හස්ති ගම්වැසි උග්ග ගෘහපති පුරුදු කළ ආශ්චර්ය අද්භූත කරුණු අටක්
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
සසුන ශෝභමාන කළ, ශ්‍රාවක පිරිස ශෝභමාන කළ උදාර භික්ෂු, භික්ෂුණී ශ්‍රාවක පිරිස ගැන
අප බොහෝ කරුණු ඉගෙනගෙන, දැනගෙන, කියවා, අසා තිබෙනවා. ඒ උතුම් පැවිදි පිරිසට
කිසිලෙසකවත් සම වන්නට නො හැකි වුවත් ගිහි ජීවිතය ගත කරමින්, බුදුරදුන්ගේ ශ්‍රාවක
බවට පත්ව, අඹු දරුවන් පෝෂණය කරමින්, ආශ්චර්ය අද්භූත ගුණ උපදවා ගත් ශ්‍රාවක චරිත
උපාසක, උපාසිකාවන් තුළත් බොහෝ හමු වෙනවා.
දහම් මඟ දියුණු කර ගන්නට මහන්සි වෙන පිරිසට දහමේ හැසිරීමට තව තවත් වීරිය ඇතිකර
ගන්නටත්, ප්‍රීති සිතක් උපදවා ගන්ටත්, මේ ගිහි උපාසක, උපාසිකා ශ්‍රාවක චරිත ගැන දැන
ගැනීම ඔබට බොහෝ උපකාරී වේවි.
අප සැමට ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක්
“මහණෙනි, මේ හස්ති ග්‍රාමයේ උග්ග නම් ගෘහපති ආශ්චර්ය අද්භූත කරුණු අටකින් යුක්ත බව
දරා ගන්න.”යි
වදාළා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව ම හුනස්නෙන් නැඟිට විහාරයට වැඩම කොට
වදාළා.”
ඔය භික්ෂු පිරිස අතරේ උන්නු එක් භික්ෂූන් වහන්සේ නමකට උග්ග ගෘහපති මොන වගේ ආශ්චර්ය
අද්භූතයන්ගෙන් යුක්තව ඇති දැ”යි දැන ගන්නට ආශාවක් ඇතිවුණා.
පසුදින පෙරවරුවේ ඒ භික්ෂූන් වහන්සේ මනාව සිවුරු පොරවා පාත්‍රයත් රැගෙන හස්ති
ග්‍රාමයේ උග්ග ගෘහපතිගේ නිවසට වැඩම කළා.
“පින්වත් ගෘහපතිය, අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ ගැන ආශ්චර්ය අද්භූත කරුණු අටකින්
සමන්විත යැයි වදාරා නිහඬ ව ම විහාරයට වැඩම කොට වදාළා. ඒ ගැන විස්තර වශයෙන් පෙන්වා
වදාළේ නෑ. හැබෑවට ම ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඔබ තුළ ඇති ඒ
ආශ්චර්ය අද්භූත කරුණු අට මොනවා ද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ආශ්චර්ය අද්භූත කරුණු අට මොනවා ද
කියලා නම් මා දන්නේ නෑ. එහෙත් ස්වාමීනි, මා විසින් ම, මා තුළ පවතින්නේ යැයි දුටු
ආශ්චර්ය අද්භූත කරුණු අටක් මා ඔබ වහන්සේට පවසන්නම්.
“ස්වාමීනි, අපගේ පරපුරට අයත් සොඳුරු නාග වන නම් උයනේ දී තමයි මා පළමු වරට ඒ
භාග්‍යවතුන් වහන්සේ දුටුවේ. දුටු දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවන, ප්‍රසාදනීය රූපකාය
ඇති භාග්‍යවතුන් වහන්සේ උතුම් සන්සි¼දීමෙන් යුතුව වඩින අයුරු දුර දී ම දුටුවා. ඒ
පළමු දැක්මෙන් ම මගේ සිත අතිශයින් ම පැහැදී ගියා. ස්වාමීනි, මේ මාගේ පළමු ආශ්චර්ය
අද්භූත කරුණයි.
ඉතින් ස්වාමීනී, මා පැහැදුණු සිතින් යුතු ව භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කළා.
භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ මා හට දානය ගැනත්, සීලය ගැනත්, සුගතියේ උපත ගැනත්,
කාමයන්ගේ ආදීනව ගැනත්, කෙලෙස් නිසා කිලිටි වී යන අයුරුත්, නෙක්ඛම්මයේ ආනිශංසත්
දේශනා කරමින් අනුපිළිවෙළ කථාව වදාළා. ඒ අසා සිටිද්දී ස්වාමීනි මා යම් කලෙක ඉතා
ප්‍රබෝධවත් වූ, මෘදු වූ, නීවරණ රහිත වූ, ඔද වැඩුණු පහන් සිත් ඇති වූයේ ද එවිට
භාග්‍යවතුන් වහන්සේ දුකත්, සමුදයත්, නිරෝධයත්, මාර්ගයත් ගැන වදාරමින් බුදුවරුන්ගේ
සාමුක්කංසික ධර්ම දේශනය සිදුකොට වදාළා.
ඒ දේශනය අසා සිටිද්දී මා හට දහම් ඇස පහළ වුණා.
*
ස්වාමීනී, මම ඒ දහම දැක, දහමට පැමිණ, දහම පසක් කොට ගෙන, දහමේ බැසගෙන, සැකයෙන් එතෙර
වී ‘කෙසේ ද කෙසේ ද’ යන්න බැහැර කොට ශාස්තෘ ශාසනයේ අන්‍ය උපකාර අනවශ්‍ය කෙනකු ලෙසයි,
විසාරදව යි, බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන සරණ ගියේ. ඊළඟට මම බඹසර පස්වැනි කොට
ශික්ෂාවේ සමාදන් වුණා. ස්වාමීනී, මේ මා තුළ ඇති දෙවැනි ආශ්චර්ය අත්භූත කරුණයි.
* ස්වාමීනී, මට උන්නා යොවුන් බිරින්දෑවරු හතර දෙනෙක්. ඉතින් මා ඒ අය කැඳවා මෙහෙම
කිව්වා. “සොයුරියනේ, අද පටන් මා බඹසර සහිත ව පන්සිල් සමාදන් වුණා. ඒ නිසා අදින් පසු
යම් තැනැත්තියක් කැමති නම් මෙහෙ සිට ම භෝග සම්පත් අනුභව කරන්න. පිනුත් කරන්න. එහෙම
නැති නම් තම තමන්ගේ ඤාතීන් වෙත යන්න. එසේත් නැතිව යම් පුරුෂයකු අපේක්‍ෂා කරයි නම්
මා හට කියන්න. මා, ඔහුට ඔබව සරණ පාවා දෙන්නම්” කියලා. ඒ වෙලාවේ ස්වාමීනී, මාහට සිටි
ජ්‍යෙෂ්ඨ බිරිඳ වෙනත් පුරුෂයකුට කැමති බව පැවසුවා. මා ඔහු මේ නිවසට ගෙන්වා වම්
අතින් බිරිඳ ගෙන, දකුණු අතින් පැන් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂයාට පැන් වඩා භාර දුන්නා.
හැබැයි ස්වාමීනී, ඒ යොවුන් බිරිඳ අත්හරින විට මගේ සිතේ කිසිදු වෙනසක් වූ බව මා
දකින්නේ නෑ. මේ තමයි ස්වාමීනී මා තුළ ඇති තුන්වැනි ආශ්චර්ය අද්භූත කරුණ.
* ස්වාමීනී, මා තුළ ඇති සිව්වැනි ආශ්චර්ය අද්භූත කරුණ නම් මේ මාගේ නිවසේ ඇති භෝග
සම්පත් සිල්වත් උතුමන්හට ‘මෙය නො දෙමි, මෙය දෙමි’ වශයෙන් සිතක් නොමැතිව බෙදන
ස්වභාවයක් ඇතුවයි මා වාසය කරන්නේ.
ඊළඟට ස්වාමීනී, මා යම් භික්‍ෂූන් වහන්සේ නමක් කරා එළඹෙන්නේ සකස් කරලා ම යි. ඒ
භික්ෂූන් වහන්සේ මා හට දහම් දෙසයි නම් ඉතා හොඳීන් සකසා ම යි මා ධර්මය අසන්නේ. මෙය
මා තුළ ඇති පස්වන ආශ්චර්ය අද්භූත කරුණයි.
* ස්වාමීනී, මා සංඝරත්නයට දන් බෙදන විට දෙවිවරු මට ඇහෙන්න මෙහෙම කියනවා. “ගෘහපතිය, ඔය
භික්‍ෂූන් වහන්සේ ප්‍රඥා විමුක්ත යි. අසවල් භික්‍ෂුව ‘කායසක්ඛී’ ආදී වශයෙනුත්
“ගෘහපතිය, ඔය භික්‍ෂුව නම් පවිටු දහම් ඇති දුස්සීලයෙකි” වශයෙනුත් ය. එහෙත්
ස්වාමීනී, ඒ දෙවිවරුන්ගේ කතා අහලා ගුණවත් භික්‍ෂුන් වහන්සේට වැඩිපුර බෙදන්නෙමි'යි
කියා හෝ, පාපී භික්‍ෂුවට අඩුවෙන් බෙදන්නෙමි යි කියා හෝ සිතිවිල්ලක්වත් සංඝ රත්නයට
දන් බෙදනා විට මා උපද්දවා නෑ. මේ මා තුළ ඇති හයවෙනි ආශ්චර්ය අද්භූත කරුණයි.
* ස්වාමීනී, දෙවිවරු නිතර මා වෙත පැමිණ කතා කරනවා. එහි ඇති ආශ්චර්යයක් නෑ. දෙවිවරු මට
කියනවා “ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මැනවින් වදාරලයි තියෙන්නේ” කියලා.
එතකොට ස්වාමීනී මං දෙවිවරුන්ට උත්තර දෙනවා “දෙවිවරුනි, ඔබ කිව්වත් නැතත්
භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මනාකොට වදාරලයි තියෙන්නේ” කියලා.
* ස්වාමීනී, මා තුළ තියෙන හත්වැනි ආශ්චර්ය අද්භූත කරුණ තමයි මා කරා දෙවියන්
පැමිණෙනවා, මා සමඟ දෙවියන් කතා කරනවා කියලා මට මාන්නයක් හටගත් බවක් නම් මා දකින්නේ
නෑ.
* ස්වාමීනී, මා තුළ ඇති අටවැනි ආශ්චර්ය අද්භූත කරුණ තමයි මා භාග්‍යවතුන් වහන්සේට
පළමුව කළුරිය කළහොත්, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංයෝජනයකින් බැ¼දී ගිය හස්ති
ගම්වැසි උග්ග ගෘහපති තෙමේ යළි මේ මිනිස් ලොවට පැමිණෙයි නම් එබඳු සංයෝජනයක් ඔහු තුළ
නැත්තේ යැයි මෙසේ මා ගැන පැවසීම ආශ්චර්යයක් නොවෙයි.
* ස්වාමීනී මේ ආශ්චර්ය අද්භූත කරුණු මා තුළ තිබෙන බව මට දිස්වෙයි. එහෙත් භාග්‍යවතුන්
වහන්සේ විසින් වදාළ ආශ්චර්ය අත්භූත කරුණු අට නම් මොනවා දැයි මා දන්නේ නෑ.”
භික්‍ෂූන් වහන්සේ උග්ග සිටුවරයාගේ නිවසේ දී ම දන් වළඳා අනතුරුව භාග්‍යවතුන් වහන්සේ
හමුවට වැඩම කළා. මෙසේ සිදුවූ සියල්ල පවසා සිටියා.
“සාධු! සාධු! භික්‍ෂුව, හස්ති ගම්වැසි උග්ග ගෘහපති ඉතා මැනවින් ඒ කරුණු පවසා
තිබෙනවා. මා විසින් දේශනා කළත් ඔහු ගැන පවසන්නේ ඔය අයුරින් ම යි. ඒ නිසා පින්වත්
භික්‍ෂුව ඔය අටක් වූ ආශ්චර්ය අද්භූත කරුණු හස්ති ගම්වැසි උග්ග ගෘහපති තුළ තිබෙන්නේ
යැයි දරාගන්න.” යි අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. |