දිවි තොර වුවත් අධර්මයට
හිස නොනමන්න
බුදු දහම අවධාරණය කරන්නේ අධර්මයෙන් ජීවත් වනවාට වඩා ධර්මයෙන් මියයාම උතුම් බවයි. අප
ජීවත් වන්නේ ඇයි? අප ජීවත් විය යුත්තේ ඇයි? අප ජීවත් විය යුත්තේ කේසේද?
මෙම ප්‍රශ්න තුනෙන් පළමු ප්‍රශ්නය වන අප ජීවත් වන්නේ ඇයි? යන ප්‍රශ්නයට දිය හැකි
පිළිතුර වන්නේ අප ජීවත් වන්නේ උපන් නිසා ය යන්නයි. අප ජීවත් විය යුත්තේ ඇයි ද යන
ප්‍රශ්නයට වඩා ගැඹුරින් සිතා පිළිතුරු දිය යුතු ය. මිනිසකු වශයෙන් ඉපදීමට ලැබීම
මහත් භාග්‍යයකි. එසේම එය ඉතා දුලබ ලැබීමකි. එය අවබෝධ වන්නේ නුවණැත්තකුට පමණි. ඒ
දුර්ලභ මිනිස් ජීවිතය ජීවත් කළ යුත්තේ මනුෂ්‍යත්වය වඩාත් අර්ථවත් වූ එකක් බවට පත්
කිරීම සඳහා ය.
සෑම සත්ත්වයකු සේ ම මිනිසා ජීවත් වූවත් මිනිසා ජීවත් විය යුත්තේ තමා ලැබූ මිනිස්
ජීවිතය තමාටත් අනුන්ටත් යහපත් වන අයුරිනි. අප ජීවත් විය යුත්තේ එම අරමුණෙනි.
අප ජීවත් වන්නේ කෙසේද? යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ දී බුදු දහමේ උපදේශය වන්නේ
ධර්ම මාර්ගයට අනුකූලව ජීවත් විය යුතු බවයි. ධර්ම මාර්ගය යනු ස්වභාව ධර්මයේ ද නියාම
ධර්මයයි. සෑම සත්ත්වයෙක් ම දුකට අකමැති වීමත්, සැප කැමති වීමත් සේම බියෙන් හා
සැකෙන් තොරව පී‍්‍රතීමත්ව ජීවත්වීමටත් කැමති වේ.
දුප්පත්කම නිසා මිනිසුන් සොරකමට පෙළඹෙන බවත්, දුරාචාරය පැතිරීම කෙරෙහි විෂම වූ සමාජ
ආර්ථිකයේ බලපෑම ප්‍රධාන සාධකයක් බවත්, මේ නිසා පවත්නා සමාජය තුළින් සොරකම,
දුරාචාරය, ඝාතන තුරන් කිරීම සඳහා සමාජ ආර්ථික සැලැස්මක් සහිත ශක්තිමත් පාලනයක්
අවශ්‍ය බවත්, බුදුදහම මැනවින් පෙන්වා දී තිබේ.
එහෙත් මෙහිදී බුදුදහම සොරකම, ඝාතන, දුරාචාරය කිසිදු විටෙයි සාධාරණීකරණය කිරිමක්
සිදු නොකරයි.
න අත්ත හේතු න පරස්ස හේතු
න පුත්ත මිච්ඡේන ධනංන රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධි මත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මතො සියා
දැහැමි ප්‍රඥාවන්ත තැනැත්තා තමා නිසා, අනුන් නිසා, තම දරුවන් නිසා හෝ ධනය නිසා, තම
රට පිළිබඳව සලකා එහි දියුණුව සඳහා හෝ අධර්මයෙන් ඒ තත්ත්වය ලබා ගැනීමට කිසි දවසක
කැමැති නොවන්නේ යැයි මින් කියැවේ.
සමාජයේ ඇතැම් යහපත් මිනිසුන් පවා තම දරුවන් වෙනුවෙන් අධර්ම ක්‍රියා අනුගමනය කරන
අයුරු දක්නට ලැබේ. සමහරු තම දරුවන් පෝෂණය කිරීම සඳහා සූදුවට පෙළඹෙති. තම මවට
සැත්කමක් කිරීමට යැයි පවසා මුදල් සොරකම් කරති. දරුවන් පෝෂණය කිරීම සඳහා සුරාව
විකුණති.
එහෙත් ප්‍රඥාවන්ත දැහැමි මිනිසා කුසගින්නේ මිය ගියත්, අධර්මයෙන් ජීවත් වීමට
පෙළඹෙන්නේ නැත. එබඳු පුද්ගලයන් සතුන් මැරීම සඳහා තමාට කොතරම් මුදලක් දෙනවා කිව්වත්,
ප්‍රාණඝාත අකුසල කර්මයේ යෙදෙන්නේ නැත. මෙබඳු දැහැමි පුද්ගලයන් ද අප සමාජයේ ඕනෑ තරම්
සිටිය හැකි ය. දැහැමි පුද්ගලයා අධර්මයෙන් ජීවත් නොවන්නේ අධර්මයේ ආදීනව හා විපාක
හොඳින් දන්නා නිසාත්, ධර්මයෙන් ලැබෙන සදා ආරක්ෂාව මැනවින් අවබෝධ කරගෙන සිටිනු
නිසාත් ය.
ධර්මය විශ්වාස කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මිනිසාට ධර්මය වෙනුවෙන් කැප නොකළ හැකි
දෙයක් නොමැත.
කෙනකු තම ශරීරයේ කිසියම් ඉන්ද්‍රියකට බලවත් රෝගයක් හටගත් විට ඒ රෝගය සුවකර ගැනීමට
තම ධනය වියදම් කරයි. කෙතරම් මුදල් වියදම් කළත් එම ඉන්ද්‍රිය සුවපත් කළ නොහැකි නම්
ජීවිතය ආරක්ෂා කර ගැනීමට එම රෝගී වූ ඉන්ද්‍රිය ඉවත් කිරීමට වුවත් එම පුද්ගලයා සිය
කැමැත්ත ලබා දෙයි.
දැහැමි පුද්ගලයා මින් එහා ගොස් ධර්මය වෙනුවෙන් ශරීරාංගයක් පමණක් නොව තම ජීවිතය වුව
ද අත්හැරීමට සූදානම් ය.
මෙයින් පැහැදිලි වන්නේ දැහැමි පුද්ගලයා දිවි තොර වුවත් අධර්ම මාර්ගය අනුගමනය නොකරන
බවයි. අනුන්ගේ යහපත වෙනුවෙන් බොරු කීම, සතුන් මැරීම, සොරකම් කිරීම, වරදක් ලෙස
නොදකින පුද්ගලයන්ට ඉහත දක්වන ලද අදහස වටහා ගැනීම හොඳ පිළිතුරක් වනු නැත.
-
අයන්ති විතාන |