හිතේ හැටියට නොව කුසේ තරමට පිළිගන්න
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
දුටුගැමුණු මහ රජතුමාට සද්ධාතිස්ස කියලා සහෝදරයෙක් හිටිය බව බෞද්ධ හැමෝම දන්නවා.
තිස්ස තමයි නාමය. ඒ වුණත් අසීමිත ශ්‍රද්ධාවක් තිබුණ නිසා කවුරුත් මේ රජතුමා
හැඳින්වූයේ ‘සද්ධාතිස්ස’ කියලා. පින්කම් කරන්න හරිම කැමතියි.
තමන්ගේ දහදිය වගුරුවා පින්කම් කරන්නත් දැක්වූයේ අසීමිත කැමැත්තක්. දවසක් රජතුමාට
වෙළෙඳ නඩයකින් උක් හකුරු ගැල් පන්සියයක් ලැබුණා. වෙළෙන්දන්ට බොහෝ ස්තූති ප්‍රශංසා
කළා. තෑගි බෝග ආදියත් දී සතුටු කර ගම් බිම් බලා පිටත් කළා.
සවස් සමයේ ලැබුණ නිසා රාජාංගනයේ ගැල් පන්සියය ම නවතා තබා, රාජපුරුෂයන්ට පැවරුවා ඒවා
ආරක්ෂා කරන්න. රජ අණ පිළිපදින ඒ පිරිසත් පහන් වනතුරු තම දෙඇස් මෙන් ආරක්ෂා කළා.
පසුදා උදෑසන රජතුමා බැහැදැකීමට ගිය රාජ පුරුෂයෙක් රජු අමතලා ‘පින්වත් මහරජතුමනි,
උක්සකුරු ගැල් පන්සියය ම හොඳින් ආරක්ෂා කළා. දැන් අපි කුමක් කුමක් කළ යුතුදැයි
විමසා සිටියා. එවිට රජතුමා රාජ පුරුෂයා අමතලා ‘එම්බා රාජ පුරුෂය, තොප හොඳින්ම
දන්නවා. මගේ ජීවිත කාලයට ම එකදු අවස්ථාවක දී වත් මට ලැබුණ දෙයක් සංඝයාට නො දී අනුභව
නො කළ බව. මගේ අයියණ්ඩිත් එහෙමයි කියලා ඔබලා හැමෝම දන්නවා. ඉතිං එහෙනම් දැන් කුමක්
කළ යුතු දැයි ඔබම කියන්න’යි රජතුමා රාජපුරුෂයාගෙන් විමසුවා.
‘පින්වත් රජතුමනි, එසේ නම් දැන් කළ යුතු වන්නේ සංඝයා වහන්සේට කොටසක් පූජා කිරීමයි’
යි කියා පිළිතුරු දුන්නා.
‘රාජපුරුෂය, ඔබට සියල්ල වැටහුණා. දැන් තියෙන්නේ ලැබුණ උක් සකුරුවලින් කොටසක් සංඝයා
වහන්සේට පූජා කිරීමයි. ගැල් පන්සියයක් තියන නිසා එයින් දෙසිය පනහක් ම මහා විහාරයේ
වැඩ සිටින මහා සංඝයාගේ ප්‍රයෝජනය පිණිස අරගෙන යන්න. මම උදේ ආහාර ගත් වහාම විහාරයට
පැමිණෙන්නම්’යි කියා
කළ යුතු කටයුතු නියම කර රාජ පුරුෂයා පිටත් කර හැරියා. රජතුමා තමාගේ කුසේ පමණට රාජ
භෝජන අනුභව කළා. රාජපුරුෂයින් පිරිවරාගෙන මහා විහාරයට ගොස් මහතෙරුන් වහන්සේ බැහැදැක
‘ස්වාමිනි, ඊයේ සවස් යාමයේ මාගේ හිතවත් වෙළඳ පිරිසක් රජතුමාගේ ප්‍රයෝජනයට යි කියා
උක්සකුරු ගැල් පන්සියයක් පිරිනැමුවා. ස්වාමිනි, එයින් දෙසිය පනහක් මම ඔබ වහන්සේලාගේ
ප්‍රයෝජනය පිණිස පූජා කිරීමට විහාරයට ගෙනාවා. ඒවා පූජා කර ගන්න අවස්ථාව සලසා
දෙන්න’යි ආරාධනා කරමින් ඉල්ලීම් ද කළා. සැදැහැති තිස්ස රජතුමාගේ දාන සිතිවිලි
හොඳින් හඳුනන මහතෙරුන් වහන්සේ සංඝයා රැස්කරවනු පිණිස ගෙඩිය ගැසුවා. තෙරුන් වහන්සේ
දොළොස් දහසක් එම අවස්ථාවේ පිළිවෙළින් මහා විහාරය වෙත වැඩම වන්න පටන් ගත්තා. රජතුමා
වහාම කි‍්‍රයාත්මක වී ප්‍රධාන රාජපුරුෂයා කැඳවා
‘එම්බා රාජ පුරුෂය, දැන් සඟ මහලු පිළිවෙළින් තෙරුන් වහන්සේලා උක්සකුරු පිළිගැනීමට
වැඩම කරනවා. මෙන්න මේ භාජනය පිරෙන්න හකුරු අරගෙන පාත්‍රයට හෝ ගෙන එන භාජනයට
පිළිගන්වන්න. එහෙම පිළිගන්වන කොට යම් භික්ෂුවක් අත රැකීම් කර වැඩි බව දක්වමින්
ප්‍රතික්ෂේප කළහොත් ඒ බව මට දන්වන්න’යි උපදෙස් ලබා දුන්නා.
දොළොස් දහසක් භික්ෂූන් වහන්සේ පාත්‍රවලට හා තැටි ආදියට රාජ සේවකයා අතැති භාජනය
පුරවලා උක්සකුරු පූජා කරන්න පටන් ගත්තා. තෙරුන් වහන්සේ වැඩම කරන අයුරින් සඟ මහලු
පිළිවෙළට පිළිගත්තා.
මහාසෑයත්, ශී‍්‍ර මහා බෝධීන් වහන්සේත් වන්දනා කර ගන්නෙමි'යි එක් මහ තෙරනමක් හා
සාමණේර නමක් සෑගිරියෙන් පාන්දරින් ම පිටත්වී තිබුණා.
මහතෙරුන් වහන්සේ මහාවිහාරය සමීපයට වැඩම කරන විට බොහෝම වෙහෙසට පත් වී සිටියා. පිපාසය
හොඳින් දැනෙන්න පටන් ගත්තා. පැන් ටිකක් සොයමිනුයි ගමනේ යෙදී සිටියේ. උන්වහන්සේට
දකින්න ලැබුණා දිගු පෝලිමක් වශයෙන් භික්ෂූන් වහන්සේ වැඩ සිටිනවා. තමන් වහන්සේට
හමුවන උක්සකුරු අරගත් තෙරුන් වහන්සේගෙනුත්, රාජ පුරුෂයන්ගෙනුත් මේ ගැන ආරංචිකර
විමසා බැලුවා. එතකොට දැනගන්න ලැබුණා රජතුමා භික්ෂූන් වහන්සේට උක්සකුරු පූජා කරන බව.
තමන් වහන්සේ සමඟ වැඩම කළ පුංචි සාමණේරයන් වහන්සේ අමතලා
‘පින්වත්, සාමණේරයන් වහන්ස, ඔබට උක්සකුරු ඕනද? යි විමසුවා. එවිට
‘ගුරුදේවයන් වහන්ස, මට නම් දැන් අවශ්‍යතාවක් නෑ. මගේ කුස පිරිලා’යි පිළිතුරු
දුන්නා. එසේ නම් ඔබ වහන්සේ උක්සකුරු දෙන ස්ථානයට වඩින්න. මට දිවුල් ගෙඩියක් තරම්
උක්සකුරු කැබැල්ලක් පමණක් අරගෙන එන්න. මට බොහොම වෙහෙස දැනෙනවා. ඒවා වැළඳුවහම වෙහෙස
මහන්සිය ගෙවීයාවි’යැයි ප්‍රකාශ කළා.
පුංචි සාමණේරයන් වහන්සේත් තමන්ගේ ගුරුදේවයන් වහන්සේගේ උපදෙස් අනුව උක්සකුරු පෝළිමට
ගොස් තමන්ගේ අවස්ථාව එනකම් බලා සිටියා. තමන්ගේ වාරය උදා වුණා. රාජ පුරුෂයා සමීපයට
ගොස් තමන් ගෙන ගිය භාජනය දිගු කළා. එවිට රාජ පුරුෂයා රාජ නියෝගය අනුව ලැබී තිබුණු
භාජනය පිරෙන්න උක්සකුරු අරගෙන පුංචි සාමණේරයන් වහන්සේ අතැති භාජනයට පූජා කරන්න හදන
විට උන්වහන්සේ අත දිගු කරමින් එය ප්‍රතික්ෂේප කළා.
එවිට රාජපුරුෂයා මෙහෙම කියන්න පටන් ගත්තා. ‘පින්වත්, පොඩි හාමුදුරුවනේ, අපගේ
මහරජතුමාගේ සතුට මේ භාජනය පුරවලා උක්සකුරු පූජා කිරීමයි. ඒ නිසා රජතුමාගේ සතුට
වෙනුවෙන් බාර ගන්න’යැයි පවසා සිටියා. එවිට සාමණේරයන් වහන්සේ රාජ පුරුෂයා අමතමින්
‘පින්වත් උපාසකය, ඔබ පවසන දෙය සත්‍යයයි. රජවරු නම් දීමෙහි මහත් වූ අදහස් ඇති අයයි.
එහෙත් මගේ ගුරුදේවයන් වහන්සේ වළඳන්නේ දිවුල් ගෙඩියක් පමණ තරම් කොටසක් පමණයි.
උන්වහන්සේ උන්වහන්සේගේ කුසේ ප්‍රමාණය හොඳින් හඳුනන නිසා මට උපදෙස් දුන් ආකාරයෙන්
පමණක් උක්සකුරු ගෙන යා යුතුයි. වැඩිය මාහට පිළිගන්න බැහැ’යි ප්‍රකාශ කළා.
රජතුමා රාජපුරුෂයාගේත්, පොඩි හාමුදුරුවන්ගේත් කතාව අසා සිට අසලට පැමිණ
‘ස්වාමිනි, ඔබ වහන්සේ ගෙන ආ තලිය පුරවා ගන්න’යි නැවතත් ආරාධනා කළා. එවිටත් පොඩි
හාමුදුරුවන් වහන්සේගේ පිළිතුර වූයේ පෙර පිළිතුරමයි. රජතුමා එයින් පැහැදී
‘මේ පොඩි හාමුදුරුවෝ තාම සාමණේරයන් වහන්සේ නමක්, කටේ කිරි සුවඳවත් පහවී නෑ. පැණි
රසවලට කොපමණ නම් කැමැති ද? දෙන දෙයට අමතරව තවත් ඉල්ලාගෙන යන වයසක පසුවෙන්නේ.
උක්සකුරු සැළියක් හෝ කළයක් හෝ පුරවාගෙන ගෙන ගොස් තබා ගන්නා වයසක ඉන්නේ. එහෙත් තමන්
වහන්සේගේ ගුරු ඇසුර නිසා බඩේ තරම පමණක් දනියි. ආහාරවල පමණ දැන වළඳයි.
භික්ෂූන් වහන්සේ නම් මෙබඳු ගුණවලින් යුක්තය’යි සිතමින් සාමණේරයන් වහන්සේ කෙරෙහි
බොහෝ සෙයින් පැහැදීමට පැමිණ රාජ පුරුෂයින් අමතා
‘පින්වත් රාජපුරුෂයිනි, වහා රාජමාලිගයට ගොස් සෙසු උක්සකුරු ගැල් දෙසිය පනහත්
ගෙනවිත් සංඝයාට පූජා කරන්න’යි අණ කර සිටියා. රජතුමා එම උක්සකුරු ගැල් දෙසියපනහත්
පූජා කර බොහෝ සතුටින් නැවතත් රජමාලිගයට ගියා’යි සංයුක්ත නිකායට්ඨ කතාවේ ආසිවිසි
වර්ගයේ සඳහන් වෙනවා.
තමන්ගේ කුසේ ප්‍රමාණයට ආහාර පිළිගැනීම කළ යුතු බවත්, එය කුඩා අවධියේ සිට පුරුදු
පුහුණු කළ යුතු බවත්, ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ආදර්ශ එයට
බලපාන බවත් මේ කතා පුවත අපට උපදෙස් දෙනවා. |