ළමාවියේ මවුපිය සෙනෙහස අහිමි වුණොත්
අනාගතය ම අඳුරු විය හැකියි
රොටුඹ ජෝතිධම්ම හිමි
දරු සම්පත මිනිසුන්ට පිහිටවන සම්පතකි. “පුත්තා වත්ථු මනුස්සානං” ලෝකයේ විවිධ සම්පත්
වේ. එහෙත් ඒවා දරු සම්පත තරම් නොවටින්නේ ය.
ලොව මොන තරම් සම්පත් ඇති නමුත් දරු සම්පත නොමැතිව මානසික පීඩනයන්ට ලක් වූ පිරිස්
බොහෝ ය.
ලොව සියලු මවුපියෝ දරු සම්පත අගය කරති. එබැවින් කුමන ආකාරයේ දරුවකු ලැබුවත් ඒ දරුවා
භාර ගැනීමටට කැමැත්තෙන් පසුවෙති. එහෙත් සෑම මවුපියකුගේ ම බලාපොරොත්තුව වන්නේ කායික
හා මානසික වශයෙන් නිරෝගිමත් දරුවකු ලබා ගැනීමට යි.
මේ සඳහා නූතන විද්‍යාව තුළින් උපදෙස් ලබා දුන්න ද මීට පෙර නීරෝගිමත් දරුවකු බිහි කර
ගැනීමට අනුගමනය කළයුතු උපදෙස් බොහොමයක් බෞද්ධ දර්ශනය තුළින් පෙන්වා දී ඇත.
නිරෝගී දරුවකු බිහි කර ගැනීම සඳහා මව්පියන් විසින් කාලගුණික, දේශගුණික වශයෙන් යහපත්
පරිසරයක් පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. බෝසතාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගැනීමට පෙර
පස්මහ බැලුම් ලෙස කාලය, දීපය, දේශය, කුලය, මව ලෙස බලන්නට යෙදුනේ මෙයයි. මෙහි
ප්‍රායෝගික තත්ත්වය නම් ශීත කාලයේ දී හෝ උෂ්ණාධික කාලයක දී හෝ දරුවකු බිහි කර
ගැනීමට කටයුතු කරන්නේ නම්, දරුවන්ට මෙන් ම මවුපියන්ටත් මහත් පීඩාවක් බවට පත් වෙයි.
එබැවින් අතීතයේ දී මවුපියන් දරුවන් බිහි කිරීමට පෙර නක්ෂත්‍රය, කාලය, සෘතුව බලා
ආහාර පානාදී පූර්ව අවශ්‍යතාවන් සලකා බලා කටයුතු කළ බව ජාතක පාලියෙහි සඳහන්
ආකංඛමානා පුත්තඵලං - දෙවතාය නමස්සති
නක්ඛත්තානි ද පුච්ඡන්ති - උතුසංවච්ඡරානි ච
යන ගාථාවෙන් සඳහන් වේ. එසේ නොවුණහොත් අක්‍රීය දරුවකුවීමට බොහෝ සේ හේතු වේ.
දරු ගැබක් හට ගැනීමෙන් පසු ඒ දරුගැබ රැක ගැනීම මව සතු වගකීමකි. වඩාත් නිරෝගී දරුවකු
බිහි කර ගැනීම සඳහා මව සතුටින් කාලය ගත කළ යුතු ය. එහි දී මවට ඇතිවන දොලදුක
සංසිඳුවීමෙන් මව සතුටු කළ යුතු ය. දරුවා වෙනුවෙන් මව සිදුකරන කාර්යය අනුව බුදුදහමේ
දී මව විවිධ නම්වලින් හඳුන්වයි. ජානෙන්ති, සුභද්‍රා, තොසෙන්ති, පොසන්ති යනු ඉන්
කිහිපයකි.
ජානෙන්ති යනු හොඳ දරු උපතක් ලබා දෙන්නිය යන්න යි. දරුවා මෙලොවට බිහි කිරීමට පෙර ඇය
තමන්ගේ ජීවන රටාව පවා වෙනස් කරයි. දරුවාට හිතකර ආහාර පාන ගැනීමට යොමු වේ. එසේම
තමාගේ ගෙදර පරිසරය වෙනස් කිරීමට ද පෙළඹෙයි. ඉන් තමන්ගේ කායික මානසික සුවය ඇතිකර
ගනී. රළු, කඨෝර ආහාර ගැනීම දරු ගැබට අහිතකර ය. ඉන් ඇය වැළකෙයි. එබැවින් ඇය මව්
පදවියට සූදානම් වන්නේ විශාල කැපකිරීම් කරමිනි. එබැවිනි ඇය ජානෙන්ති යනුවෙන්
හඳුන්වනුයේ.
සුභද්‍රා යනු සෙනෙහස දැක්වීම යි. මව තම දරුවන්ට සෙනෙහස නොඅඩුව ලබා දෙන්නී නම්,
දරුවන් නොමඟ යන අවස්ථා බොහෝ දුරට අඩු ය. අයහපත් චර්යාවලට පෙළඹී ඇති බොහෝ පුද්ගලයින්
පිළිබඳ විමසා බැලුවහොත් ඉන් බහුතරයකට කුඩා කල පටන් මවුපියන්ගේ සෙනෙහස අහිමි වූ අය
බවට නිගමනය වී ඇත.
තොසෙන්ති යනු සතුටු කරන්නිය යන්න යි. නැළවිලි ගී, පි‍්‍රයවචන ළමා මනසට දැනුම,
පි‍්‍රය උපදවන පරිසරය, සුදුසු ඇඳුම්, පැළඳුම් ආදියෙන් මෙන්ම, උණුසුම් වැළඳ ගැනීමෙන්
මව,දරුවා සතුටු කරන්නී ය.
පොසෙන්ති යනු මෙලොවට බිහිවුණු දරුවා හොඳින් පෝෂණය කිරීමයි, කුඩා කල සිට දරුවා ඇසක්
මෙන් රැක බලා ගනී. ඒ බව පියං ච පුත්තං නයනං එකකං යන බුදු වදනින් පැහැදිලි වේ.
සිදුහත් බෝසත් කුමරුගේ මවුපියන්, සුදොවුන් රජු හා මහමායා දේවිය හමුවේ පිරිස
බ්‍රාහ්මණ සීලය සමාදන් වූ බව සඳහන් වීමෙන් ගම්‍යවන්නේ දරුවකු පිළිසිඳ ගැනීමට පෙර
සිට ම මව ඒ සඳහා කායික මානසික වශයෙන් සූදානම් වන බවයි.
එසේම මවක් දරුවකු මෙලොවට බිහි කිරීමට ප්‍රථම සංඝයා වහන්සේ ලවා අංගුලිමාල පිරිත්
දේශනාව සිදු කරවාගෙන දරු ප්‍රසූතියට සූදානම් වන්නේ කායික මානසික වශයෙන් නීරෝගිමත්
දරුවකු බිහිකිරීම උදෙසා ය. එසේම ගැබ්ගත් කාලය තුළ ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුතාවක්
දක්වමින් යහපත් ජීවන රටාවක් අනුගමනය කරයි.
වර්තමානයේ බොහෝ ගර්භනී කාන්තාවන් කාර්යබහුල ජීවිතයක් ගතකරයි. බොහෝ මවුවරු කායික
මානසික වෙහෙසකට හා සිත්තැවුලට පත් වේ. එපමණක් නොව එමනිසා ඇතැම් ගර්භණී කාන්තාවන්
මද්‍යසාර භාවිතය, අසභ්‍ය දර්ශන නැරැඹීම, බාහිර ආටෝපය සඳහා ආලේපන භාවිතය හා නුසුදුසු
ඇඳුම් භාවිත කිරීම ආදිය නිසා කුසෙහි සිටින දරුවාට අයහත් බලපෑමක් ඇති කෙරේ. එමගින්
කායික මානසික වශයෙන් දුර්වල දරුවකුගේ උපතකට හේතුවේ. ඒ නිසා කාන්තාවන් ගැබ් ගැනීමෙන්
පසු කළලය මාස තුනක් හා නවයක් අතර කාලය තුළදී මවගේ සිතුම් පැතුම්වලට පමණක් නොව බාහිර
පරිසරයට ද සංවේදීතාව දක්වයි.
කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් “මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ” යන පාඨය
අනුව මවක් තමන්ගේ දරුවා දිවි පුදා රකී. යනුවෙන් දේශනා කොට ඇති පරිදි මවක් තම දරුවන්
වෙනුවෙන් කරන කැපවීම පැහැදිලි වේ.
ප්‍රසූතියකින් පසුව ද දරුවා කෙරෙහි වඩාත් අවධානය යොමු කළ යුතු කරුණකි. එය කායික
මානසික වශයෙන් නිරෝගී දරුවකු බිහි කර ගැනීම සඳහා ඉවහල් වේ.
මෙලොව උපන් දරුවා කුඩා කල සිට පෝෂණය කරන්නේ මව්කිරෙනි. බුදුරදුන් මහා තණ්හා සංඛය
සූත්‍රයේ දී පෙන්වා දෙනු ලබන්නේ සිය දරුවා ලේවලින් පෝෂණය කරන බවයි. එනම් රුධිරය
කිරි බවට හරවා පෝෂණය කරන බවයි. මවකට කිරි එරෙනුයේ දරුවාට ඇති අසීමිත සෙනෙහස නිසා ය.
මවට බුදුදහමෙහි පොසෙන්ති යන වචනය භාවිත වන බව ඉහත දී දක්වන ලදී. මව විසින් දරුවකුට
දිය යුතු හොඳම දේ මව්කිරි ය. ඉන් දරුවාට මනා පෝෂණයක් ලබා දෙයි. දරුවා නීරෝගිමත්
කරයි.
නූතනයේ ඇතැම් මව්වරු තමන්ගේ රූප සම්පත්තිය පිළිබඳ සිතමින් දරුවන්ට කෘත්‍රිම කිරි
ලබා දීම නිසා මව සහ දරුවා අතර ඇති බැඳීම දුරස් වී ඇත. බොහෝ දරුවන් මේ නිසා රෝගී වී
ඇත. මව විසින් තම ඇකයෙහි දරුවා තබා ගනිමින් මවුකිරි ලබාදීමේ දී දරුවාට මවගේ උණුසුම
ලැබෙයි. මව දරුවාගේ අඟපසඟ පිරිමදියි. එමඟින් දරුවාට කායික මානසික සුවයක් ඇති කරයි.
එසේම දරුවා හඬන විට නැළවිලි ගීයෙන් දරුවා නළවයි. එමඟින් දරුවාට මානසික සතුටක් ලබා
දෙයි. එමඟින් දරුවාට මනා පෞරුෂයක් ගොඩනඟා ගැනීමට රුකුලක් ඇති වේ.
පුත්‍ර ප්‍රේමය තරම් සමාන තවත් දෙයක් නැති තරම් බව නත්ථි පුත්තා සමං පෙමං යන
දේශනාවෙන් සඳහන් වන්නේ ද මවුපියන්ට ඇති එකම සම්පත දරු සම්පත නිසාවෙනි.
එසේම දරුවන් නිසා ඇතමකු සතුටු වන්නේත්, දුක් වන්නේත් එම දරුවන්ගේ ක්‍රියා කලාපයන්
නිසා ය. තම දරුවන් නිසා දුක් නොවී සතුටු වීමට නම් තම දරුවන් මනාව හදාවඩා ගත යුතු ය.
සිඟාලෝවාද සූත්‍රයේ දී ඒ බැව් කාරණා පහකින් පෙන්වා දෙයි.
එනම් පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවවෙසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන
සංයොජෙන්ති, සම්මා දායජ්ජ නියොජෙන්ති යනුවෙනි. මෙම යුතුකම් මවුපියන් තම දරුවන්
වෙනුවෙන් සිදු කරන්නේ නම්, මවුපියන්ට තම දරුවන් කෙරෙහි ශෝකවීමක් සිදු නොවේ.
වර්තමානයේ ඇතැම් මවුපියන් තම දරුවන්ගේ යුතුකම් ඉටු නොකොට පසුතැවෙති. ඒ නිසා සමාජයේ
බහුතරයක් අයහපත් ක්‍රියා කලාපයන්හි නියැළීමට හේතු වී ඇත.
එබැවින් බුදුදහමට අනුව යහපත් කායික මානසික නිරෝගීතාවය යුතු ක්‍රියාකාරී දරු පරපුරක්
බිහිකර ගැනීම පිණිස මවුපියන් දරුවකු බිහි කිරීමට සිත් වූ දිනයේ සිට ම ඉහත දී
සාකච්ඡා කළ කරුණු අනුව කටයුතු කළ යුතු බව මැනවින් පසක් වේ. |