ඇසළ අමාවක 2022-07-28
අස්වැන්න
වපුරන තරමට ය
ගොවියා කෙතක් අස්වද්දන්නේ බොහෝ වෙහෙස මහන්සි වීමෙනි. ඒ සරු අස්වැන්නක් ලබනු සඳහා ය.
එහිදී හොඳ බීජ වර්ගයක් තෝරා ගැනීම, බිම් සැකසීම ආදී මූලික අවස්ථාවේ සිට සෑම පියවරක්
ම අනලස්ව, කාර්යශූරව, උත්සාහය උනන්දුව ඇතිව ක්‍රමානුකූල ව සපුරා ගත යුතු ය. තමන්ගේ
බලාපොරොත්තු ඒ අයුරින් ම ඉටුවනුයේ එසේ කටයුතු කළේ නම් පමණි. ගැමි වහරින් කියනවා නම්
අස්වනු ලැබෙන්නේ වැපිරූ තරමට ය.
මේ කියමන ගොවිතැනට පමණක් නොවේ, ජීවිතයට ද අදාළ ය. ජීවිතයේ දියුණුව සේ ම පරිහානිය ද
හිමි වන්නේ අප කරන කියන ක්‍රියා කලාපයන්ගේ ගති ස්වභාවය අනුව ම ය. ළමා කාලය ගත කරන
අවස්ථාවේ සිට වයෝවෘද්ධත්වයට පත්වන තුරුම, එසේ නැතිනම් උපතේ සිට මරණය දක්වා ම ඒ දහම
පොදු ය.
ළමයා තම ජීවිතය නමැති කෙත අස්වද්දන්නේ ඉගෙනීම තුළිනි. ඉගෙනීම තුළින් උසස් සාමාර්ථ
ලබන්නට නම් අනලස් විය යුතු ය. උනන්දුව, ඕනෑකම තිබිය යුතු ය. නිවැරැදි ඉගෙනුම්
මාවතක් තෝරා ගත යුතු ය. ගුරුවර වැඩිහිටියන්ගේ බසට අවනතව තමන්ගේ වයසට ගැළපෙන ලෙස
උත්සාහයෙන්, වීර්යයෙන් ඉගෙනීමේ කටයුතුවල නියැළෙන දරුවාට වරදින්නට ඉඩක් ඇත්තේ ම නැත.
හොඳ පුරවැසියකු විය හැකි වන්නේ ද, ඉහළ මට්ටමේ ජීවන වෘත්තියක් තෝරාගත හැකි වන්නේ ද
හොඳ අධ්‍යාපනයක් ලැබුවේ නම් ය. ඒ සඳහා ළමයාට හොඳ මාර්ගෝපදේශකත්වයක් ලැබිය යුතු ම ය.
විශේෂයෙන් පාසල් අධ්‍යාපනය තුළ පොතපත කට පාඩම් කිරීම තුළ පමණක්, දැනුම ලබා ගැනීම
තුළ පමණක් හොඳ පුරවැසියෙක් විය නොහැකි ය. ජීවිතයට ප්‍රායෝගිකව භාවිත කළ හැකි හොඳ
පුරුදු, යහපත් ආකල්ප විෂයානුකූලව පෙළ පොත් තුළ අන්තර්ගත ය. සමාජය උඩුයටිකුරු වන්නේ
එම යහපත් ගුණාංග ජීවිත තුළ පුරුදු පුහුණු වී නොමැති නිසා ය. වෙනත් ලෙසකින් කියනවා
නම් නිසි පරිදි ළමයාගේ මනස නමැති කෙතේ, යහපත් ලෙස බීජ රෝපණය වී නොමැති නිසා ය.
සමාජයට ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍ය ම කාලයක් උදා වී ඇති බවට මෙකල බොහෝ උදාහරණ ඇත.
ඉවසීම, අනුන්ගේ දුකෙහි දී සංවේදී වීම, උදව්වක් උපකාරයක් ඇවැසි මොහොතක පිහිට වීම,
ගරු කිරීම ආදී යහපත් චර්යාවන්ගේ සමාජය දිළිඳු වී ඇති දැයි සිතෙන තරමට ඇතැම්
සංසිද්ධීන් උදාහරණ ගෙන එයි.
දින කිහිපයකට පෙර දුම්රියක් තුළ සිදුවූ එක් සිදුවීමක් දෙස පමණක් අවධානය යොමු කරමු.
දුම්රිය තුළ බීමතින් හැසිරුණු තරුණයන් දෙදෙනකුගේ ක්‍රියා කලාපයේ අවසානය වූයේ එහි
රාජකාරියේ නියුතුව සිටි නිලධාරියකු පා පහරක් නිසා බිම ඇද වැටී මිය යෑම ය. කුරා
කුහුඹුවකුටවත් වරදක් නොවන ලෙස ජීවත් වීමට තරම් යහ ආකල්පවලින් පොහොසත් විය යුතු
වුවත් මිනිසෙක් මිනිසකුගේ ම ප්‍රාණය උදුරා ගන්නට සැහැසි වීම මොන තරම් ඛේදජනක ද?
මොනතරම් සමාජ විපරිණාමයක් ද?
මේ තරුණයන්ට කුඩා කාලයේ තැනට සුදුසු ලෙස ජීවත්වන හැටි උගන්වා තිබුණේ නම්, ගෞරවණීයව
ජීවත්වීම පිළිබඳ ආකල්පයන්ගෙන් පෝෂණය වී සිටියේ නම් දුම්රිය වැනි සිය ගණනක් පිරිස්
පරිහරණය කරන පොදු ප්‍රවාහන සේවයක සිට බීමතින් හැසිරෙන්නේ නැත.
ඔවුන්ගේ අවසානය විසඳුණේ එක් මිනිසකුට ජීවිතය අහිමිවීමෙන් පමණක් නොවේ. තමන්ගේ
ගරුත්වය කෙලෙසා ගැනීම, අහිංසක දූ දරුවන්ට පියෙක් අහිමිවීම, මව්පියන්ට දරුවෙක් අහිමි
වීම ආදී ඛේදාන්ත රාශියක් ඉතිරි කරමිනි.
එහෙයින් ජීවිතය නැමැති කෙත යහපත් ආකල්පයන්ගෙන් ද අස්වැද්දීම පිළිබඳ අලුතෙන් සිතා
බලන්නට, ඒ සඳහා නව ක්‍රමවේද ඇති කරන්නට කාලය එළඹ ඇත. |