[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සම්බුද්ධ නමස්කාරය ජීවිතයට පුරුදු කරමු

සම්බුද්ධ නමස්කාරය ජීවිතයට පුරුදු කරමු

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වදාරන අවස්ථාවේ දී උන්වහන්සේ අධිෂ්ඨාන කළේ ඒ අසිරිමත් ධාතුන් වහන්සේ විසිරී යාමට යි. එනිසයි අප ඒ විසිරුණු ධාතුන් වහන්සේ තැන්පත් කර ස්තූප ඉදිකර ඉතා ගෞරවයෙන් අදටත් වන්දනා කරන්නේ.

ගෞතම බුදුරදුන්ට පෙර තිබූ සම්බුද්ධ ශාසනයේ පහළ වී වදාළේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතේ අධිෂ්ඨාන කළේ ඒ සම්බුද්ධ ධාතුන් වහන්සේ විසිරී ඒකඝන වීමට යි. එනිසාම ධාතුන් වහන්සේ එකට ම පිහිටියා. හරියට රනින් කළ පිළිමයක් සේ ධාතුන් වහනසේ වැඩ සිටියා.

උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුව බ්‍රහ්මයෝ, දෙවිවරු, මිනිසුන්,නාගයන් ආදි සියලු දෙනා ඒකරාශි වෙලා බුදුරජාණන් වහන්සේ උදෙසා සෑයක් කිරීමට ඉදිරිපත් වුණා. ඒ නිසා මේ සෑය විශේෂ සෑයක් බවට පත්වුණා. බාහිරට ඒ සෑය පෙනුණේ තනි රනින් ඉදිකළ සෑයක් ලෙසයි. දෙව් ලොවින්, නා ලොවින් ලැබෙන රත්තරන්වලින් සෑරදුන්ගේ ගඩොල් නිර්මාණය වුණා. හතර ගව්වක් උස මහා සෑරදුන් වහන්සේ ඉදිවුණා. අප අද වන්දනා කරන ස්වර්ණමාලි මහා සෑරදුන් අඩි 321 ක් උසින් යුතු සෑරදුන් වහන්සේ අපේ පියවි ඇසට මොනතරම් සුවිශාලව පෙනෙනව ද? ගව් හතරක් උසයි කියන්නේ මොනතරම් පින්බර නිර්මාණයක් වෙන්නට ඇති ද?

ඒ කාලයේ මේ සෑ රජාණන් වහන්සේ හැඳින්වූයේ ස්වර්ණ මහා සෑරදුන් වහන්සේ ලෙසයි. මේ ස්වර්ණ මහා සෑරදුන් වන්දනා කිරීමට බ්‍රහ්මයෝ බ්‍රහ්ම ලෝකයේ සිට, දෙවියෝ දෙව්ලොව සිට, නාගයෝ නා ලොව සිට වන්දනාවට එනවා. මිනිසුන් සාධු! සාධු! කියලා මේ ස්වර්ණ මහා සෑ රදුන් වන්දනා කරනවා. මේ කාලයේ අපූරු සිදුවීමක් සිදුවුණා.

එක්තරා අහිගුණ්ඨික මිනිසෙක් ගම් නියම්ගම් රාජධානිවල නාගයන් නටව නටවා තමාගේ ජීවන වෘත්තිය කර ගෙන ගියා. මොහු නාගයෙක් දුටු විගස නළාව පිඹ අල්ලා ගන්නවා. ඒ නාගය නටවා මුදල් උපයනවා. ඔහු දිනක් එසේ ඇවිද යනවිට කුඩා ගමකට ආවා. මේ ගමට ආසන්නවයි පෙර කී ස්වර්ණවර්ණ මහා දාගැබ් වහන්සේ පිහිටා තිබුණේ.

මේ ගමේ සිටි මිනිසුන් නිතරම “නමෝ බුද්ධාය” කියන වචනය කියන්න පුරුදු වෙලා සිටියා. අහිගුණ්ඨික මිනිසා කිසිදු ආගමක් දහමක් නැති පුද්ගලයෙක්. එනිසාම මේ පුද්ගලයාට ඒ ගම විශේෂ වුණා. ඔහු දුටුවා මිනිසුන් දෙදෙනකු හමු වූ විටත්, දෙදෙනකු හමු වී වෙන්වෙන විටත් ‘නමෝ බුද්ධාය’ කියා කියනවා. ඕනෑම උත්සවයක් ආරම්භයේ දී එකිනෙකාට නමෝ බුද්ධාය කියනවා.

මොහු කල්පනා කළා නමෝ බුද්ධාය කියන වචනයට මේ ගමේ සියල්ලෝ ම පි‍්‍රයයි. ඒ නිසා මගේ මේ නයි නටවන ව්‍යාපාරය සාර්ථක කර ගන්නත් නමෝ බුද්ධාය කියන වචනය ප්‍රයෝජනයට ගන්න ඕනෑ කියලා. දැන් මේ අහිගුණ්ඨික මිනිසා මිනිසුන් පිරිසක් එකතුවෙලා ඉන්න තැනකට ගොස් නමෝ බුද්ධාය කියනවා. එතැන රැස්වෙලා සිටින පිරිසත් සතුටට පත්වෙලා නමෝ බුද්ධාය කියනවා. ඊට පස්සේ මොහු අහනවා නයි නැටුමක් බලමු ද? කියලා. පිරිස ඒ නැටුම නරඹා මුදල් දෙනවා. මොහු තමාගේ ව්‍යාපාරය සාර්ථක කර ගන්න නමෝ බුද්ධාය වචනය පාවිච්චි කළත් එහි තේරුම දැන සිටියේ නැහැ. මෙහෙම කාලයක් ගත වුණා.

මේ අතර මොහු නාගයෙක් දුටු විට පන්නාගෙන ගොස් මන්ත්‍ර මතුරා නාගයා අල්ලා ගන්නවා. නාගයා අඩපණ කරන මන්ත්‍ර මොහු දැනගෙන සිටියා.

දිනක් මොහු ඇවිදිමින් ගමේ යනවිට එක් හැඩකාර නාගයෙක් දුටුවා. ඔහුට සිතුණා මේ නාගයා අල්ලා ගන්න. එහෙත් මේ සාමාන්‍ය නාගයෙක් නොවේ. ඒ නා ලොවින් ආ නාග රාජයෙක්. මේ නාගයාත් පෙර කී රන් සෑය වඳින්නට ඇවිත් තිබෙන්නේ.

සෑ රදුන් සිත් සේ වන්දනා කොට නැවත නා ලොවට යන අතරේ යි, අහිගුණ්ඨික මිනිසා මේ නාගයා දුටුවේ. අහිගුණ්ඨික මිනිසා මන්ත්‍ර මැතිරුවා. නාගයාට යම් ශාරීරික වේදනාවක් හට ගත්තා. නාගයා කිපුණා. කිපුන විගස වේශය මාරුකර මිනිස් වේශයක් ගත්තා.

“මම නුඹ විනාශ කරනවා” කියා අහිගුණ්ඨික මිනිසා පසුපස පන්නා ගෙන ගියා. නාගරාජයා මොහු ඝාතනය කරන චේතනාවෙන් ඔහු පසුපස දුවනවා. දුවමින් සිටි මිනිසා හති වැටිලා බිම ඇද වැටුණා. නාග රාජයා ටික ටික ළං වුණා. මේ පුද්ගලයා වැසී යන ආකාරයට විෂ දුමක් පිට කරන්නට සූදානම් වන විට ම මේ පුද්ගලයා පුරුද්දට මෙන් නමෝ බුද්ධාය කියා කිව්වා. ඒ වචනය ඇසු ගමන් නාගයාගේ කෝපය සැනකින් නිවී ගියා. නාගරාජයාට හිතුණා

“මම මේ කරදර කරන්න පැන්නුවේ බුදුරදුන්ට නමස්කාර කරන කෙනෙකුට නේ. බුදුරදුන්ට නමස්කාර කරන කෙනෙක් නසනවා යැයි සිතීමත් මහා පවක්. බුදුරදුන්ගේ ශ්‍රාවකයෝ කොතරම් ගුණ පුරණ අය ද? කොතරම් වාසනාවන්තයෝ ද? එබඳු වාසනාවන්තයන් මම නසනවා කියා සිතූ එකත් හොඳ දෙයක් නොවේ. මිනිස් ලෝකයේ උපත ලැබූ මොහු තිරිසන් ලෝකයේ උපත ලැබූ මට වඩා මොනතරම් වාසනාවන්තයෙක් ද? එබඳු පුද්ගලයකුට මගෙන් සිදුවූයේ බරපතළ වරදක්. එනිසා මම මොහු සමා කර ගත යුතුයි.

ඒ සඳහා මම කුමක් කළ යුතු ද? කියා සිතන විට නාග රාජයාට සිහිපත් වුණා තමා ළඟ තිබූ රන් මල් තුනක්. මේ මල් තුනෙන් රන් මල් දෙකක් නාගයා මේ අහිගුණ්ඨික මිනිසාට දුන්නා.

“මිත්‍රය, ඔබ බුදුරදුන් සරණ ගිය කෙනෙක් නේ. මම නො දැනයි ඔබ පසුපස පන්නාගෙන ආවේ. මට සමාවෙන්න. ඔබ එකවරම මන්ත්‍රය මතුරද්දී මට කේන්ති ගියා. ඔබ සම්බුදුරදුන් සරණ ගිය කෙනෙක් බව නො දැනයි මම ඔබ පසුපස පන්නාගෙන ආවේ. මේ රන්මල් දෙක ඒකට සමාව පිණිස ඔබ තබා ගන්න කියා” දුන්නා.

අහිගුණ්ඨික මිනිසාට මෙය සිතා ගන්නටත් බැරි සිදුවීමක් වුණා. ඔහු අහනවා.

“නා රජුනි ඔබ කොහොමද දැනගත්තේ මම බුදුරදුන් සරණ ගිය කෙනකු කියලා.”

“ඇයි මිත්‍රය, ඒ පින්බර වචනය තිබෙන්නේ බුදුරදුන් සරණ ගිය පිරිස අතරනේ.”

“කුමක්ද ඔබ කියන ඒ පින්බර වචනය”

“මිත්‍රය, දැන් ඔබ නමෝ බුද්ධාය කියා කිව්වේ”

“නෑ.....නෑ..මිත්‍රයා මම ඒ වචනය හුරුවුණේ මේ ගමේ මිනිසුන්ගෙන්. මම ඒ වචනය පාවිච්චි කළේ මගේ රැකියාවේ පහසුව පිණිස යි. නමෝ බුද්ධාය කී ගමන් මිනිසුන් මට කැමැතියි. අනේ මම දැනගෙන හිටියේ නැහැනේ මේ වචනය මෙතරම් ආනුභාවසම්පන්නයි කියලා. මම අද පටන් මේ වදනම යි මගේ ජීවිතයේ මුල්තැන දීලා තබා ගන්නේ."

එවිට නා රජු කියනවා.

“මිත්‍රය, මේ වදන පමණක් නොවේ. ඔබ දැන් මේ මිනිස් ලෝකයේ ඉපදිලා ඉන්නේ. මිනිසත් බව ඉතා දුර්ලභයි. එනිසා එයින් ප්‍රයෝජන ගෙන ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේත්, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයත්, පින්කෙත බඳු ආර්ය මහා සංඝරත්නයත් හොඳින් සරණ යන්න” යි පවසා නා රජු නො පෙනී ගියා.

ඒ අහිගුණ්ඨික මිනිසා ඒ රන්මල් දෙකක් රැගෙන ස්වර්ණවර්ණ මහා සෑ රදුන් සමීපයට ගොස් සෑ රදුන් උදෙසා එක් රන් මලක් පූජා කළා. අනෙක් මල විකුණා ධනය අරගෙන බොහෝ පින්දහම් කරමින් සුව සේ ජීවත්වෙලා මරණින් මතු දෙව්ලොව උපන්නා. මේ කතාව සද්ධර්මරත්නාවලියේ සඳහන් වන්නේ අහිගුණ්ඨික වස්තුව ලෙසයි. මෙහි අවසානයේ ගාථා රත්නයක මෙසේ ද සඳහන් වෙනවා.

“බුද්ධ කියන්නේ ශ්‍රේෂ්ඨ වදනක්. බුද්ධ කියන්නේ උතුම් ම පදයක්. ඒ වචනයට සමාන කනට සුවදෙන වෙනත් වදනක් මේ ලෝකයේ තවත් තිබේද? බුද්ධ කියන මේ වචනය කල්ප ගණනකට අහන්න දුර්ලභ යි. එවැනි වචනයකට වඩා හොඳ කන්කළු වචනයක් ලොවේ තවත් නැත. උපද්‍රව නසා ගැනීමට, ඇඟලා ගත් ඇඳුමක් වගේ මේ වදන තමාට සිතු පැතු දේ ලබා දෙන චින්තා මාණික්‍යයක් වගේ. හරියට සුරබිඳෙන වගේ. කප් රුකක් වගේ. සියලු සැප ලබා දෙන ඒ බුද්ධ කියන වදන, ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම නිසාම මිනිස් ලොව අත හරින විටම සුගති රැකවරණය ලැබෙනවා කියා වැඩිදුරටත් එම ග්‍රන්ථයේ විග්‍රහ කොට තිබෙනවා.

එනිසා මනුස්සයාට සුගති රැකවරණය සලසන ඒ තෙරුවන් අපි සරණ යමු. ඒ තුන්රුවන නිසාම මඟඵලලාභීන් බිහිවෙනවා. සසර දුකෙන් එතෙර වූ උතුම් රහතන් වහන්සේ බිහි වෙනවා. සැනසීම තිබෙන්නේ බුද්ධ කියන වදන තුළයි. විෂඝෝර නාගයන් පවා ඒ වදන අසා විපත් මඟහැර ගියා. එනිසා “නමෝ බුද්ධාය” කියන වචනයේ මහා ආනුභාවය හොඳින් දැන අපත් එම වදන අපේ ජීවිතයට හුරු කර ගනිමින් තථාගත ශ්‍රී සද්ධර්මය අනුවම ජීවිතය ගත කරමු.

දුරුතු අව අටවක පෝය

 ජනවාරි 14 සෙනසුරාදා අ.භා. 07.19 න් අව අටවක ලබා 15 ඉරිදා අ.භා. 07.41 න් ගෙවේ.
15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]