උඳුවප් පුර අටවක 2022-11-30
දැන යායුතු මඟ
තමන් අන් සියල්ලන්ටම වඩා අංග සම්පූර්ණ බව බොහෝ දෙනෙක් සිතති. ගේ දොර, මිල මුදල්, ධන
ධාන්‍ය, නිලතල, කීර්ති - ප්‍රශංසා ඇති පමණින් ඒ තීරණය ගනිති. එහෙත් ඒ සිතිවිල්ලම
වැරැදි ය. පුද්ගලයකු අංග සම්පූර්ණ වන්නේ භෞතික සම්පතින් සේ ම ආධ්‍යාත්මික සම්පතින්
ද වර්ධනය වූ තරමට ය. බෞද්ධ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇත්තේ මිනිසා ස්වභාවයෙන්
ම සම්පූර්ණ නොවන හෙයිනි.
ආචාර ධර්ම ගැන දැනුම්වත් කළ ද, මොනතරම් අවවාද අනුශාසනා ලැබ දුන්න ද, මිනිසා යහපත්
වන්නේ නැත. යහපත් පුද්ගලයෙක්, අංග සම්පූර්ණ මිනිසෙක් වීමට නම් ඒ ආචාර ධර්ම තම තමන්
ම තම ජීවිතයට පුහුණු කළ යුතු ය.
අපේ දරුවන් දෙස බලමු. දරුවන් පළමුව ජීවිතය ඉගෙන ගන්නේ තම පුබ්බාචාර්යවරුන් වන
මවුපියන්ගෙනි. බොහෝ මවුපියන් ගුණ ධර්ම ගැන දරුවන්ට නිති අවවාද කළ ද, නො හික්මුණු
තැන දරුවන්ට තරවටු කළ ද, දඬුවම් ලබා දුන්න ද, බොහෝ දරුවන් යහ ධර්මතා ජීවිතයට
ප්‍රායෝගික කරගනු නො පෙනේ. එසේවීමට නම් මවුපියන් ඒ මඟ යමින් දරුවන්ට ආදර්ශවත් විය
යුතු ම ය. කකුළු මව ඇදට ගමන් කරමින් සිය දරුවන්ට කෙළින් යන්න යැයි කීවාට කිසි
දිනෙකත් ඒ අවවාදය ඵල සහිත නොවන්නාක් මෙනි.
බෞද්ධ ආචාර ධර්මවල මූලික පදනම පංච ශීලය ලෙස හඳුනාගත හැකි ය. එය බෞද්ධ ගිහියා විසින්
රැකිය යුතු නිත්‍ය ශීලයකි. මේ ශික්ෂා පද සියල්ලෙන් ම කියන්නේ අකුසලයෙන් වැළකීම
පිළිබඳ ය. අපමණ යහපත් දේ කිරීම පිළිබඳව ය. ධම්ම පදයේ සඳහන් ලෙස අකුසල් නොකිරීම,
කුසල් කිරීම, තම සිත පිරිසුදු කර ගැනීම කළ යුතු බව සියලු බුදුරජාණන් වහන්සේගේ
අවවාදය වේ.
ලෝබ, ද්වේෂ, මෝහ යනාදී අකුසල මූලයන් නිසා නිර්මාණය වන මමත්වය අකුසල ක්‍රියාවන්ට මුල
ය. ඒ අකුසල ක්‍රියා බෞද්ධ ආචාර ධර්මයන්ට පටහැනි ය. තමන් කරන ක්‍රියා සීලයට පිටු
නොපාන, පරිත්‍යාගයෙහි, දානයෙහි, කරුණාවෙහි හා ප්‍රඥාවෙහි මුල්බැස ගත් සිතින් වේ නම්
ඒවා පින් ක්‍රියාවන් ය. එසේත් නැතිනම් කුසල කර්මය. එහෙයින් බෞද්ධයා අකුසල මුල්
දුරින් දුරු කොට කුසල් සිතිවිලි වර්ධනය කරන්නට උත්සාහ ගත යුතු ම ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම් පුද්ගලයෙක් යහපත් ක්‍රියාවක් කරන්නේ ද,
අයහපත් ක්‍රියාවක් කරන්නේ ද තමන්ම ඊට වගකිව යුතු බව ය.
අනුන් නිසා හෝ අයහපතක්, වරදක්, පවක් කළේ නම් එහි විපාක මවුපියන්, නෑදෑයන් දරුවන්,
මිතුරන් ආදී වශයෙන් කිසිවෙක් නොවිඳිති. තමන්ට ම විඳින්නට සිදුවේ.
සම්බුදු දහම අනුව යම් කෙනෙක් පාපයක්, වරදක්, අයහපතක් කළේ නම්, එහි පරාභවය, දුක සේ ම
අසතුට ද විඳින්නට සිදුවේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේ දේශනා කරනු ලබන අවවාද, තමන්ගේ
නුවණින් කල්පනා කොට බලා සුදුසුනම් භාවිත කරන ලෙස ය. උන්වහන්සේ හොඳ නරක ක්‍රියාවන්හි
විපාක පෙන්වා දුන්නා මිස තමන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදින ලෙස අණ නොකළහ.
බොහෝ දෙනෙක් දහම් මඟ යනවා යැයි සිතන්නේ, අමූලිකා ශ්‍රද්ධාවෙන්, ආමිෂ පූජාවන්හි ම
නිරත වෙමින් කටයුතු කිරීම ය. ඔවුහු කිසිදු ධර්ම කරුණක් ප්‍රායෝගිකව පුහුණු නොකරති.
බෞද්ධයා උත්සාහ ගත යුතු නොහික්මුණු ගති දුරු කොට, ශිෂ්ට සම්පන්න පුද්ගලයකු ලෙස
අවබෝධය ඇතිව දහම් මඟ යාමට ය. බුදු දහම දැන යා යුතු ධර්ම මාර්ගයකි. |