ලැබෙන දෙයින් නොසෑහීම අසහනයට මුලයි
මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝසභික හා
උපාධ්‍යාය ධුරන්ධර
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ
ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
දරුවන් තමන් යම් පමණක බුද්ධි මට්ටමකට පැමිණ ස්වාධීනව කටයුතු කරන්නට හැකි අවස්ථාවට
පත් වෙන තුරුම දෙමාපිය අවසරයකින් තොරව හිතෙන හිතෙන ක්‍රියාකාරකම්වල නොයෙදිය යුතු ය.
තම වැඩි හිටි පිරිස් පෙන්වා දෙන අවවාද උපදෙස්වලින් බැහැරව ක්‍රියා නොකිරීමත්
සැහැල්ලු බව දියුණු කර ගැනීමට හේතු වෙනවා. ඒ වගේම තමා තමන්ට දෙමාපියන්,
වැඩිහිටියන්, කල්‍යාණ මිත්‍රයන් දෙන උපදෙස් නොසලකා, ළමා කාලයේ දී, ශිෂ්‍ය ජීවිතයේ
දී ගුරුවරුන්ගේ බහට අවනත නො වී කටයුතු නොකළ යුතු යි. විවිධ අනවශ්‍ය පොතපත බලමින්
වර්තමානය වන විට ජංගම දුරකථන, අන්තර්ජාලය හරහා විවිධ ක්‍රියාකාරකම්වල යෙදීම නිසා
ළමා පරපුර විශේෂයෙන් පරිහානියට යන්නේ ඔවුන්ගේ විවිධ ඕනෑ එපාකම් ඉටු කර ගැනීමට
තරගකාරිව පෙළඹීම නිසයි.
මේ හැම එකකින් ම සිදු වන්නේ අසහනකාරි කාර්ය බහුල ජීවිතයකට පෙළගැසීම යි. තම මවුපියන්
තමන්ට ලබා දෙන ඇඳුම් පැළඳුම්, පාවහන් ආදි බාහිර දෙයින් දරුවන් සෑහීමකට පත්
නොවන්නේත් මේ තත්වය නිසයි
ඒවගේම භික්ෂූන් වහන්සේ භාෂ්‍යාරාමතායෙන් වැළකෙන්නා සේ ගිහි සමාජය ද නිතර නිතර
දොඩමලු නොවි, නොගැලපෙන වාචාල කථා කරමින්, ඕපාදූප කථාබස්වල නියැළෙමින් වැඩි පුර කාලය
ගත කිරීම ද අප්පකිච්ච බවෙන් තොර වීමක් කොට සැලකෙනවා.
මේ නිසා ශිෂ්‍යයින් නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට කාලය ඉතිරිකර ගැනීම පිළිබඳ
ගැටලුවක් ඇති වෙනවා. වැඩිහිටියන්ට ඔවුන්ගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වීමෙන්
ඔවුන්ගේ දෛනික රාජකාරි කටයුතු ප්‍රමාද වෙනවා. අනිත් අතින් රජයේ හෝ වෙනත් වෘත්තියක්
කරන අයෙක් නම් ඔවුන්ගේ නියමිත වගකීම් ඉටු කරන්නට කාලය මඳවීමෙන් දෝෂදර්ශනයට පවා
ලක්වෙමින් අසහනකාරිව ජීවිතය පවත්වා ගෙන යන්න සිදු වෙනවා.
මේ හැම අවස්ථාවක දී ම පෙනී යන්නේ තමන්ගේ නියමිත රාජකාරි හෝ වගකීම් හෝ ඉටු කරන්ට
තිබෙන කාලය මඳ වීමෙන් අසහනකාරිව ජීවත්වීම යි. එපමණක් නොව භික්ෂූන් වහන්සේ සම්බන්ධව
නිද්දාරාමතාව ගැන කරුණු සඳහන් කළ ආකාරයෙන් ම අලසබව, කම්මැළිබව, නිදිබර ගතියෙන්
ඈලිමෑලිව ක්‍රියා කිරීම නිසා ද සිදුවන්නේ තමන්ට නියමිත කටයුතු වෙලාවට කලාවට ඉටු කර
ගන්නට නොහැකි වීමෙන් ගිහි ප්‍රජාවට ද අසහනකාරීව විසිරුණු සිතින් ක්‍රියා කිරීමට
සිදුවීම යි.
මෙහි දී අප විසින් අවධාරණය කරන්නේ මේ ආකාරයෙන් අපට වැඩ වැඩි වී අසහනයට පත්වීමට හේතු
වන්නේ නියමිත වේලාව තුළ අපේ අරමුණු ඉටු කරගන්ට තිබිය දී එම කාලය වෙනත් අනවශ්‍ය දෑ
සඳහා පෙළඹීමටත්, සීමිත කාලය තුළ තමන්ගේ වයසට, රැකියාවට, තනතුරට අදාළ කාර්යයන් ඉටු
කරන්නට යාමෙන් කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නට සිදුවීම නිසයි. වර්තමාන සමාජය පිළිබඳ
ව විමසීමේ දි මේ තත්ත්වය වඩාත් දැඩි ලෙස පෙනී යන කරුණක් බව අප විසින් සිතට ගත යුතු
වෙනවා.
මෙම ලිපියේ පළමු කොටස
උඳුවප් පුර පෝදා පත්‍රයේ (07) පළ විය |