
අපායගාමී වන දස අකුසල් කරන්නාට බුදුදහමේ ඵල ලැබීමට හැකියාවක් නැත. ඔහුගේ සිත ලෝභය
නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා, මෙම අකුසල මූලයන්ගෙන් දූෂණය වී තිබේ. මේ ධර්මයෝ
අකුසල මූලයෝ ය. අකුසල් මුල් තුනෙන් යුතු නොවූ අකුසලයක් නොමැත. එක් අකුසල් සිතක ඒ
තුªනම දක්නට නොලැබේ. සමහර අකුසල් සිතකට එක් මූලයක් විය හැකි ය. සමහර අකුසල් සිතකට
දෙකක් විය හැකි ය.
ලෝභය යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු පිළිබඳ ඇලුම් කරන ස්වභාවයයි.
යම් පුද්ගලයින්, යම් වස්තූන්, යම් ගුණයන් හා ක්‍රියාවන් ද නුරුස්නා ස්වභාවය,
විරුද්ධ ස්වභාවය ද්වේෂය නම් අකුසල මූලයයි.
ඒ ඒ කරුණු හා වස්තූන්ගේ ඇති සැටිය වරදවා වටහා ගන්නා ස්වභාවය මෝහය නම් වේ. දස අකුසල්
දුරුකොට කුසල්ම වඩන්නට සිත් යොමු කරමු.
අසතොත් නිබොරුවැ මුනිඳු තෙපුල්මය
හරිතොත් නොතබා දස අකුසල්මය
රකිතොත් සිත පිරිසුදු කොට සිල්මය
දිනිතොත් මෙසියල්ලට ම මෙකල්මය |