[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැප ලැබීමේ නිදානය

සැප ලැබීමේ නිදානය

සූත්‍ර පිටකයේ, පිළිවෙළ කතා යන යෙදුම බොහෝ තැන්හි සඳහන් වේ. ආනුපුබ්බ කතා යනු ද පිළිවෙළ කථා යනුවෙන් අර්ථ ගැන්වෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනුෂ්‍ය ධර්මයකි. සත්ත්ව ලෝකයේ වෙනත් කිසිම සතකුට නැති උසස් මනසක් මනුෂ්‍යයාට හිමි ය.

එහෙයින් මිනිසත් බව යනු කුමක්ද? එසේ උසස් මනසක් ඇති මිනිසාට මනුෂ්‍යත්වයේ සිට උත්තර මනුෂ්‍යත්වය වෙත එනම්, සෝතාපන්න ආදි මාර්ග හා ඵල ලැබීම වෙත යා හැකි වන්නේ කෙසේද? යන ඉගැන්වීමක් දේශනා කොට ඇති නිසා මේ දහම මනුෂ්‍ය දහමක් ලෙස හැඳින්විය හැකි ය.

කිසිම ජාතියකට, කිසිම රටකට, කිසිම භාෂාවකට මෙම ධර්මය සීමා වී නොමැත. මනුෂ්‍යත්වය ලැබූ, ලොව වසන ඕනෑම කෙනකුට ඔබින දහමක් හෙයින් ද මේ ධර්මය මනුෂ්‍ය ධර්මයකි.. එමෙන්ම මනුෂ්‍ය ධර්ම නැති කිසිවකුට හෝ උත්තර මනුෂ්‍ය ධර්ම වෙත ළඟා විය නොහැකි ය.

මේ දහම ශ්‍රාවකයා වෙත දේශනා කිරීමේ දී තථාගතයන් වහන්සේ අනුගමනය කළ පිළිවෙත “පිළිවෙළ කථා” වශයෙන් හැඳින්විය හැකි ය. පට්සෝතගාමී මඟෙහි යාමට තම ශ්‍රාවකයා කැමැත්තක් දක්වන්නේ නම් බුදුරජාණන් වහන්සේ මේ පිළිවෙළ කථා ක්‍රමය බොහෝවිට අනුගමනය කළ බව ත්‍රිපිටක ධර්මයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ ලෝක සම්මත ධර්මයට ගරු කරමින් ම පරමාර්ථ දහමට තම අනුගාමිකයා පොළඹවා ඇති බවත් මේ කතා මාර්ගයෙන් සනාථ වේ. ඒ වන විට දේවවාදී හා අදේවවාදී ආගම් තුළින් ජනයා පෙළ ගස්වා තිබුණේ දිව්‍ය ලෝක සම්පත් හා බ්‍රහ්ම ලෝක සම්පත් අනුභවය සඳහා ය. ඔවුන්ගේ නිවන ද ඒවා ම වූහ.

එහෙයින් ම බුදුරජාණන් වහන්සේ ද තමන් වහන්සේගේ ධර්මය තුළින් දීමෙන් (දානයෙන්) හා සීලයෙන් (හික්මීමෙන්) මෙම දිව්‍ය ලෝක සම්පත් ලැබිය හැකි බවත්, භාවනාවෙන් ලෞකික වූ බ්‍රහ්ම සම්පත් ලැබිය හැකි බවත් දේශනා කරමින් ම කාම, රූප, අරූප භව සම්පත්තීන්හි ආදීනව දේශනා කළ සේක. ආදීනව දේශනාව මඟින් තම අනුගාමිකයා කාමයන්ගෙන් මුදවා ගැනීමට නෙක්ඛම්ම දේශනාව කළ සේක. කාම සම්පත්ති ආදීනව දැක හික්මුණු ශ්‍රාවකයාට කාය විවේකය, චිත්ත විවේකය හා උපධි විවේකය ලබා දෙන ත්‍රිවිධ විවේකය අනතුරුව උගන්වන සාමුක්කංසික (ගැඹුරු) දේශනාවට සිත මෙහෙයවන ලදී. මේ එක් එක් කතාවේ ආනිසංශ පෙළ දහමෙහි හා අටුවාවන් හි සඳහන් ය. ඒ පිළිවෙළ කථා නම් දාන කථා, සීල කථා, සග්ග කථා, ආදීනව කථා, නෙක්ඛම්ම කථා හා සාමුක්කංසික දේශනා ය.

දාන කථා නම් කුමක්ද? දානය නම් අල්ලා නොගෙන දීමයි. දිය යුතු කෙසේද? ලෞකික අපේක්ෂා රහිතව නිවන් අරමුණු කොට ගෙන ම දීම බෞද්ධයාගේ දානය යි. එනම් තණ්හාව ක්ෂය වන පරිදි දීමයි. දෑත්, දෙපා ආදී කොට බාහුව වෙහෙසා, දහඩිය හෙළා, ගත සිත යොදා, උපයා ගත් දෙයින් දෙන වස්තුව ම උතුම් දීම ලෙස සැලකේ. එසේ වුවත් ධර්ම දානය ම උතුම් වන අතර අභය දාන, ශ්‍රමදාන ආදී පරිභෝග නොවන වස්තු දීම ද පරිභෝග වස්තූන් දීමට වඩා උතුම් දාන ලෙස දහමෙහි සඳහන් වේ.

එසේම දන් දීමේ බොහෝ ප්‍රභේද ඇත. මෙහිදී බෞද්ධයන්ගේ දන් දීම ගැන සඳහන් කරන විට ශ්‍රද්ධාවෙහි පිහිටා දන් දීම වඩාත් ඵලදායක වේ.

පින කෙතක් වේ නම්, එය පෝරු ගා බීජ වැපිරීමට කෙත සකසා ගැනීම ශ්‍රද්ධාවයි. තුනුරුවන් විශ්වාස කොට තුනුරුවන් ගුණ විමසීමේ දී ඒ ගැන තව තවත් විශ්වාසය තහවුරු වේ නම්, තුනුරුවන් කෙරෙහි පැහැදේ නම් ශ්‍රද්ධාව එය ම වේ.

ශ්‍රද්ධාව පිහිටා තිබේ ද යන්න තේරුම් ගැනීමට මිණුම් දඬු තුනක් ධර්මයේ සඳහන්ව තිබේ. එනම් දීමට ඇති කැමැත්ත, සත්පුරුෂ ඇසුරට ඇති කැමැත්ත හා සද්ධර්ම ශ්‍රවණයට ඇති කැමැත්ත වශයෙනි. ශ්‍රද්ධාවෙහි පිහිටා දන් දීමෙන් ලැබෙන අනුසස් මෙසේ ය. චාග නම් වූ අත්හැරීම මෙහි දියුණු අවස්ථාවයි.

දානය නම් සැප ලැබීමට නිදානයකි.

සම්පත් ලැබීමට මුලයි.

භෝග ලැබීමට ආධාරකයකි.

විරුද්ධ කරුවන් නැති කරවන්නකි.

ආරක්ෂාව සලසන්නකි.

පරලොව ගමනට පිහිටකි

මෙලොව, පරලොව දෙකට ම දානය සමාන අස්වැසිල්ලක්, පිහිටක් තවත් නැත.

අරමුණක් ඇති දෙයකි.

දානය ලෙනක් මෙනි. දානය සිත සිතා සිත නවතා ගත හැකි තැනෙකි. සිතට නැවතිය හැකි පහසු තැනකි. දන් දීම හොඳ පුරුද්දකි. අනාගත බලාපොරොත්තු තබා ගත හැකි දෙයකි.

අනුන් සිත් දිනාගත හැකි මෙවන් දෙයක් තවත් නැත.

දානය පිහිටක් කොට යන අර්ථයෙන් ගන්නේ නම්, ‘රනින් කළ සිංහාසනයක්’ හා සමාන ය.

අපිරිසුදු වූ මසුරු මල (ලෝභකම) ආදියෙන් ගත් කල දානය ‘පියුමකි.’

අපිරිසුදු වූ මසුරු මල (ලෝභකම) දැවීම් අර්ථයෙන් ගත් කල ‘ගින්නක්’ වැනි ය.

සතුරකුට ළං නොවීම අර්ථයෙන් ගත් කල ‘ආසිවිසයෙකි’ එනම් සර්පයෙකි.

භය නැති අර්ථයෙන් ගත් කල දන් දෙන්නා ‘සිංහයෙක්’ වැනි ය.

දානය බල අර්ථයෙන් ගත් කල ‘ඇතෙකි’.

මංගල සම්මත අර්ථයෙන් ගත් කල ‘සුදු ගොනෙකි’ කේෂේම භූමියට කැඳවාගෙන යන අර්ථයෙන් ගත් කල වළාහක (අහසෙහි ගමන් කළ හැකි) අශ්ව රාජයෙකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ,

“මහණෙනි,මේ දානය නම් තමන් වහන්සේ සසර ආ මාර්ගය’ යි යනුවෙනි. ‘මාගේම වංශය’ වශයෙනි. දස පාරමිතා පූරණය කළ මේ මාගේ ‘මහා යාගය’යි. සසරේ දී වේලාම මහා යාගය (වේලාම සූත්‍රයේ එයි) මහා ගෝවින්ද මහා යාගය, (මහා ගෝවින්ද සූත්‍රය) මහා සුදස්සන මහා යාගය (මහා සුදස්සන සූත්‍රය) වෙස්සන්තර මහා යාගය (වෙස්සන්තර ජාතක කතාව) ආදී නොයෙක් මහා දාන යාගයෝ මවිසින් පවත්වන ලදහ. සා ජාතියෙහි සිටි කල දැල්වෙන ගිනි කඳෙහි පැන ජීවිතය දන් දීමෙන් යාචකයාගේ සිත් ගන්නා ලදී.

දානය වනාහි ශක්‍ර සම්පත්ති ලබා දෙයි.

බෝසත් සමයෙහි සත්තිස් වතාවක් පින්කොට සක් දෙවිඳුව උපන් බව තථාගතයන් වහන්සේ මා පුඤ්ඤභායි සූත්‍රයේ දී දේශනා කර ඇත.

දානය බ්‍රහ්ම, චක්‍රවර්ති සම්පත්තිය, ශ්‍රාවක පාරමී ඤාණය, පච්චේක බෝධි ඤාණය, අභිසම්බෝධි ඤාණය ආදී මේ ඤාණයන් ලබා දෙයි.

පෞද්ගලික දානයකට වඩා ආර්ය මහා සංඝරත්නයට පොදුවේ දෙන දානය උතුම් ය. ආර්ය මහා සංඝ රත්නය සිහිකොට දුශ්ශීලයකුට හෝ කාසාවකණ්ඨයකුට හෝ දෙන දානය ද උතුම් වූවක් ම ය.

නිවෙසේ ඇති දැඩි කරන සුනඛයාට දෙන ආහාරයට වඩා නිදැල්ලේ හැසිරෙන සුනඛයකුට දෙන ආහාරයෙහි පින් වැඩි ය. (ම.නි. දක්ඛිණා විභංග සූත්‍ර අටුටාව බලන්න.)

දන් දීමේ ආනිසංස ලෙස වැඩියෙන් දුන් තරමට පින් ද වැඩි ය.

බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමිට පිදූ දානය හා සැරියුත් හිමියෝ බුදුරජාණන් වහන්සේට පිදූ දානයේ වැඩි ආනිසංස වූයේ, බුදුරජාණන් වහන්සේට ය. ඒ, දන්දීමේ අනුසස් සැරියුත් හිමිට වඩා බුදුරජාණන් වහන්සේ දැන සිටිහෙයින් ය.

ඇසළ අව අටවක

 ජුලි 20 බදාදා පූර්වභාග 07.40 අව අටවක ලබා 21 බ්‍රහස්පතින්දා පූර්වභාග 08.16 ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]