නොවී මද මානය වෙමු අනතිමානය
දඩල්ල වාලුකාරාම වෙහෙර වැසි
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
ලාමක අදහස් ඇත්තෝ යම්කිසි සම්පත්තියකට පැමිණි විට එයින් මත්වෙති. මිනිසුන් බොහෝ
සෙයින් මත්වන්නේ කුලය, ධනය, බලය, නිලය, පිරිවර, උගත්කම හා තරුණකම යනාදී කරුණු
මුල්කරගෙන බව පෙනේ.
ස්ත්‍රී පාර්ශ්වය බොහෝ සෙයින් තම රූපය නිසා මත්ව සිටිනු දක්නට ලැබේ.
උදාර අදහස් ඇත්තා වූ පුද්ගලයෝ තමන් කුමන සම්පත්තියකට පැමිණියත් මත් නොවෙති. මදය
හෙවත් මානය සාමාන්‍යයෙන් එකක් වුව ද, විභංග ප්‍රකරණය එය ආකාර විසිහතකට බෙදා දක්වා
තිබේ.
ජාති මදය - මගේ ජාතිය ඉතා උසස් ය. ශ්‍රේෂ්ඨ නොවන්නේ ය. මම උසස් ජාතියකට අයත් ය. අන්
අය පහත්, හීන ජාති ඇත්තෝ යැයි ජාතිය නිකා හටගන්නා වූ මානය යි.
ගෝත්‍ර මදය - ඒ ඒ පෙළපත්වලට වෙන් වූ නාම ගෝත්‍ර ද වෙති. මම අසවල් උසස් පෙළපතට අයත්
වෙමි. මම එසේ මෙසේ කෙනෙක් නොවෙමි’යි සිතා හටගන්නා වූ මානය යි.
ආරෝග්‍ය මදය - මට කිසි රෝගයක් නැත. අන් අය නිතර විවිධ රෝගවලින් පීඩා විඳින පව්කාරයෝ
ය. අඩුම තරමින් මට සෙම්ප්‍රතිෂ්‍යාව පමණ රෝගයක්වත් නැතැයි නිරෝගීකම නිසා හටගන්නා
මානය යි.
යොවුන් මදය - මම තරුණයෙක්මි. මට සවි ශක්තිය ඇත. මගේ ඉඳුරන් සවිමත් ය. වැඩිහිටියන්
මහලු අය අතර දී තම යොවුන් බව නිසා, තරුණකම නිසා, මත් වන මානය යි.
ජීවිත මදය - අල්පායුෂ්ක මිනිසුන්ගේ මරණය දැක බොහෝ මිනිස්සු ඉක්මණින් මරණයට
පැමිණෙති. මම දීර්ඝායුෂ ඇත්තෙක් වෙමි. අන් අය දුක සේ දුක් විඳිමින් ජීවත් වෙති. මම
වනාහි සුව සේ ජීවත් වෙමි. ජීවිතය නිසා හටගන්නා වූ මානය යි.
ලාභ මදය - තමන්ට ලැබෙන, ලැබුණු මාර්ග අනුව අන් අය සමඟ සසඳමින් ඇතිකර ගන්නා වූ මානය
යි.
සත්කාර මදය - තමන් අන් අයට වඩා සත්කාර ලබන්නේ යැයි ද, සියල්ලෝ ම තමන්ට අනේක විධ
ආකාරයෙන් සත්කාර කරතියි කියා හටගන්නා වූ මානය යි.
ගරුකාර මදය - අන් අය තමන්ට කරන ගෞරව බුහුමන් නිසා උපදනා මානය යි. සත්කාර මදයට මෙය
සමාන ය. දේශපාලකයන්ට, උගතුන්ට, අධිපති තනතුරු දරන අයට, පැවිද්දන්ට මෙම මානය වැඩිපුර
ඇත.
පුරෙක්ඛාර මදය - යම්කිසි දුෂ්කර කටයුත්තක් පැමිණි විට බොහෝ අය ඒ සඳහා මාවම කැඳවන්නේ
ය. යන යන තැන ප්‍රධානත්වය, මූලාසනය මාහට ලැබෙන්නේ ය. බරපතළ ගැටලු, ප්‍රශ්න මගෙන්ම
විසඳා ගන්නේ ය යැයි තමන්ට ලැබෙන ප්‍රධානත්වය නිසා ඇතිකර ගන්නා මානය යි.
පිරිවර මදය - මට ඕනෑ දෙයකට ඕනෑ තරම් මිනිස්සු සිටිති. අන් අයට පිරිවර නැතැයි ද
සිටියත් සිටින්නේ දුබලයන් ය, මට සිටිනුයේ ලෝකයා පිළිගත් උසස් මිනිසුන් ය යැයි තමා
වටා සිටින පිරිවර ජනයා දැක ඇති කර ගන්නා මානය යි.
භෝග මදය - ධනයෙන් ආඪ්‍ය බොහෝ දෙනා ඉසුරු මදයෙන් මත්වෙති. තමාට හිමි ධනය, ඉඩකඩම්,
වතුපිටි, යානවාහන, කෙත්වතු ආදිය ගැන සිතමින් ඇතිකර ගන්නා වූ භව භෝග සම්පත් පිළිබඳ
මානය යි.
වර්ණ මදය - අන් අය විරූපීය, දැකීමට පවා අපි‍්‍රය ය, මම වනාහී පැහැයෙන් යුතු ය.
දැකුම්කළු ය. දුටුවන් සිත් පිනවන්නේ යැයි තම පෙනුම, වර්ණය නිසා ඇතිකර ගන්නා මානය
යි.
සුත මදය - මම තරම් උගතෙක් නැත. බහුශ්‍රැතයෙක් නැත. මට වඩා දක්ෂයෙක් නැතැයි තම
උගත්කම නිසා, බොහෝ ඇසූ පිරූතැන් ඇති බව නිසා හටගන්නා මානය යි.
පටිභාන මදය - මට වනාහි විචාර බුද්ධියක් ඇත. විමසීමේ නුවණක් ඇත. ඒ අනුව කරුණු කාරණා
හරිහැටි වටහා ගැනීමේ නුවණ ඇත යැයි වැටහීම නිසා හටගන්නා වූ මානය යි.
රත්තඤ්ඤ මදය - ඉපැරැණි දේ පරම්පරාගත තොරතුරු, අතීතය පිළිබඳ තොරතුරු මා තරම් දන්නා
කෙනෙක් නැති යැයි පැරැණිතම නිසා මත්වන්නා වූ ආකාරයෙන් හටගන්නා මානය යි.
පිණ්ඩපාත මදය - මෙය පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේට පමණක් ඇතිවන මානයකි. මම වනාහි
පිණ්ඩපාතයෙන් යැපෙමි. අන් භික්ෂූන් ළඟට ගෙනවිත් දෙන තෙක් බලා සිටිති. මම වනාහී සෑම
කල්හි ම පුරාණයේ වැඩසිටි මහ තෙරවරුන් මෙන් පිණ්ඩපාතයෙන් ම ජීවත් වන්නෙමි යයි සිතා
ඇති කර ගන්නා මානය යි.
අනවඤ්ඤාන මදය - සියල්ලෝ ම විවිධාකාර නින්දා, අපහාස, අවමන් ලබා ඇත. මම වනාහි
කිසිවකුගෙන් තවම නින්දා, අපහාස, අවමන් ලබා නැත. ඉදිරියට ද නොලබන්නේ යැයි අවමන්
නොලැබීම නිසා හටගන්නා මානය යි.
ඉරියාපථ මදය - අන්‍යයන් යන, එන, ආකාරය හිඳින, සිටින, නිදන ආකාරය පියකරු නොවේ. යහපත්
නොවේ. මාගේ ඉරියව් පැවැත්වීම යහපත් ය. පියකරු ය. දුටුවන් පහදින සුළුයයි උපදනා මානය
යි.
ඉද්ධි මදය - අන් අයට නැති මහානුභාව සම්පන්න අහසින් යාම් ආදී සෘද්ධියෙන් කළ හැකි දෑ
ඇත්තෙමි'යි සෘද්ධිය නිසා සෘද්ධිමතුන්ට ඇතිවන මානය යි.
යස මදය - ගම, රට, පළාත, දිස්ත්‍රික්කය, නිකාය, සංස්ථාව ආදී ආයතනයනට ප්‍රධාන වීම ඒ
ප්‍රධානකම නිසා හටගන්නා වූ මානය යි.
සීල මදය - අන්‍යයෝ දුශ්ශීලයෝ ය. පව්කාරයෝ ය. හික්මීමක්, හැදියාවක්, සංවරකමක් නැත්තෝ
ය. මම වනාහි සිල්වත් වෙමි. ගුණවත් වෙමි. විනීත ද වෙමි. තමාගේ සීලය තුළින් ඇති කර
ගන්නා මානය යි.
ධ්‍යාන මදය - අන්‍යයන්ට නැති ධ්‍යාන ඇතැයි ධාන්‍යලාභීන්ට ධ්‍යානය නිසා හටගන්නා වූ
මානය යි.
සිප්ප මදය - තමා දන්නා ශිල්ප ශාස්ත්‍ර, කර්මාන්ත, හැකියාවන් නිසා ශිල්පය නිසා
හටගන්නා වූ මානය යි.
ආරෝහ මදය - අන් අයට වඩා මම කඩවසම් ය. මාගේ ශරීර අවයව පරිපූර්ණ ය. මෙසේ කඩවසම් බව
කරන කොටගෙන මතුවන මානය යි.
පරිනාහ මදය - තම පැහැපත, රූපය, ඇඟපත නිසා මා අන් අයට වඩා ආරෝහ පරිනාහ සම්පන්න
වෙමි'යි නොඋස් නොමිටි බව නිසා හටගන්නා වූ මානය යි.
සන්ඨාන මදය - අන් අයට වඩා තම ශරීර පිහිටා ඇත. මම දුටුවන්ගේ සිත් ඇද ගන්නා සුළු
වෙමි'යි හටගන්නා මානය යි.
පාරීපූරී මදය - මාගේ ශරීරයේ දොස් නැත. සියල්ල ලස්සනට පිහිටා ඇත. මාගේ ශරීරය හැඩවැඩ
සහිත ය. මෙසේ ශරීරයේ පරිපූර්ණ බව නිසා හටගන්නා මානය යි.
මෙම සත්විසි මදයන් මෙන්ම මානය හටගන්නා තවත් විශේෂිත වූ මදයන් දෙකක් තිබේ. එනම් බලය
නිසා හටගන්නා මානය සහ කීර්ති ප්‍රශංසා තුළින් මතුවන මානය යි. මේ සියලු මානයන්
හැමදෙනා තුළම අඩුවැඩි වශයෙන් කිහිපයක් හෝ ඇත.
මානය යනු මැනීම යි. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන වශයෙන් මානය තෙවැදෑරුම් වන අතර,
මේවා කිසිවකින් මත් නොවීමටත් මානය දියුණු නොකිරීමටත් සියල්ලෝ ම යුහුසුළුවීම වැදගත්
වේ. |