කේලාම් කියන්නේත්
අසන්නේත්
බලාගෙනයි
පොල්ගහඅංගේ සද්ධාතිස්ස හිමි
තථාගතයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයේ එක්තරා” ප්‍රතිමුඛ” නම්
පේ‍්‍රතයකු අරභයා මෙසේ වදාළ සේක.
අතීතයේ දී කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි උන්වහන්සේගේ සසුනෙහි කුල දරුවන්
දෙදෙනකු පැවිදි වී ශීලාචාර සම්පන්නව සැහැල්ලු පැවතුම් ඇතිව එක්තරා ගමක ආවාසයක සමඟිව
වාසය කළා.
එක්තරා භික්ෂුවක් මේ දෙනමගේ යහපතක් ම දැක එයට ඊර්ෂ්‍යා කළා. ඒ භික්ෂුවට තිබුණේ පාපී
අදහස්. කේලාම් කීමට කැමැති වූවා. මේ භික්ෂුව අර දෙනම වැඩ වාසය කරන ආවාසයට පැමිණ
සුහදව කථා බහ කළා. පසුදින උන්වහන්සේ සමඟ ගමට පිඬුසිඟා වැඩියා. මිනිසුන් උන්වහන්සේ
දැක ඉතා යටහත්ව දානය පූජා කළා.
“මේ සොඳුරු ගම ඉතා යහපත්. මිනිසුන් ද ඉතා ශ්‍රද්ධා සම්පන්නයි. ප්‍රණීත වූ පිණ්ඩපාත
පූජා කරනවා. මෙම ආවාසය ද සිහිල් සෙවණින් හා මිහිරි ජලයෙන් යුක්ත යි. මෙහිම
ජීවත්වීමට පුළුවන් නම් ඉතා යහපත්. නමුත් මුන්වහන්සේලා දෙනම මෙහි සිටියොත් මට සුව සේ
සිටීමට බැරිව යනවා. ඒ නිසා මේ තෙරුණුවන් දෙනම ඔවුනොවුන් බිඳවා එකිනෙකා කොටවා
මෙතැනින් පලවා හැරිය යුතුයැ”යි කල්පනා කරනවා.
එක් දවසක් වැඩිහිටි හිමියන් අනෙක් දෙනමට අවවාද දී තමන් වසන කුටියට ගියා. කේලාම්
කියන ආගන්තුක භික්ෂුව ටික වෙලාවකට පසු වැඩිමහල් තෙරුන් වහන්සේ වෙත ගොස් වැඳ පසෙකින්
සිට ගත්තා. එවිට උන්වහන්සේ “ආයුෂ්මතුනි, කුමක් උදෙසා මෙහි වැඩි සේක් දැයි” අසා
සිටියා. එවිට අර පාපී භික්ෂුව “ස්වාමීනි ඔබේ සභායක භික්ෂුව ඔබ හමුවේ මිතුරකු ලෙස
සිටිය ද ඔබ නැති තැන සතුරකු මෙන් නුගුණ කියයි. කුමක් කියන්නේ දැයි ඇසූ විට, “මේ මහා
ස්ථවිර කපටියෙක්. කළ වරද සඟවන මායාකරුවෙක්. නැතිගුණ පෙන්වන කුහක, මිථ්‍යා ආජීවයෙන්
ජීවිකාව ගෙවන්නෙක්” ලෙස චෝදනා කරනවා.
“ඇවැත්නි, ඒ භික්ෂුව මා පිළිබඳ එසේ කියන්නේ කොහොම ද? ගිහි කාලයේ පටන් මාගේ ස්වභාවය
ඔහු දන්නවා.”
එවිට අර භික්ෂුව ස්වාමීනි, ඔබ වහන්සේ සුපේෂල ය. යහපත් සිල් ඇතිව පිරිසුදු සිත් ඇතිව
සිටින නිස යි මෙසේ සිතන්නේ. උන්වහන්සේ සමඟ මගේ වෛරයක් නැහැ. මම කියන්නේ ඒ භික්ෂුව
පැවසු දේ යැයි කියා සිටියා.
මහ තෙරුන් වහන්සේ ගේ සිත බිඳුණා. දෙගිඩියා සිත් ඇතිව මෙසේ වීමට ද පුළුවන් යැයි
තනියම සිතුවා. ඔවුනොවුන් කෙරෙහි විශ්වාසය බිඳී ගියා.
අර භික්ෂුව දෙවැනි භික්ෂුවත් ළඟට ගොස් මේ ආකාරයට ම බිඳවූවා. ඉන්පසු මේ තෙරුන්
දෙදෙනා දෙවැනි දවසේ ඔවුනොවුන් කථා නොකොට පා සිවුරු ගෙන ගමට පිඬුසිඟා වැඩියා.
පිණ්ඩපාතය වළඳා කථා නො කොටම ඔවුනොවුන්ට නො දන්වා තමාට පහසු වූ තැන් සොයා වැඩියා.
කේලාම් කී හිමියන්ට බලාපොරොත්තු වූ ලෙස සියල්ල සිදුවූවා. ඒ නම එදා තනියම ගමට
පිඬුසිඟා වැඩිය විට ගමේ පිරිස,
“ස්වාමීනි, අනෙක් හිමිවරු කොහේදැයි” අසා සිටියා. ඒ දෙනම හැමදාම රාත්‍රියට රණ්ඩු කර
ගන්නවා. මා “දබර කරන්න එපා” යැයි අවවාද කළත් එය නිශ්ඵල වුණා. මගේ අවවාදය නො පිළිගෙන
ඔවුන් දෙ පසකට වැඩියා.” යැයි කියා සිටියා.
එවිට මිනිසුන් “එසේ නම් ඔබ වහන්සේ අපට අනුකම්පා පිණිස පිඬුසිඟා වඩිත්වා.” යැයි
ඉල්ලා සිටියා. එය පිළිගෙන උන්වහන්සේ දින කීපයක් සුව සේ කල්ගත කළා. ටික දිනකදී ඒ
භික්ෂුවට නිතර නිතර සිතට වද දෙනවා. සිල්වත් වූ ද, යහපත් පැවතුම් ඇත්තා වූ ද මේ
භික්ෂූන් වහන්සේ දෙනම මා බිඳවූවා. බොහෝ ළාමක පාප කර්මයක් කළා. මේ ආවාසයට ලොල්ව
බලවත් අවැඩක් මා කළා යැයි ශෝක වූවා. එයම සිතා නොබෝ කලකින් රෝගාතුර වී කළුරිය කොට
අවීචි මහා නකරයේ උපන්නා.
අර භික්ෂූන් දෙනම ජනපදයක සැරිසරා එක්තරා ආවාසයක දී මුණ ගැසී ඔවුනොවුන් කථා කරන විට
අර පාපී භික්ෂුවගේ ක්‍රියා කලාපය එළිදරව් වුණා. පසුව නැවත සමඟි වී අර විහාරයට ම
වැඩියා.
මිනිසුන් මේ තෙරුන් දෙනම දැක සතුටු වී සිව්පසයෙන් උපස්ථාන කළා. උන්වහන්සේලා එකඟ වූ
සිත් ඇතිව බණ භාවනා කර විදසුන් වඩා වැඩිකල් නොයවා රහත් ඵලයට පැමිණියා.
කේලාම් කී භික්ෂුව එක් බුද්ධාන්තරයක් නිරයේ පැසී මෙම බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවරට
නුදුරින් කුණු වූ කටක් ඇති පේ‍්‍රතයෙක් ව උපන්නා. ඔහුගේ ශරීරය රන්වන් පාටයි. කටින්
පණුවන් ඔබ මොබ යමින් කට හපා කයි. ඔහුගේ මුඛයෙන් ඉතා දුරකට වුව ද දුර්ගන්ධය හමයි.
එක් දිනක් නාරද හිමියන් ගිජුකුළු පව්වෙන් බසිද්දී මේ පේ‍්‍රතයා දැක මෙසේ අසා
සිටියා.
“ඔබේ ශරීරයෙහි පෙනුම නම් දිව්‍ය සිරුරක් වගේ සුන්දරයි. ඔබ ඉන්නේ ආකාසයේ. ඒ වුණාට
ඔබේ මුඛය ඉතාමත් දුඟදයි. පණුවන් කටපුරා පිරිලා, කලින් ජීවිතයේ දී ඔබ මොන වගේ
කර්මයක් ද කර ගත්තේ.”
“මම ඉස්සර පවිටු භික්ෂුවක්. මම හරියට දුෂ්ට වචන කිව්වා. සිල්වත් කෙනකුගේ වේශයෙන්
සිටියා. වචනයේ සංවරකමක් තිබුණේ නැහැ. මම බඹසර රැකපු නිසා මගේ ශරීර සෝභාව වර්ණවත්
වුණා. කේලාම් කීම නිසා මගේ කට කුණු වුණේ. පින්වත් නාරදයන් වහන්ස, දැන් ඔබ වහන්සේ මා
දැක ගත්තා නෙව. ලොවට අනුකම්පා ඇති බුද්ධාදී උත්තමයන් වහන්සේලා යම් කුසලයක් වදාරයි
ද, මාත් දැන් ඒක කියනවා. කේලමක් නම් කියන්නට එපා. බොරුවක් කියන්නටත් එපා එතකොට ඔබට
කැමති සැප ලබන දෙව් කෙනෙක් වෙන්නට පුළුවනි.”
නාරද හිමියන් රජගහ නුවරට වැඩ තථාගතයන් වහන්සේට මේ පුවත කියා සිටි විට තථාගතයන්
වහන්සේ අර්ථෝත්පත්ති කොට ගෙන ධර්මය දේශනා කළා. |