බිනර අමාවක 2022-09-25
ශීලය ප්‍රායෝගික වියයුතු ය
පෙර ලක්දිව උතුරු වඩුන්නාව නම් ගමක් විය. ඉතා ධාර්මිකව දිවි ගෙවූ අහිංසක ගොවියෙක් ඒ
ගම විසුවේ ය. කිසිදු විටෙක ඔහුගෙන් කිසිවකුට හිරිහැරයක්, හිංසාවක් සිදු නොවුණි.
දිනක් සිය කුඹුර සීසා ගවයන් මුදා හළ ඔහු සවස එක් ගවයකු නැති බව දැන ඌ සොයා ගියේ, මහ
වනයට ද පිවිසුණි. ඒ වනාන්තරය පටන් ගන්නා තැනම සෙනසුනක් විය. එහි වැඩ වෙසෙන භික්ෂූන්
වහන්සේ දුටු ගොවියා එහි ගොස් උන්වහන්සේට නමස්කාර කොට තමන් වනයට පිවිසි කාරණය ද කීවේ
ය. මේ භික්ෂූන් වහන්සේ නම්, පිංගල බුද්ධරක්ඛිත තෙරණුවන් ය. උන්වහන්සේ ඒ බව ගොවියාට
නොහඟවා
“උපාසකය, එසේ නම් පන්සිල් සමාදන් වී යන්න’යි පවසා ඔහු පන්සිල් හි පිහිටු වූ හ.
ගොවියා සතුටු සිතින් ගවයා සොයනු පිණිස පිටත් විය. අතරමඟදී ඔහුට මහත් කරදරයකට මුහුණ
දෙන්නට සිදුවිණ. ඒ විශාල පිඹුරකුගේ ග්‍රහණයට හසු වීම ය. ඔහුට ගැලවීමක් නොවුණි.
පිඹුරාගේ ග්‍රහණය තව තවත් දැඩි විය. ඔහු අතේ තිබූ කෙටේරියෙන් පිඹුරාගේ හිසට පහර දී
මරා දැමීමට සිතා කෙටේරිය එසවීය. එහෙත් ඒ ක්ෂණයෙන් ම ඔහුට සිත්වූයේ ‘අහෝ,මම කෙසේ නම්
මේ සතා මරන්න ද? මා සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් වෙතින් පන්සිල් සමාදන්වයි මේ ගමන
ආවේ’ යනුවෙනි. ඔහුගේ සිත නැඟි බිය පළවා හරිමින් මෙත් සිතින් කෙටේරිය පහතට ගත්තේ ය.
තෙවතාවක් ම මෙලෙස සිදු වුණි. තුන්වැනි වතාව වනවිට පිඹුරා ගොවියාගේ කිසිලි දක්වාම
වෙළාගෙන ය. ග්‍රහණය දැඩි ය.
“මේ නපුරු සතාගෙන් දැන් ඉතින් බේරුමක් නැත. තවත් මොහොතකින් මා අඩපණ වී පිඹුරාගේ
ගොදුර බවට පත්වනු ඇත. මීට වඩා නම් ඉවසනු නොහැකි ය. මගේ දිවි බේරා ගනිමි’යි සිතා
අමාරුවෙන් අත දිගහැර පිඹුරාට කෙටේරියෙන් පහර දෙන්නට සූදානම් විය. එහෙත් ඒ මොහොතේ ද
ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සිල්පදය සිහිපත් වුණි. පිඹුරා මරා දැමීමට සිතෙන්නේ කෙටේරිය
අත ඇති නිසා බව දැන එය විසිකර දැමුවේ ය. සිදු වූ දෙය පුදුම සහගත ය . ගොවියාගේ සීලයේ
බලය නිසා පිඹුරාට දැනුණේ මහත් දැවීමකි. පිඹුරාගේ ග්‍රහණය ලිහිල් වුණි. ගොවියා අතහැර
හේ වනයට ඇදී ගියේ ය.
පිඹුරාගේ ග්‍රහණය නිසා ශරීරයට දැඩි වේදනාවක් දැනුණ ද ගොවියා ඉතා අපහසුවෙන් කැලයෙන්
පිටවුණි. පෙර කී වන සෙනසුනට ම පැමිණ එහි ගල් පඩියක් මත හිඳ ගත්තේ ය. පිංගල
බුද්ධරක්ඛිත හිමියෝ රහත් තෙර නමකි. ගොවියාට පැන් ටිකක් බීමට දී, වෙහෙස නිවා
ගොවියාගෙන් තොරතුරු ඇසූහ. පසුව උන්වහන්සේ පැහැදිලි කළේ ඔහුගේ සීලයේ බලය නිසා ම
පිඹුරාට සිය ශරීරය දැවෙන බවක් දැනුණ බවත්, වහා වෙළුම අතහැර කැලයට ඇදුණ බවත් ය. මෙය
සිල් ආරක්ෂා කිරීමෙහි දිට්ඨධම්මවේදනීය විපාක කොටසක් ලෙස එකෙනෙහි ම ලැබෙන කුසල බලයක්
බව ද පෙන්වා දෙමින් උන්වහන්සේ ගොවියාට ප්‍රශංසා ද කළහ.
මේ කතාව මෙරට ජන සමාජය තුළ ඉතා ප්‍රසිද්ධ වූවකි. බොහෝ දෙනෙක් දැන සිටිය ද කතා රසයට
මිස අර්ථ රසය පිළිබඳ එතරම් තැකීමක් නොකරන බව වෙසෙසින් මෙකල පෙනෙන්නට තිබේ.
බොහෝ දෙනෙක් උදේ, සවස පන්සිල් ගනිති. කතා බහේ දී ද බොහෝ දෙනා සිල්වත්කම්, ගුණවත්කම්
ගැන කතා කරති. එහෙත් ප්‍රායෝගික ජීවිතයට අදාළ කර නො ගනිති. සමාජය තුළ ප්‍රශ්න ගැටලු
වැඩි එහෙයිනි. "ධර්මය රකින්නා ධර්මය විසින්ම රකී" යනු සම්බුද්ධ දේශනාව ය. එහෙයින්
ඕනෑම දුෂ්කර අවස්ථාවක පන්සිල් නොකඩ කොට රැකිය යුතු ම ය. එහි සැනසුම තමන්ට ම ය. |