ඉල් පුර පසළොස්වක 2022-11-07
දහම් ඇස වසන නීවරණ දුරලමු
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සදහම් මඟ යමින්, තෙරුවන් සරණගිය බෞද්ධයාගේ පරම
අභිලාෂය මෙලොව ජීවිතය ඉතා යහපත්ව ගතකොට, මේ දුක් සහිත සසර මඟ නවතා උතුම් නිවන් සුව
ලබා ගැනීම ය.
ඒ යන ගමනේ දී බොහෝ දෙනකුට ජීවිතය වරදින්නේ බොහෝවිට අනවබෝධයෙන්, ධර්මය මනා කොට
තේරුම් නොගැනීමෙන් කටයුතු කරන්නට යාම නිසා ය. එහිදී ලෞකික ජීවිතය ආධ්‍යාත්මිකව ඉහළ
තලයකට ගෙන එනවා වෙනුවට බොහෝ දෙනෙක් මංමුළා වී වැරැදි මඟක යනු පෙනේ. සමාජය මුහුණ දෙන
විවිධ ව්‍යසනකාරි ප්‍රශ්න එහි ප්‍රතිඵල ය.
පුහුදුන් මිනිසාගේ ලෞකික ජීවිතය අයහපතට ඇද දමන සසර මඟ දිගු කරන, දහම් ඇස වසා දමන,
ප්‍රඥාව දුබල කරන ධර්මතා පහක් වෙයි. සදහම් මඟ යන බෞද්ධයා පළමුවෙන් කළ යුතු ඒ
ධර්මතාවන්ගේ ස්වභාවය හොඳින් තේරුම් ගැනීම ය. ඒවා නම් පංච නීවරණ ය. එනම් කාමච්ඡන්දය
හෙවත් කාම රාගය, ව්‍යාපාද හෙවත් තරහ සිතිවිලි, ථීනමිද්ධය හෙවත් අලසකම, උදාසීන බව,
උද්ධච්ච - කුක්කුච්ඡ හෙවත් සිතේ විසිරෙන ස්වභාවය හා පසුතැවිල්ල, විචිකිච්ඡා හෙවත්
බුද්ධාදී අටතැන් කෙරෙහි ඇතිවන සැකයයි.
කාමච්ඡන්දය නම් කාමරාගය යි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි එය පිරිසුදු ජල
බඳුනකට පාට පාට වර්ණ මිශ්‍ර කිරීමක් හා සමාන ය. එවිට ජලයේ පිරිසුදු බවක් දැකිය
නොහැකි ය. කාම රාගය ද එලෙස ය. එහි මත්වූ විට යථාර්ථය පෙනෙන්නේ නැත. කළ යුතු නොකළ
යුතු දෙය වැටහෙන්නේ නැත. ඇසින් දකින රූප හමුවේ ආදී ලෙස පසිඳුරන් මුල්කරගෙන රාගය
ඇතිවන බව හොඳින් තේරුම් ගෙන ඒ සිතිවිලි මැඩපැවැත්වීමට උත්සාහ කළ යුතු ය.
රත්වූ, බුබුළු දමන උණුූ ජල බඳුනකින් මුහුණ බැලූ විට නොපැහැදිලි ය. ව්‍යාපාදයේ
ස්වභාවය ද එවැනි ය. තරහව, වෛරය, ක්‍රෝධය ආදී සිතිවිලි ද ඇත්ත සඟවයි. එහෙයින් එම
සිතිවිලි පිළිකුල් කළ යුතු ය.
ථීනමිද්ධ නම් නිදිමත ස්වභාවය යි. අලසකම යි. අලස පුද්ගලයා කායිකව අඩපණ ය. මානසිකව ද
අඩපණ ය. අලසකමට ප්‍රධාන හේතුව තමන්ට පැවරෙන හෝ තමන් කළ යුතු වූ හෝ කවර ක්‍රියාවක්
වුව ද කැමැත්තකින් සිදු නොකිරීම ය. එහෙයින් ඕනෑම යහපත් දෙයකට සිත තුළ කැමැත්ත
වර්ධනය කර ගන්නට උත්සාහ කළ යුතු ය.
ජීවිතයේ දෛනික ක්‍රියාකාරකම්වලට සේ ම ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනයට ද ඒ ඕනෑකම තිබිය
යුතු ය.
සිත නොසන්සුන් වූ විට, විසිරුණ විට කරන කියන දැයෙහි හොඳ නරක නොවැටහේ. එය අකුසල
නීවරණයක් බව වටහා නොගත්තේ නම් කරන ලද අකුසල ගැනම සිතමින් වර්තමානයේ කුසල් කිරීමෙහි
නැඹුරු නොවේ. එය උද්ධච්චකුක්කුච්ඡ යයි.
මීළඟ නීවරණ ධර්මය විචිකිච්ඡාවයි. එනම් බුද්ධාදි අටතැන් කෙරෙහි වන සැකය යි.
ශ්‍රද්ධාව නොමැති වී දහම් මඟ අවහිරවීම මෙහිදී සිදුවේ. සැකයෙන් බැලූ විට ධර්මය අවබෝධ
වන්නේ නැත.
ජීවිතය අයහපතට හෙළන, පරිහානියට ළඟා කරන නිවන් මඟ අවුරණ, ප්‍රඥාව දුර්වල කරන මේ
නීවරණ ධර්ම හොඳින් හඳුනාගෙන ඒවා දුරුකර ගන්නට උත්සාහයෙන්, උනන්දුවෙන්, ඕනෑකමින්
කටයුතු කළ යුතු ය. අද ඉල්පුර පෝදා ඒ උතුම් සිතිවිල්ල ධාරණය කොට දහම් මඟ යන්නට පෙළ
ගැසෙමු. එවිට මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් සුවදායි වනු ඇත. |