බිනර පුර පසළොස්වක 2022-09-10
ධර්මයෙහි පිහිට ලබමු
රන්, රිදී, මුතු, මැණික් දුර්ලභ ධන සම්පත් ය. වටිනාකම ඉහළ ය. එහෙයින් ම අපි ඒවා
හිමි කර ගන්නට, හිමි වූ කල රැක ගන්නට මහත් පරිශ්‍රමයක් දරමු. යම් හෙයකින් ඒවා
අස්ථාන ගත වූයේ නම්, අහිමි ව ගියේ නම් අපමණ ශෝකයට, දුකට පත්වෙමු. සොර සතුරන් පැහැර
ගත්තේ නම් ඔවුන් අල්ලා ගන්නට නීතියේ පිළිසරණ පතමු.
මේ ධන සම්පත්වලට මිලක් නියම කළ හැකි ය. එහෙත් එසේ මිල කළ නොහැකි වටිනා ම සම්පතක් අප
සතුව ඇති බව දන්නේ බොහෝ සුළු පිරිසකි. ඒ මිනිසත් බව ය. එය ඉතා දුර්ලභ ව හිමි
වන්නකි. සසරේ බොහෝ පින් – කුසල් කොට ලබා ගත යුත්තකි.
‘මැණික් ගලේ පය හැපුණත් කණා ඇහිඳලා ගනී දැයි ජන වහරේ කියමනක් වේ. ඒ පය හැපුණේ
තිරිවානා ගල් කැටයක ද, මැණික් ගලක දැයි ඔහු නොදන්නා බැවිනි. ඇතැම් මිනිසුන්ට ද සිදු
වී ඇත්තේ එය ම ය. තමන්ට හිමි වූ මිනිසත් බවේ වටිනාකම හඳුනා ගන්නට, එය රැක ගන්නට
නොහැකි තරමට ඔවුහු අන්ධ ය.
මිනිසාට උසස් මනසක් ලැබී ඇත්තේ ලෝකය නොදකින මේ අන්ධ බවින් මිදෙන්නට ය. ඒ අන්ධකාරය
දුරු කරන මිණි පහන ශ්‍රී සද්ධර්මයයි. අපගේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම්
දහම තුළ අන්තර්ගත වන්නේ මිනිසත්කම රැක ගන්නා ආකාරය ගැනය. මිනිස්කමට අර්ථයක් එක් කර
ගන්නා ආකාරය ගැන ය.
මිනිසත් බව ලැබීම සේ ම, ශ්‍රී සද්ධර්මය ජීවමාන කාලයක උපත ලැබීම ද අතිශය දුර්ලභ ය. ඒ
දුර්ලභ අවස්ථා දෙකම හිමි කර ගන්නට අපි භාග්‍යවන්ත වී සිටිමු. අප කළ යුතු ඒ අමිල
අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මෙලොවත්, පරලොව ජීවිතයත් සුඛිත මුදිත කර ගැනීම ය.
පෙර කාලයේ බරණැස් නුවර දහම්සොඬ නම් රජ කෙනෙක් විය. “ධර්මයෙන් තොර රාජ්‍ය පාලනයෙන්
ඵලක් නැත. ඒ නිසා දහම් අසමි’යි දිනක් රජතුමාට සිතුණි. පසුදිනම ධර්මය දන්නා කෙනෙක්
වේ දැයි විමසා සිටියේ ය. එක දහම් කරුණක් ගාථා ධර්මයක් හෝ දන්නා කෙනෙක් ඒ රාජ්‍යයේ
නොවී ය. රජතුමා බොහෝ කළකිරීමට පත් වුණි. අවසානයේ දී ධර්මය නොදැන ජීවත් වීමේ
ප්‍රයෝජනයක් නැතැයි සිතා වනගත විය.
එකල සක් දෙවිඳු රජුගේ අදහස මුදුන්පත් කිරීමට සිතා මහා රකුසු වෙසක් ගෙන රජු ඉදිරියට
ආවේ ය. තමන් ධර්මය දන්නා බවත්, ධර්මය කියාදීමට පෙර තම සාගින්න නිවා ගත යුතු බවත්
පැවසී ය. රජතුමා තමා සතුව කිසිදු ආහාරයක් නැති බවත්, ඒ වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට
හැකි බවත් පැවසීය.
ඒ අනුව ධර්ම ලාභයත්, මාංස ලාභයත් එකවිට සිදුවන ලෙස තුන් ගව්වක් උස ගල් පර්වතයක සිට
රකුසාගේ කටට පැනීමටත්. ඒ වැටෙන මොහොතෙහි දහම් ප්‍රකාශ කරන ලෙසටත් එකඟ විය.
රජතුමා පර්වත මුදුනේ සිට රකුසාගේ කටට පැන්නේ ය. රකුසා ඒ මොහොතේ අනිච්චාවත ගාථාවක්
කීවේ ය. ඒ අතරම රකුසු වෙස් හැර දැමූ සක් දෙවිඳු දහම්සොඬ රජු දෝතට ගත්තේ ය. දෙව් ලොව
ගෙන ගොස් දිව්‍ය සැප පෙන්වා නැවත රාජ්‍යයෙහි පිහිටු වූයේ ය. මේ දහම් සොඬ රජු අප මහ
බෝසතාණන් වහන්සේ ය.
ජාතක කතා පොත් වහන්සේ තුළ එන මේ කතා පුවත දෙන පණිවිඩයම ධර්මානුකූල ජීවිතයකට මඟ
පෙන්වන අයුරු අපූරු ය.
රජතුමා ධර්මය වෙනුවෙන් ජීවිතය දෙන්නට සූදානම් වුවත් අපේ බොහෝ දෙනා ජීවිතය අවදානමේ
හෙළන්නේ අධර්මය වෙනුවෙන්ය. මේ වෙනස වටහාගෙන නිවැරැදි වන්නට අපට තවමත් කාලය ඉතිරිව
තිබේ. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම රැක ගනු ඇත. |