[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුසලයට ළං වෙන්න නිතර පින් කරගන්න

කුසලයට ළං වෙන්න නිතර පින් කරගන්න

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයට අනුව යම් යහපත් ක්‍රියාකාරීකමකින් තමන්ගේ සිත පිරිසුදු වූ බව තමාට දැනේ ද එය පුණ්‍ය හෙවත් පින නම් වේ. පරමාර්ථ ධර්මය අනුව ගතහොත් සිත කිලිටි කරන රාග – ද්වේෂ, මෝහ ආදී ධර්මතාවන්ට ප්‍රතිපක්ෂ වූ ශ්‍රද්ධා, ප්‍රඥා දෙකින් යුත් ශෝභන ධර්මයන් හා එක්ව යෙදුණා වූ උපන් උපන්තන්හි සැප විපාක ගෙන දෙන ස්වභාවය ඇති චේතනාවෝ පුණ්‍ය හෙවත් පින් නම් වෙත්.

තමා කළේ පිනක් නම්, සිහිවෙන හැම මොහොතක ම සතුටක් දැනේ. තමා කළේ පවක් නම් දැනෙන්නේ පසුතැවිල්ලකි. මෙවන් පුණ්‍ය ක්‍රියාවන් දසයක් දාන, සීල, භාවනා, පින්දීම, පින් අනුමෝදන්වීම, වතාවත් කිරීම, වැඩිහිටියන්ට සැලකීම, බණකීම, බණ ඇසීම හා තමාගේ දැක්ම ඍජුකර ගැනීම වශයෙන් ධර්මයේ සඳහන්ව ඇත. ප්‍රාණඝාතයෙන් වැළැකීමාදි දසකුසලයෝ ද වෙත්

‘දානං ‘සීලං’ ච භාවනා” – පත්ති පත්තානුමෝදනා

චෙය්‍යාවච්චා පචායං ච – දෙසනා සුති දිට්ඨිපු

තවද මෙහිලා දසවැන්න වශයෙන් සඳහන් “තමාගේ දැක්ම ඍජු කර ගැනීම” යන්න තුන් ආකාරයකට පැහැදිලි කිරීම් වශයෙන් ගෙන දොළොස් පුණ්‍ය ක්‍රියාවක් ද දක්නට ඇත. මෙසේ ය. පින් කරන්නහුගේ ගුණවර්ණනා කිරීම, තෙරුවන් සරණයාම හා, බුදුගුණ (නිතර) සිහිකිරීම් වශයෙනි.

මෙයින් ප්‍රශංසා ය, සරණය, අනුස්මෘතිය යන තුන අදහස් කෙරේ. යමකු මේ දස හෝ දොළොස් පුණ්‍ය ක්‍රියා නිතර නිතර නිරතුරුවම කරන්නේ ද එය යහපත් ගුණධර්මයක් බවට පත්වීම තුළින් “කුසලයක්” (දක්ෂකමක්) වේ. පින්කමක් ලෙස ඇතුළත් දානය, සීලය , භාවනාව ගෙන බලන්න. යමෙක් මේ දානය නිතර නිතර තුන් සිත පහදවා ගෙන කෙරේ ද ක්ෂය වන්නේ නිවනේ පරමාර්ථ ධර්මයක් වූ ලෝභය හෙවත් තණ්හාව ය. සීල සමාදානය ගෙන බලන්න. නිත්‍ය පඤ්ච සීලය හෝ දස උපෝසථ සීලය, පැවිදි සාමණේර, උපසම්පදා සීල යමෙක් අඛණ්ඩව රකී ද ඒවා සුගති සැප හා නිවනට ම උපකාර වන කුසලයන් වේ. භාවනාව ද පින්කමකි. එහෙත් යමෙක් මේ සිත හික්මවා ගැනීමට අදාළ භාවනාව නැවැත නැවැතත් නොකරන්නේ ද ධ්‍යාන ලාභියෙක් නොවේ. අදාළ භාවනාව කෙරේ ද ධ්‍යාන ලාභියකු වී විදසුන් වඩා ත්‍රිලක්ෂණය මෙනෙහි කොට අධිගම සමාපත්ති (මග-ඵල) ලැබීමට සුදුස්සෙක් වේ. එහෙයින් පින්කම් වරක්, දෙවරක් නොව හැකි හැමවිට ම, නිතර නිතර කළ යුත්තකි. පික්කම් නොකරන්නේ ද කුසලයට ළංවිය නොහැක.

ආදර්ශවත් පැවිදි ජීවිත දෙස බලමින් අනුජාත, අනුගත ශ්‍රාවක භික්ෂූන් වහන්සේ හික්මෙනු දුටු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් විසිවසරක් යන තුරු විනය ශික්ෂාපද පැනවීමක් නොකළ සේක.

මෙසේ කලෙකට පසු ශික්ෂා පද පැනවීමෙන් අපේක්ෂා කළේ භික්ඛු – භික්ඛුණී , උපාසක – උපාසිකා සිවුවනක් පිරිස් ම පව්කම්වලින් වළක්වා පිනෙහි – කුසලයෙහි හසුරුවා මෙලොව – පරලොව – සසර සැපම ලබා දෙමින් නිවන් සුව සාක්ෂාත් කරවාලීමටය.

යමෙක් ධර්මය දැන හෝ නොදැන පව්කම් නිතර නිතර කරන්නේ ද, ඒවා අකුසල් බවට පත්වේ.

යමෙක් ශික්ෂාපද ගරුකොට පවෙන් වැළැකී පින් නිතර නිතර කරන්නේ නම් ඒවා කුසල් බවට පත්වේ.

කුසල් යනු නොබිඳෙන ගුණධර්මවලට නමෙකි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ගෙන බලන්න. කුසලයෙහි දක්ෂයකු වී සෝවාන් ඵලය මෙලොව දී ලැබ කය බිඳී මරණයට පත්වන්නකු නැවැත උපත ලබන්නේ ද සෝවාන්ඵල ලාභියකු ලෙසින් ම ය.

තවද බුදු දහම ප්‍රායෝගික ජීවන මගකි. එනම් :– බණ අසා, ධර්මය කියවා පරතෝ ඝෝෂයෙන් අසා දැන ගන්නා දහම් කොටස් තම නුවණින් නැවැත විමසමින් ඒවා සිත – කය , වචනයට යොදවා තමාගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් බවට පත්කර ගැනීම මේ ප්‍රායෝගිකත්වය යි.

එමෙන්ම මේ තුළ දර්ශනයක් හෙවත් දැක්මක් ද අනිවාර්යයෙන් තිබේ. ආමිෂ, ප්‍රතිපත්ති පූජා පිළිබඳ වියතුන් අතර පවා විවිධ මත ඇත. එහෙත් දර්ශනාත්මකව බලන්නහුට මෙයින් දැකිය හැක්කේ පින් රැස් කර ගැනීම ආමිෂ පූජාවෙන් ද, කුසලයෙහි දක්ෂයකු වීම ප්‍රතිපත්ති පූජාවෙන් ද, වන්නේ ම ය. මෙතෙක් පැහැදිලි කළ දහම් කරුණු අනුව පිනෙන් බැහැර වූ කුසලයක් ( නිවන සාක්ෂාත් කිරීමේ දක්ෂ බවක්) නැත්තේ ම ය.

“අලව් නුවර වැසි එක් දුප්පත්, එහෙත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් සේ පැහැදීම් ඇති මනුෂ්‍යයෙක් විසීය. ලොව බලා වදාරන තථාගතයන් වහන්සේ සෝවාන්ඵල ලැබීමේ හේතු වාසනා ඇති මේ මිනිසා එදා උදේ දිවැසින් දැක මහත් භික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ අලව් නුවරට වැඩි සේක්හ.

මෙදා ඔහුගේ ගොනෙක් බැම්මෙන් මිදී පැනගොස් සිටි අතර, භාග්‍යවතුන් වහන්සේ නුවරට වඩින බව ද දැන උදෙන් ම ගොස් මහත් වෙහෙසවී ගොනු සොයා ගෙනවිත් බැඳ දමන විට දහවල් වී තිබිණි.

තම නුවරට වැඩි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට නගර වැසියෝ දනට ආරාධනා කොට දන් පිළිගන්වා බණ ඇසීමට වාඩි ගත්හ. එකල්හි 30 යොදුන් මඟ ගෙවා තමා වැඩම කළ අරමුණට අදාළ පුද්ගලයා තවම නොපැමිණි හෙයින් මඳක් නිහඬව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිසේක් හ.

දුප්පත් මිනිසා ද ගොනා සොයාගෙන ගැටගසා ඉතා වෙහෙසින් හා බඩගින්නෙන් පෙළුණු නුමුත් ඒ ගැන ද නොසිතා බණක් ඇසීමේ ආශාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ වැඳ එකත්පස්ව සිටියේ පූජා කිරීමට ද කිසිත් නැති හෙයිනි.

මෙහිදී දායකයකු ළඟට කැඳවූ බුදුරජාණන් වහන්සේ, සංඝයා වළඳා ඉතිරි වූ ආහාර තිබේ දැයි විමසා ඇති බව දැන, එසේ නම් මේ දුප්පතාට (දුකට පත් අයට) කෑමට යමක් දෙන්න යැයි වදාළහ.

වතාවත්කරු දනෙහි ඉතිරිව තිබූ දෙයින් එහිදී ම ඔහුට සංග්‍රහ කළේ ය. ආහාර ගෙන පැන් බී අවසන් කළ ඔහුගේ ඇඟෙහි තිබූ වෙහෙස හා වේදනා සියල්ල පහව ගොස් බණ ඇසීමට තරම් සිත එකඟ විය.

මෙතැන හැර බුදුරජාණන් වහන්සේ කළ ආහාර විමසීමක් (භත්ත විචාරණයෙක්) ත්‍රිපිටක බුද්ධ වචනයෙහි දක්නට නැති බව අටුවාචාරීන් වහන්සේලා සඳහන් කර ඇත. (ඨපෙත්වා කීර ඉමං ඨානං තීසු පිටකෙසු අඤ්ඤත්ථ තථාගතස්ස එවං - හතත විචාරණං නාම නත්ථි)

ධ.ප.අටුවා 2 -පි (475)

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔහුට දානකථා, සීලකථා, සග්ග කථා ආදිනව කථා, නෙක්ඛම්ම කථා ආදී අනුපිළිවෙළ කථා වදාරා සාමුක්ඛංසික දේශනා හෙවත් චතුස්සත්‍යය විස්තර කොට දෙසූ දහම් අසා කෙළවර ඔහු සෝවාන් විය.

හුනස්නෙන් නැඟිට වැඩි බුදුරජාණන් වහන්සේ දායකයාගෙන් වළඳා ඉතිරි බත පිළිබඳ කළ විමසීම ගැනි භික්ෂූන් වහන්සේලා අතර කතාබහක් ඇතිවී.

“ජිඝවඡා පරමාරොගා සංඛාරපරමා දුඛා

එතංඤත්වා යථාභූතං නිබ්බාණං පරමං සුඛං”ති

“රෝග අතර බඩගින්න ප්‍රධාන කොට ඇත්තාහ. දුක් අතර සංස්කාර (නාමරූප දෙක පරිහරණය කිරීම) ප්‍රධාන කොට ඇත්තාහ. මේ දෙක තතු සේ දත් නුවණ ඇත්තේ නිවන උත්තම සුවයි දනී”

බඩගින්නට වැඩිතරම් රෝගයක් සත්ත්වයනට තවත් නැත. එය මොන ලෙසකින් වත් නැවැත කවදාවත් නුපදනා ලෙසට සන්සිඳවාලිය නොහැක. බඩගිනි උපන් කල්හි එයට පිළියම් ලෙස ආහාරයක් ගන්නේ නමුත් ටික වේලාවකින් මේ බඩගිනි රෝගය නැවතත් හටගනී. සත්ත්වයා සසර යම් තාක්කල් උපදී ද ඒතාක් මේ බඩගින්න ඔහු පසුපස එළවා එන්නේ ය. අනෙක් සියලු රෝගවලට ඖෂධ ඇතත් මෙය නැවත හට නොගැනීමට උපක්‍රම නැත. මෙය සංසිඳවීමට නම් සත්ත්වයා සියලු කෙලෙස් නසා මේ පඤ්චස්කන්ධය බහා තැබිය යුතු ය.

මේ ගාථාවෙන් කළ ධර්ම දේශනාව අසා බොහෝ දෙනා සෝවන්ඵල ලැබූහ.

“බඩසයින් පෙළෙන්නකුට බණ කීමෙන් වැඩක් නැත. බඩ සයින් පෙළෙන්නේ දහම දැන අවබෝධ කිරීමට අපොහොසත් වේ.”

(ධම්මපද ගාථා 203 - ධ.ප.අට්ඨකථා– පාලි පි.475)

ආමිෂ පූජාව හෙවත් භෞතික පාරිභෝජ්‍ය දෑ පූජා කිරීම ප්‍රතිපත්ති පූජාවන් සාර්ථක කර ගැනීමට කෙතෙක් ඉවහල් වන්නේ දැයි ඉහත කථාවෙන් අපි දැන ගනිමු. සිල් රකින්නහුට, භාවනා කරන්නහුට ධර්මයේ හැසිරෙන්නන්ට හැකි තරම් අවබෝධයෙන් ආමිෂ දන් දෙන්න. දෙන දායකයා හා පිළිගන්නා ප්‍රතිග්‍රාහකයා යන දෙදෙනා ම සතුට මුල්කොට ගෙන සසරින් එතෙර වේ.

උඳුවප් අමාවක පෝය

 දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා අ.භා. 07.11 අමාවක ලබා 23 සිකුරාදා අ.භා. 03.46 ගෙවේ.
 23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]