ඉල් පුර අටවක 2022-11-01
සිතට එකඟ සතුට
සම්බුද්ධ දේශනාවට අනුව ඉන්ද්‍රිය පිනවීම ගිහියාට අකැප නැත. එහෙත් ඊට සීමාවක් තිබේ.
ඒ, තම ආධ්‍යාත්මික ගුණධර්මයන්ට, ඒවායෙහි ප්‍රගතියට බාධා වන සේ ඉන්ද්‍රිය පිනවීමෙහි
වහල් නොවීම ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ භෞතික සැප පහසුකම් විඳිමින් සතුටු
විය යුතු වන්නේ එහි අන්තයට නොපැමිණ, තම හෘද සාක්ෂියට එකඟව බවයි.
කලාන්තරයක් තිස්සේ අපේ සමාජයේ ගුණධර්ම සෝදාපාළුවට යමින් පවතී ය යන්න නිරන්තරයෙන්
සාකච්ඡාවට බඳුන් වන කාරණයකි. එහෙත් අප සිහි තබා ගත යුත්තේ බෞද්ධ සමාජයක එවැන්නක්
කිසිසේත් සිදු නොවිය යුතු බව ය. අප තථාගතයන් වහන්සේ ශී‍්‍ර සද්ධර්මය තුළ අපට උගන්වා
වදාළේ යහපත් මිනිසකු වන ආකාරය ගැන ය. දැමුණු, සංවරශීලී, ප්‍රඥාවන්ත මිනිසකු වන සැටි
ය. බුදු මඟ යනවා යනු ඒ ගුණධර්ම කැටිවුණු බණ දහම් වනපොත් කිරීම හෝ අන්‍යයන්ට අවබෝධ
කරවීම හෝ නොවේ. ඒවා තම ජීවිතයට ද පුරුදු පුහුණු කිරීම ය.
සෝදාපාළුවට යන සාරධර්ම නැවත සමාජය තුළ ස්ථාපිත කරවීම් වස් වර්තමානයේ ඒ වෙනුවෙන්
විවිධ සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය ද සංවිධානය කෙරේ. එහෙත් ඒවායේ උත්තේජනය බොහෝ විට ඒ
මොහොතට පමණක් සීමා වේ. සමාජය තුළ ප්‍රායෝගික භාවිතයක් නොපෙනේ. ගුණධර්ම පිරිහීම
පුද්ගල වශයෙන් ද, සමාජමය වශයෙන් ද අහිතකර බව පුන පුනා කිව යුතු නොවේ. ගුණධර්ම
පිරිහීම ඇරඹුණ මොහොතේ ම ජන සමාජයට අහිමි වන්නේ සැනසීමයි. එය උපරිමයට පැමිණ පුපුරා
ගිය හොත් අපේ දරුපැටවුන්ගේ අනාගතයේ අභාග්‍ය සම්පන්න බව කෙතෙක් වේ දැයි තක්සේරු කළ
නොහැකි ය.
එහෙයින් වහ වහා මේ සාරධර්ම සෝදාපාළුවට සාර්ථක පිළියම් ක්‍රියාත්මක කරවිය යුතු ය.
මවුපියන්ට, ගුරුවරුන්ට, භික්ෂූන් වහන්සේට එහිලා බොහෝ ඇප කැප විය හැකි ය. එය
අනුශාසනාවට, දේශනයට පමණක් සීමා නොවිය යුතු, ආදර්ශවත් ක්‍රියාමාර්ගයක් විය යුතු ය.
තරගකාරී අධ්‍යාපන රටාව තුළ අද අපේ දරුවන් ද හුරු වී සිටින්නේ ගුණධර්ම ද කට පාඩම්
කිරීමට ය. ජීවිතය උගන්වන අපුරු පාඩම් සිංහල, බුද්ධ ධර්මය ආදී පාසල් පෙළපොත්වල
අන්තර්ගත වුව ද ඒ පාඩම් මතකයට පමණක් සීමා වන්නේ ඒවා ග්‍රහණය කරවීමේ ක්‍රමවේදයේ යම්
අඩුවක් නිසා විය හැකි ය. එහෙයින් ඒ ගැන සලකා බලා නිසි ක්‍රමවේදයකට අනුව පාසල්
දරුවාට ඒ ගුණධර්ම පුහුණු කරවීමේ වගකීම වැඩිහිටියන් ලෙස කර නොහැරිය යුතු ය.
එක් අවස්ථාවක දීඝජානු නම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ මේ
ජීවිතයේ මෙන් ම, මරණින් මතු ජීවිතය ද සැපවත් කර ගැනීම සඳහා ඉවහල් වන ධර්ම කරුණු
මොනවාද යන්න ය. එහිදී තථාගතයන් වහන්සේ පෙන්වා දුන් කරුණු හතරක් ගැන පමණක් අවධානය
යොමු කරමු. එනම්, දක්ෂයකු ලෙස අවංකව, වීර්යයෙන් යම් ජීවන වෘත්තියක නියැළීම, එම ජීවන
වෘත්තිය ධාර්මික වීම හා ආදායම සුරක්ෂිත කර ගැනීම, යහපත් මිතුරු ඇසුර හා සාධාරණ ලෙස
විය පැහැදමි කිරීම ය.
මේ දහම් කරුණු ගැන විමසුවහොත් ඕනෑම පාසල් දරුවකුට කට පාඩම් ය. එහෙත් අනාගතයේ විශාල
පිරිසක් ක්‍රියාවට නඟන්නේ මෙහි විරුද්ධ පැත්ත ය. ඉඳුරන්ට වහල්වීම එහි ප්‍රධාන හේතුව
ය.
මේ දහම් කරුණු සියුම් ව, ආදර්ශවත් ලෙස දරුවන්ගේ මනසට කාවැද්දීම වැඩිහිටියන්ගේ වගකීම
ය. එවිට අනාගතය බරක් නොවනු ඇත. |