උඳුවප් අමාවක 2022-12-23
ප්‍රතිපදාව ම උසස් ය
බෞද්ධයා ගෙවිය යුතු නිවී සැනසුන ජීවිතයකි. අවුල් වියවුල්වලින් තොර සාමකාමී, සරල
දිවියකි. සතුට පරම ධනය කොට ගත් දිවි පැවැත්මකි. එහෙත් ඒ තැනට පත් වෙන්නට හැකි වී
තිබෙන්නේ කීයෙන් කීදෙනාට දැයි යන්න ගැටලුවකි. වර්තමානයේ එය අන් කවරදාටත් වඩා
වැඩියෙන් දැනෙන සැටියක් පෙනේ.
බොහෝ දෙනකුට තමන් කවුද, කරන්නේ කුමක් ද, කියන්නේ කුමක් ද, යන්නේ කොතැනට දැයි යන්න
ගැන කිසිදු අවබෝධයක් තැති සේ ය. සැමියා, බිරිඳ, මව්පිය, දූ දරු, ස්වාමි, සේවක, ආදී
ලෙස විවිධ සමාජ කණ්ඩායම්වලට අයත්ව විවිධ චරිතවලට පණ දුන්න ද බොහෝ දෙනකු ගේ හැසිරීම
ව්‍යාජ රංගනයකට පමණක් සීමා වී ඇති සැටි අපි දකිමු. කෙනකුට උතුම් මව්පිය පදවියේ
වටිනාකම පවා අමතකව ගොස් ඇති සැටි පෙනේ. එහෙත් බොදු මඟ යන පුද්ගලයෙක් එවැනි
තත්ත්වයකට කිසිසේත් ම පත්විය යුතු නොවේ.
එදා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්ථන සල් උයනෙහි පනවන ලද පිරිනිවන් මඤ්චකයේ
වැඩසිටි අප තථාගතයන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා දේශනා කොට වදාළ සදූපදේශයක් පිළිබඳ
මෙහිදී අප නිරන්තරයෙන් සිහියට නඟා ගත යුතු වේ.
“ආනන්ද, යම් භික්ෂුවක් හෝ, භික්ෂුණියක් හෝ, උපාසකයෙක් හෝ, උපාසිකාවක් හෝ ධර්මානු
ධර්ම ප්‍රතිපත්තියෙහි මැනවින් පිහිටා කටයුතු කරන්නේ ද ඒ තැනැත්තා හෝ තැනැත්තිය
තථාගතයන් වහන්සේට ඉතා උසස් ලෙස පුදන්නකු වේ. එහෙයින් ඔබ සැම ධර්මානු ධර්ම
ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කරන්නට උනන්දු විය යුතු යැයි උන්වහන්සේ අනුශාසනා කළ
සේක.
ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටීම නම් අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී
සද්ධර්මය ඉගෙන පිළිපැදීම ය.
ආමිෂ පූජාවෙන් තෙරුවන් පිදීමට අන් කවරදාටත් වඩා මෙකල දැඩි උනන්දුවක් දක්වනු පෙනේ.
ආමිස පූජාවෙහි නිරත වනවිට තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වැඩේ. එහෙත් ආමිෂ පූජාවෙහි නිරත
වන ඇතැම් කෙනෙක් සිය ලෞකික ජීවිතය හෝ නිවැරැදි මඟට නොගන්නා තැන් ඇත. ආමිෂ පූජාවෙන්
පමණක් තථාගතයන් වහන්සේ පිදුවා වන්නේ ද නැත. උන්වහන්සේ උදෙසා වන පරම පූජජාව නම්
ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිහිටීම ය. සම්බුද්ධ ශ්‍රාවකයාගේ කාර්ය භාරය සම්පූර්ණ
වන්නේ එවිට ය.
දෛනිකව මුහුණ දෙන අනේකවිධ ප්‍රශ්න ගැටලු මැද, සංකීර්ණ සමාජයක ය වත්මන් ගිහියාට දිවි
ගැටගහගන්නට සිදුව තිබෙන්නේ. පව පින කුමක් ද යන්න ගැන සැලකීමක් නොවන තැනටය බොහෝ
දෙනකු කටයුතු කරන්නේ. ඒ සංකීර්ණ හා විෂම සමාජය නිසා විය හැකි ය. එහෙත් කවර හේතුවක්
නිසා හෝ ජීවිතය පවට, අකුසලයට නැඹුරු කිරීම සාධාරණීය කරුණක් නොවේ.
ගිහි ප්‍රතිපදාව පංචශීලයයි. සෑම බෞද්ධයෙක් ම ඊට අනුගත විය යුතු ම ය. එතැනින්
නොනැවතී ස්වාමි භාර්යා, මව් - පිය, දූදරු, ගුරු ශිෂ්‍ය, ස්වාමි සේවක ආදී භූමිකාවන්
තුළ තමන්ට හිමිවන වගකීම්, යුතුකම් නොපිරිහෙලා ඉටුකළ යුතු ම ය. මංගල, පරාභව, වසල
සිඟාලෝවාද, ව්‍යග්ඝ පජ්ජ, මෙත්ත ආදී සූත්‍ර අර්ථවත් ජීවිතයකට මඟ පෙන්වන ධර්ම
දේශනාවන් ය. ඒ සදූපදේශ ජීවිතයට ප්‍රායෝගික විය යුතු ය.
බෞද්ධයාගේ පරම අභිලාෂය නිවන අවබෝධයයි. ඒ සඳහා එකම මඟ අරිඅටඟි මඟයි. ආමිෂ පූජාව ඉතා
පහසුවෙන් කළ හැකි වුව ද නිවන් අවබෝධය පහසුවෙන් ලද හැකි නොවේ. ආමිෂයෙහි පුණ්‍ය
ශක්තිය සසර සැපවත් කළ ද සසර දුක කෙළවර නොකරයි. එහෙයිනි සසර කෙළවර කරන මඟ, අරි අටඟි
මඟට ම පිළිපත් විය යුතු වන්නේ. |