වප් පුර පසළොස්වක 2022-10-09
ගැටලු මඟහරින මඟ
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ ඇතුළත් ගැටලු ය. පිටතත්
ගැටලු ය. ඔවුන් සිත පෙළන මේ අපමණ ගැටලුවලින්, අවුල් වියවුල්වලින් මිදෙන්නේ කෙලෙස
දැ”යි එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දේවතාවෙක් උන්වහන්සේගෙන් විමසා
සිටි බව දේවතා සංයුත්තයේ සඳහන් ය.
එවිට බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේවතාවා අමතා දේශනා කොට වදාරනු ලැබ ඇත්තේ මිනිසා
මුහුණ දෙන මේ සා ගැටලු මිනිසාගේ වරදින් නිර්මාණය කරගත් ඒවා බව ය. ඒ වරද නම් මිනිසා
ගුණධර්මවලින් දුරස්වීම ය.
එහෙයින් මිනිසා සිත, කය හික්මවා ගැනීම, සිත පාලනය කර ගැනීම, සිත හා ප්‍රඥාාව දියුණු
කර ගැනීම කළ යුතු බව උන් වහන්සේ දේශනා කොට වදාළහ.
මීට අවුරුදු දහස් ගණනකට පෙර බුදුරදුන්ගෙන්, දෙවියන් විමසූ මේ පැනය එදාට මෙන්ම,
ඇතැම්විට එදාටත් වඩා අදට පොදු කාරණයක් බව සමාජයේ ඇසෙන්නට පෙනෙන්නට තිබෙන දේ තුළින්,
අප අත්දකින, අත්විඳින සිදුවීම් තුළින් පැහැදිලි ය. සමාජය උඩුයටිකුරු කරවන ඇතැම්
සිදුවීම් සිතා බලා කටයුතු කරන්නට හැකියාව ඇති මිනිසාගේ ම ක්‍රියාකලාපයන් දැයි සැක
සිතෙන තරමට ඛේදනීය ය. අප්‍රසන්න සහගත ය.
ලෝභය, ද්වේෂය, මෝහය ආදී අකුසල මූලයන් සිත තුළ ක්‍රියාත්මක වී අවසානයේ ක්‍රියාවට
නැඟේ. එය ඇතැම්විට සීමාව ඉක්මවා යන්නේ මිනිසාට මිනිස්කම පවා අමතක කරවමිනි. එහි
දීර්ඝකාලීන ඵලය සතුටක් සැනසීමක් නොව අවුල් වියවුල් පමණක් ම බව හැඟෙන්නේ බොහෝ පමා
වීය. එවිට සිදුවිය යුතු විනාශය වී හමාරය.
එය නිවැරැදි කරන්නට අසීරු ය. ඇතැම්විට ඒ අනිසි පල සදාකාලිකව ම දුක් සුසුම් ඉතිරි
කරන්නේ ය. අස්වයා ගිය පසු ඉස්තාලය වසා ප්‍රයෝජනයක් නැත. එය කළ යුතු ඒ සත්ත්වයා පැන
යන්නට පෙර ය. බොහෝ දෙනකුගේ ක්‍රියා කලාපයන් ද එලෙස නිෂ්ප්‍රයෝජනවත් ය.
යමක් කියන්නට කරන්නට පෙර ඒ ගැන හොඳින් සිතා බැලිය යුතු ය. ශ්‍රී සද්ධර්මයෙහි සඳහන්
ලෙස තමන්ට අනර්ථවත්, අනුන්ට ද අනර්ථවත්, තමන්ටත් අනුන්ටත් යන දෙපිරිසට ම අනර්ථවත්
වන කිසිදු දෙයක් නොකළ යුතු ය. එවිට අවුල් - වියවුල්, විසඳාගත නොහැකි ගැටලු පැන
නොනඟී.
එය කළ හැකි වන්නේ ද තමන්ට ම ය. මවට - පියාට, ගුරුවරුන්ට, පූජ්‍ය පක්ෂයට හෝ වෙනත්
වැඩිහිටියකුට ආදි ලෙස කිසිවකුට අප හික්මවිය නොහැකි ය. ඔවුන්ට කළ හැකි ඒ සඳහා මඟ
කියාදීම පමණ ය. එහි ගමන් කරනවා ද යන තීරණය තමන්ගේ ය. ඇතැම් කෙනෙක් වැරැදි කරන්නේ
මවුපියන්, දූ දරුවන් නිසා යැයි කියති. එසේත් නැතිනම් අනුන්ගේ අවශ්‍යතාවකට යැයි
කියති. භෞතික වශයෙන් ඔවූහු ඒවායේ ප්‍රයෝජන අත්විඳිනවා විය හැකි ය. එහෙත් ඒ වරදෙහි
දුක් විපාකය නම් බෙදා ගන්නට කිසිවෙක් තමන් සමඟ ඉදිරිපත් වන්නේ නැත. ඒවා භුක්තිවිඳිය
යුතු තමන් තනිව ම ය. ඒ අවුල් වියවුල් තමන් ම විසඳා ගත යුතු ය. මේ ජීවිතයේ පමණක් නොව
මතු සසරට ද ඒ දුක උරුම ය. පනින්නට පෙර සිතා බැලිය යුතු එහෙයිනි.
නිරවුල් මනස සාමකාමී ය. වරදෙහි නොබැඳෙන්නේ ය. කරන කියන කටයුතු ද අවුල් නොවන්නේ ය.
ගැටලු ද නැත. එවැනි ජීවිතයකට කළ යුතු පළමු පියවර අපගේ තථාගතයන් වහන්සේ දේශනා කොට
වදාළ ලෙස පංචශීලයෙහි පිහිටීම ය. එවිට කය වචනය සංවර වේ. අපගේ ඇසට, කන, නාසය, දිව
ශරීරයට හසුවන දේ ගැන හික්මීමක් ඇති වේ.
එමෙන් ම ලෝකය ගැන අවබෝධ කොටගෙන ලෝකය සමඟ ජීවත් විය යුතු වේ. අට ලෝ දහමට කම්පා නොවී,
සම්බුදු වදන අනුව යමින් මැදුම් පිළිවෙත අනුගමනය කරනවා නම්, තමන්ගේ පිහිට තමන්ට ම
සලසා ගැනීමට පුළුවන. ඒ ජීවිතය අවුල් වියවුල්වලින් තොරය. |