කළ යුතු
නොකළ යුතු දෙය තීරණය
කළ යුතු හැටි
හොඳ නරක යන වචන දෙක සෑම කෙනකු විසින් ම පාහේ අසා ඇති, කියා ඇති වචන දෙකකි. මේ වචන
දෙකින් අදහස් කරන දෙය විවිධ ආගම් අනුව, සමාජ දර්ශන අනුව වෙනස් වේ.
එක් ආගමක් හෝ සමාජයක් මඟින් හොඳ, ලෙස පිළිගන්නා දෙය නරක හැටියටත් නරක යැයි
පිළිගන්නා දෙය හොඳ හැටියටත් තවත් ආගමක් හෝ සමාජයක් විසින් පිළිගැනීම මීට හේතුවයි.
එබැවින් හොඳ, නරක යනු වචන දෙක විග්‍රහ කරන්නට නොහැකි යැයි ඇතැම් දාර්ශනිකයන් විසින්
දක්වා ඇත. එහෙත් බුදුසමය සම්බන්ධයෙන් කල්පනා කරන විට එය එලෙසම පිළිගත නොහැකි ය.
බුදුසමයෙහි මෙම හොඳ නරක සංකල්පයන් ඉතා පුළුල් පදනමක් මත විග්‍රහ කර දක්වා ඇත.
තමන්ට හෝ අනුන්ට හෝ දෙපක්ෂයට ම හෝ යහපතක් සිදුවන ක්‍රියාවන් හොඳ හැටියටත් තමන්ට හෝ
අනුන්ට හෝ දෙපක්ෂයට ම අයහපතක් සිදුවන ක්‍රියාවන් නරක හැටියටත් බුදු සමයෙහි දැක්වේ.
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙන් මෙය හොඳ හැටි පැහැදිලි වේ. බුදුන් වහන්සේ හා රාහුල
හිමියන් අතර සිදු කෙරෙන සාකච්ඡාවක් එම සූත්‍රයේ ඇත.
බුදුරජාණන් වහන්සේ වරක් රාහුල හිමියන්ගෙන්
“රාහුල කැඩපතේ ඇති ප්‍රයෝජනය කුමක්දැ'යි ඇසූහ. රාහුල හිමියන්ගේ පිළිතුරු වූයේ
“ස්වාමීනි ප්‍රත්‍යවෙක්ෂණයටයි” එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. රාහුල ඔබ
කැඩපතකින් ප්‍රත්‍යවේක්ෂ කරන්නාක් මෙන්, හැම ක්‍රියාවක් කරන විටම හැම වචනයක් කියන
විටම, හැම සිතිවිල්ලක් සිතන විටම, පුන පුනා ප්‍රත්‍යවේක්ෂණය කරන්න ඕනෑ. ඔබට යමක්
කරන්න වුවමනා වු විට එය තමාගේ හෝ අනුන්ගේ හෝ දෙපක්ෂයේ ම හෝ විපතට, දුක් පිණිස හේතු
වෙයි ද? සාවද්‍ය ක්‍රියාවක් වෙයි ද, යනුවෙන් නැවත නැවත කල්පනා කර බලන්න ඕනෑ. එසේ
කල්පනා කරන විට එය සාවද්‍ය හැටියට (අකුසලයක් හැටියට) වැටහුණොත් එය ඒකාන්තයෙන් ම නො
කළ යුතු ය. එසේ නොමැතිව එය සැප පිණිස (දෙපක්ෂයේ ම) පවතින්නකැයි නිරවද්‍ය (කුසල)
වුවකැයි ස්ථීරව වැටහුණොත් එය කිරීම හොඳයි.
මෙම බුද්ධ වචනයෙන් පැහැදිලි වෙන කරුණ නම් යමක් හොඳ වෙන්නේ, එය කිරීම නිවැරැදි
වෙන්නේ එය තමාටවත් අනුන්ටවත් අවැඩක් නොවී යහපතක් සිදු වෙන දෙයක් නම් පමණක් බවයි.
කැඩපතකින් බලා තම ඇඳුම් පැළඳුම්වල අඩුපාඩු සකස් කරගන්නා මෙන් යමක් ඉදිරිපත් වුණාම ඒ
ගැන නැවත නැවත කල්පනා කිරීමෙන් එහි ප්‍රතිඵල විපාක ගැන කල්පනා කිරීමෙන් එය කළ යුතු
දෙයක් ද, නොකළ යුතු දෙයක් දැයි තීරණය කරගත හැකි වේ. හොඳ, නරක තීරණය කර ගැනීමේ
මිනුම් දණ්ඩ හැටියට මෙම ක්‍රමය සඳහන් කළ හැකි ය. එහි මුල් තැන දී තිබෙන්නේ
ප්‍රත්‍යවෙක්ෂණයට යි.
මීළඟට මතුවන ප්‍රශ්නය නම් තමාටත්, අනුන්ටත් වැඩ පිණිස පවතින ක්‍රියාවන් මොනවාද?
අවැඩ පිණිස පවතින ක්‍රියා මොනවාද? යන්නයි.
බුද්ධ දේශනාව අනුව කායික, වාචසික, මානසික දුශ්චරිතයන් අවැඩ පිණිස පවත්නා බවත්, එම
සුචරිතයන් වැඩ පිණිස පවත්නා බවත් සඳහන් කළ හැකි ය. එයින් පැහැදිලි වෙන්නේ, කායික,
වාචසික, මානසික සුචරිත හොඳ හැටියටත් එම දුශ්චරිත “නරක” හැටියටත්, නිර්දේශ කර
දැක්විය හැකි බවයි.
මෙම හොඳ – නරක ක්‍රියාවන් ක්‍රම කිහිපයකට ප්‍රත්‍යවේක්ෂණය කළ හැකි ය. අංගුත්තර
නිකාය ආශ්‍රයෙන් එබඳු ක්‍රම තුනක් දැක්විය හැකි ය. පැවිදි වූ කුල පුත්‍රයෙක් තමාගේ
කුසීත බව නැති කර, වරද දුරු කර, තම අරමුණු ඉටුකර ගැනීම පිණිස අත්තාධිපතෙය්‍ය
,ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපත්‍යෙය වශයෙන් කල්පනා කළ යුතු බව අංගුත්තර නිකායේ සඳහන්
වේ. මෙම අධිපති ධර්මයන් පැවිදි බව මස්තකප්‍රාප්ත කර ගැනීමේ උපාය මාර්ග ලෙස ද
දැක්වෙතත් ඒවා පොදුවේ සමාජ ධර්මයන්ට සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇත. එසේ සම්බන්ධ කර
ගැනීමේ දී තමා ගැන කල්පනා කර තමා වැන්නකුට නොගැලපෙන ක්‍රියාවක් වේ නම් එය නොකර තමා
වැන්නකු විසින් අවශ්‍යයෙන් කළ යුතු යමක් වේ නම් එය කිරීමට කල්පනා කිරීම
අත්තාධිපතෙය්‍ය ක්‍රමය හැටියට හැඳින්විය හැකි ය.
මෙය තවදුරටත් සියුම්ව බලන විට තමන් උපමා කොට බැලීමේ ක්‍රමය හෙවත් අත්තුපනායික ධර්ම
ක්‍රමය මෙම අත්තාධිපතෙය්‍ය ක්‍රමයට ඇතුළත් කළ හැකි ය. මේ බව වේළුද්වාර සූත්‍රයේ
පැහැදිලි කර ඇත.
ලෝකාධිපතෙය්‍ය යන්නෙන් සමාජය හා සමාජ ධර්ම අධිපති කර ගැනීම දැක්විය හැකි ය. තවත්
පුළුල්ව ගන්නා විට බහුජන මතය අනුව හොඳ බව හෝ නරක බව තීරණය කිරීම මෙයට ඇතුළත් කළ
හැකි ය.
සමාජයේ අංගයක් වන පුද්ගලයා එහි පොදු ආචාර ධර්මයන්ට යටත් විය යුතු ය. එහි සම්මත
චාරිත්‍ර වාරිත්‍රයන්ට පටහැනිව ක්‍රියා කිරීමෙන් ලෝකයෙන් සමාජයෙන් එන අපවාද කල්පනා
කර ඒවා නොකර සිටීම ලෝකාධිපතෙය්‍ය වශයෙන් නරක දෙයින් වෙන්වීමයි.
මේ ක්‍රමයෙන් හොඳ – නරක තීරණය කර ඒ අනුව ජීවිතය සකස් කර ගැනීම සමාජයේ යහපත්
පැවැත්මට අතිශය උපකාරි වේ. සමාජයක යහපත් පැවැත්මට ඒ තත්ත්වය අවශ්‍යය. ඒ සඳහා සමාජ
සම්මත හොඳ නරක තේරුම් ගත යුතු ය. රටක සම්මත නීති උල්ලංඝනය කිරීම ද දඬුවම් ලැබිය
යුතු වරදකි. ඒ නීතිය ගැන කල්පනා කර නීති කැඩීම නරක හැටියටත්, ඒවාට අනුකූල වීම හොඳ
හැටියටත් සැලකීම ලෝකාධිපතෙය්‍යය හැටියටත් සැලකීම ලෝකාධිපතෙය්‍ය ක්‍රමයෙහි ඇතුළත් කළ
හැකි ය.
විශේෂයෙන් සමාජයේ යහපත් පැවැත්මට එම නීති රීතින්ගේ අවශ්‍යතාව කල්පනා කළ යුතු ය.
මෙහිදී අතුරු ප්‍රශ්නයක් මතුවේ.
ගතානුගතික සමාජ ක්‍රමයක් වෙනස් කර නව සමාජ ක්‍රමයක් ගොඩ නැංවීමේ දී මෙය බාධකයක්
නොවන්නේ ද? යනු එම ප්‍රශ්නයයි. කළ යුත්ත නොකළ යුත්ත තීරණය කිරීමේ දී කරන
ක්‍රියාවෙන් තමාට හෝ අනුන්ට හෝ දෙපක්ෂයට ම සිදුවන්නේ යහපතක් ද, අයහපතක් දැයි කල්පනා
කර බැලිය යුතු ආකාරය මුලින් සඳහන් කර ඇත. ඒ අනුව ලෝකාපවාද බියෙන් නොකළ යුත්තේ
අයහපතට හේතුවන ක්‍රියාව ය.
හොඳ – නරක තීරණය කිරීමේ තුන්වැනි ක්‍රමය ධර්මයයි. කළ යුතු නොකළ යුතු දේ ධර්මයෙහි
පැහැදිලි කර ඇත. අකුසල් දුරු කරන ලෙසත්, කුසල් වඩන ලෙසත් බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් වහන්සේට දේශනා කර ඇත. කුසල් – අකුසල් , සුචරිත – දුශ්චරිත මොනවා දැයි
දක්වා ඇත.
එම දේශනාවන් ගුරුකොට ගෙන නරක අතහැර හොඳ කිරීමට හැකි ය. බුද්ධ ධර්මය උගන්වන්නේ තමාගේ
හා අන්‍යයාගේ යහපතට හේතුවන කරුණු ය. ඒ ඉගැන්වීම් අනුව වරද – නිවරද තේරුම් ගෙන
කටයුතු කිරීම ධම්මාධිපතෙය්‍ය ක්‍රමයයි.
මංගල වැනි සූත්‍රවලින් යහපත් දේත්, පරාභව – වසල වැනි සූත්‍රවලින් අයහපත් දේත් දක්වා
ඇත.
මෙම ක්‍රම තුනෙන් වඩාත් ඵලදායි ක්‍රමය අත්තාධිපතෙය්‍ය ක්‍රමයයි. සමාජ ධර්ම අනුවත්,
බුද්ධ ධර්මය අනුවත් හික්මවා ගත් මනසක් ඇති අයකුට මෙම ක්‍රමය වඩාත් සාර්ථකව උපයෝගි
කරගත හැකි ය.
කාය, වචී. මනෝ සුචරිත හොඳ දේ හැටියටත්, දුශ්චරිත නරක දේ හැටියටත් බුදුසමය උගන්වයි.
එම දුශ්චරිත අයහපතටත්, සුචරිත යහපතටත් හේතු වන ආකාරය තමන්ට ම කල්පනා කළ හැකි ය.
ධර්මයේ සඳහන් වු තරමින් පිළිගැනීම වඩාත් සාර්ථක ක්‍රමය නොවේ. කාලාම සූත්‍රයේ එන
ක්‍රමයට මේවා කුසල් ය. මේවා අකුසල්ය, මේවායින් මේ ප්‍රතිඵල ඇතිවේ යැයි කල්පනා කිරීම
අත්තාධිපතෙය්‍ය ක්‍රමයට කළ හැකි ය. කළ යුතු නොකළ යුතු දේ ගැන තීරණය කිරීමේ දී
විශේෂයෙන් එම ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ගැන සැලකිය යුතු බව දැක්වේ. කළ ක්‍රියාවේ විපාක
වශයෙන් පසුතැවිලිවීමට, හැඬූ කඳුළින් යුතුව විපාක විඳීමට සිදුවේ නම්, එබඳු ක්‍රියා
නොකළ යුතු ය.
- අයන්ති විතාන |