වප් අව අටවක 2022-10-17
සැහැල්ලු සිතක්
ජීවිතයේ මුහුණ දෙන අනේකවිධ ගැටලු, දුක්ඛ දෝමනස්සයන් හමුවේ බොහෝ දෙනකුට අහිමි වන්නේ
සිතේ සැහැල්ලු බවයි. නිරන්තරයෙන් වෙහෙසකාරී වන, පීඩාකාරි වන සිත තවත් ගැටලු රාශියක
ආරම්භය මිස අවසානයක් නොවේ. එහෙත් සම්බුදු දහමින් අපට අවබෝධ කරවන්නේ අටලෝ දහමට කම්පා
නොවී සැහැල්ලු සිතින් ජීවත්වන ආකාරය ගැනයි.
ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක යනුවෙන් සෑම බෞද්ධයකුට ම පාහේ
කටපාඩමින් අටලෝ දහම නම් කළ හැකි වුව ද ඒ දැනුම ප්‍රායෝගික ව ජීවිතයට ගලපා ගන්නා අය
ඉතා සීමිත ය. සැහැල්ලු සිත අහිමි වන්නේ ඒ නිසා ය.
ජීවිතයේ දුෂ්කර කාලයන් පැමිණීම සාමාන්‍යය. එයට තම තමන් තනිව ම හෝ කණ්ඩායම් ලෙස
සාමූහික ව හෝ මුහුණ දිය යුතු ම ය. අභියෝග හමුවේ පැන යනවා වෙනුවට, එය විසඳා ගන්නා
ආකාරය පිළිබඳ දැන උගතුන්ගේ අවවාද අනුශාසනා ලැබීම මෙන් ම සිහිකල්පනාවෙන් තමන් ම
විමසා බැලීම තුළ තමන් ට නොහැකිය යන ආකල්පය තුළ අසරණ නොවීමට පුළුවන.
කඳු පල්ලම් සහිත බිමක ඇවිද යන මිනිසකු පල්ලමට යා යුතු නම් කන්ද තරණය කළ යුතු ම ය.
මට අපහසුයි. නොහැකියි ලෙස සිතුවේ නම් ඔහුට තවදුරටත් තමන් බලාපොරොත්තුවෙන තැනට යා
නොහැකි ය. එහෙයින් දුෂ්කර ව හෝ අරමුණට යා යුතු ම ය. කන්දක් තිබ්බොත් පල්ලමක්
තිබෙනවා යන ජන වහර තුළ ඉඟි කරන්නේ ද අභියෝග ජය ගත යුතු බවත්, අවසානයේ සැනසීමක්
ලැබෙන බවත් ය. එහෙයින් මට පුළුවන් යන ආකල්පය විශේෂයෙන් බෞද්ධයකු තුළ තිබිය යුතු ම
ය. එය ලෞකික ජීවිතය මෙන් ම ලෝකෝත්තර ජීවිතයට ද එක හා සමාන ව විපුල පල දෙන්නකි.
අලසකම, කුසීතකම, උදාසීනත්වය ආදී අයහපත් හැඟීම් මැඩ පවත්වා ගැනීමට සමත් වන තැන ය. ඒ
තැනට ළඟාවිය හැකි වන්නේ.
අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන් ඉදිරියේ මතු සම්බුදු පදවිය පිණිස නියත
විවරණ ලබන්නේ තවත් කල්ප ගණනාවක් ඝෝර සසර මඟ අනේක අභියෝගයන්ට, ප්‍රශ්නවලට මුහුණ
දෙන්නට සිදුවන බව දැනගෙන ම ය. එහෙත් සම්මා සම්බුදු බව ලැබ සියලු ලෝ සතුන් දුකින්
එතෙර කරවනවා යන උතුම් අධිෂ්ඨානය මල්ඵල ගන්වා ගන්නට උන්වහන්සේට හැකි වූයේ තමන්
වහන්සේගේ ඉලක්කය වෙනුවෙන් අධිෂ්ඨානශීලීව, නොපසුබට වීර්යයෙන් කටයුතු කිරීම නිසා ය. ඒ
වෙනුවෙන් දුෂ්කර අවස්ථාවන්ට, අභියෝගයන්ට මුහුණ දුන්නා මිස උන්වහන්සේ ඒවාට නොපැරදුණ
හ.
බෞද්ධයන් ලෙස බෝසත් චරිතය, සම්බුද්ධ චරිතය තුළ වන ඒ උතුම් ගුණාංග ආදර්ශයට ගන්නට,
යම් පමණකට හෝ තම ජීවිතයට ද පුරුදු පුහුණු කරන්නට උත්සාහවත් විය යුතු ය. ඒ තමන්ගේ
යහපත වෙනුවෙනි.
අපි සියලු දෙනා උපතින් මහා ධන සම්පත් ඇතිව උපදින්නේ නැත. දියුණුවේ ඉහළට ම ගිය බොහෝ
පුද්ගලයන්ගේ අතීතය ඉතා දුක්බර ය. ඒ තුළ ඔවුහු පසුබැස්සා නම් අනාගතය ද දුක්බර වන්නට
තිබුණි. ඔවුන් එය ජය ගත්තේ නොපසුබටව, වීර්යයෙන් කටයුතු කිරීම නිසා ය.
අනාගතයේ බොහෝ අභියෝග ජය ගැනීමේ මූලාරම්භය කුඩා කල ලබන අධ්‍යාපනයයි. එය සාර්ථක කර
ගන්නට නම් තැනට සුදුසු නුවණ ඇවැසි ම ය. කලණ මිතුරන් හදුනා ගැනීම, පාපී මිතුරන්
බැහැර කිරීම, වීර්යවන්ත බව, අවවාද අනුශාසනා ලැබීම ආදි බොහෝ දේ අවස්ථාවට සුදුසුම
අවස්ථාවේ හසුරුවා ගත යුතු ය. එවිට එදිනෙදා ජීවිතයටත්. මතු අනාගතයටත් සැහැල්ලු
මනසින් මුහුණ දිය හැකිවනු නො අනුමාන ය. |