[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා 72 කොටස: සමගිව සංවිධානය විය යුතු අවස්ථාවක්

දුටුගැමුණු මහ රජතුමා 72 කොටස:

සමගිව සංවිධානය විය යුතු අවස්ථාවක්

පසුදින උදෑසන දීඝජන්තු මහ සෙනෙවි හමුවීමට ගිය සිරිනාග තම සිත තුළ පවතින බියත් සැකයත් ප්‍රකාශ කළේ ය.

“සෙනෙවිතුමනි, අනුරාධපුර චරපුරුෂ සේවය අහෝසි කළ බව තුණ්ඩිල පැවසුවත්, අපේ සංවිධාන තොරතුරු මාගමට ආරංචි වෙන්නේ නැති බවට අපට සහතික වෙන්නට පුළුවන් ද ? මා දිගාමඩුල්ලට යාමට කසාතොටින් එතෙර වූ බවට ආරංචිය ගියේ විජිතපුරයෙන් නම් අපි වඩාත් ප්‍රවේසම් විය යුතුයි නේද ?”

ඔව් , නමුත් දැන් ඒ සියලු අවස්ථා අවුරලා. කිසිම පණිවුඩයක් ගත් පරෙවියෙක්, හී පතක් අපේ සෙබළුන්ට නොදැනී මහවැලි ගඟින් එතෙරට යන්නේ නැහැ.

“කෙසේ වුවත් අපේ යුධ මෙහෙයුම් කාර්යයෙහි සාර්ථකත්වය සඳහා යුද්ධ රහස් පිටතට යන්නට නොදී රැක ගැනීමට අවශ්‍යයි”

“සිරිනාගට අද විශේෂ උපහාරයක් කෙරෙනවා. තුණ්ඩිලට පනවා ඇති තහනම ඉවත් කරන්නට සිරිනාග මැදිහත් වෙන්නට ඕනෑ . උපතිස්ස වෙළඳ නියෝජිතයකු කර ප්‍රාදේශීය රාජ්‍යවලට යැවීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දෙන්නට ඕනෑ . “

“වෙලාව හරි; අපි දැන් යමු. විවාදවලින් තොරව එක තීරණයකට එන්නට බලමු. “

“ඔවුන් රාජ සභාවට පැමිණියේ අස්රියකිනි. එහිදී ද දීඝජන්තු උත්සාහ කළේ තමන්ගේ යෝජනා සිරිනාග ලවා අනුමත කරවා ගැනීමට ය. තුණ්ඩිලට විජිතපුර බලකොටුවේ බලතල යම් ප්‍රමාණයක් ලබාදීම ඔහුගේ අරමුණ බව සිරිනාගට අවබෝධ විය.

ඔවුන් පැමිණෙන විට රාජ සභාව රැස් වී හමාර ය. සියල්ලෝම අසුන් ගෙන සිටියහ. තම ප්‍රමාදය පිළිබඳ සමාව අයැදිමින් රජුට ආචාර කළ සිරිනාගත්, දිඝජන්තුත් අසුන් ගත්හ.

රාජ සභාවේ කථාව ආරම්භ කළේ රජතුමා ය.

“ඇමතිවරුනි , රාජ්‍ය නිලධාරිනි, යුද්ධ මණ්ඩල සාකච්ඡා අඩු කොට සියලු දෙනාම යුද්ධ කාර්යයට යොමු කිරීම මගේ තීරණයයි. රාජ්‍ය පරිපාලන කටයුතු සියල්ල ඇමති මණ්ඩලයට පවරනවා. යුද්ධයට ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන ලෙසට කටයුතු කිරීමේ බලය කුඩා මණ්ඩලයකට පවරනවා “

“අද රාජ්‍ය සභාව රැස්වීමේ ප්‍රධාන අරමුණ සිරිනාග මහා සෙනෙවි තුමාට රාජ්‍ය සභාවේ සහ සමස්ත සේනාංකවල ම උපහාරය පිරිනැමිය යුතු බව යෝජනා කිරීමයි “

“සිරිනාග අපෙන් දස දහසක සේනාංකයක් රැගෙන ගොස්, දුටුගැමුණු රජු සමග කළ යුද්ධයේ දී තිස්ස කුමාරයාට ජය ලබා දුන්නා. දෙවෙනි වර සටනේ දී අපි තවත් දස දහසක් දීඝාභය මහා සෙනෙවිගේ ඉල්ලීම මත දිගාමඩුල්ලට යැව්වා. එවර සේනාව මෙහෙයවීම සඳහා උපතිස්ස සෙනෙවි යැවීමට යෝජනා වී තිබුණත් සිරිනාග ම යැවීමට අපි ඔහු කැමැති කරවා ගත්තා.”

“ඔහු වෙස්වළාගෙන කසාතොටින් එගොඩ වූයේ කිසදු සැකයකින් තොරවයි. නමුත් අපෙන්ම ගිය ඔත්තුවක් නිසා ඔහු සතුරන් අතට පත්වුණා. ඔහු මරණ දණ්ඩනයට නියම වුණා. නමුත් මෙහි සිරභාරයේ සිටි සියලුම චරපුරුෂයන් වන්දියට දී අපි සිරිනාග නිදහස් කර ගත්තා.”

“සිරිනාග අපට කිහිප ආකාරයකින්ම වැදගත්.දැනට මාගමින් අපට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතිනුත් අපට උපකාරයට ඉන්නේ සිරිනාග පමණයි”

“රජතුමනි, චරපුරුෂයන් නිදහස් කර යැවීමේ දී අපේ චරපුරුෂයන් දෙතුන් දෙනෙකුත් ඒ අතරට එකතු කළා නම් අපට වාසියක් අත්පත් කර ගන්නට තිබුණා “

“එබඳු උපදෙසක් දෙන්නට තරම්වත් බුද්ධිමතුන් අප අතර නෑ සිරිනාග“ රජතුමා කනස්සල්ලෙන් යුතුව පැවසීය.

රාජ සභාවේ කා තුළත් ඇතිවූයේ ලජ්ජාවකි.

‘මහ රජතුමනි, අපි කවුරුත් සමගිව සංවිධානය විය යුතු අවස්ථාවක් මේක. දුටුගැමුණු බලසේනාව, විහාර මහා දේවිය පෙරටු කරගෙන දැන් මැදගම් උයන්තොට පැමිණිලා. තවත් දින කිහිපයකින් යුද හරඹ සංදර්ශනයක් පවත්වනවාලු.’

රජතුමාගේ මුහුණ කළු වී අඳුරු වනු කාටත් දැකගත හැකි විය. රාජ සභාවේ කාගේත් මුහුණුවල තිබුණේ අඳුරු ස්වභාවයකි.

‘දීඝජන්තු මහ සෙනෙවිතුමාගේ යුද මෙහෙයුම කෙරේ විශ්වාසය තැබිය හැකියි. උපතිස්ස සෙනෙවිගේ විජිතපුර බලකොටුවේ ආරක්ෂා සංවිධාන දීඝාභය මහ සෙනෙවිතුමාගේ උපදෙස් අනුව හොඳින් පවතිනවා. මහවැලි ගං තෙර කඳවුරු බලකොටු අප භාවිත කළ යුත්තේ උපායශීලීවයි. ඒ බව තේරුම්ගෙන ඒ සඳහා සුදුසු සෙනෙවියකු පත් කිරීම කළ යුතුයි.”

‘සිරිනාග, තොප කියන්නේ දැනට තිබෙන සැලසුම් එලෙසම ක්‍රියාත්මක කළයුතු බවද?’

‘සුළු සුළු වෙනස්කම් කිහිපයක් කළ යුතු බවයි මගේ අදහස මහරජතුමනි. මහවැලි තොටමුණු සියල්ල දීඝාභය මහ සෙනෙවිතුමාට පවරමු. විජිතපුර බලකොටුව උපතිස්ස සෙනෙවිට පවරමු. අභ්‍යන්තර කටයුතු තුණ්ඩිල සෙනෙවිට භාරදීම සුදුසු යැයි මා සිතනවා. එවිට මොන විදිහේ සතුරු පහරකට වුවත් අපට මුහුණ දීමට හැකි වේවි. මේ සියල්ලේ වගකීම උපදේශක මණ්ඩලයක් සමඟ දීඝජන්තු මහ සෙනෙවිතුමාට පැවරිය හැකියි.’

‘සිරිනාග මහ සෙනෙවිතුමාගේ සැලැස්ම මම අනුමත කරනවා. නමුත් උපතිස්ස සෙනෙවිගෙන් ලබා ගැනීමට අදහස් කරන විශේෂ රාජකාරියක් ගැනත් මේ මොහොතේ කතා කළ යුතු යි. සෝමනුවර, සේරුවිල, කැලණිය වැනි ප්‍රාදේශීය රාජ්‍ය දුටුගැමුණු රජතුමාට සහාය දීමෙන් වළක්වා ගත යුතු යි. ඒ සඳහා සාර්ථක දූත මෙහෙවරක් අපට අවශ්‍ය වී තිබෙනවා. එයට උපතිස්ස යොදා ගැනීමයි හොඳ. විජිතපුර බලකොටුව තුණ්ඩිල සෙනෙවිට භාර දෙනවා. අභ්‍යන්තර ආරක්ෂාව සිරිනාග මහ සෙනෙවිට පවරනවා.’

‘මම තවත් සේනාංකයක් සොළී රටින් ඉල්ලා තිබෙනවා. මගේ බෑනා කෙනෙකු වන භල්ලුක දොළොස් දහසක සේනාවක් සමඟ මෙහි එන්නට සූදානම්. භල්ලුක ආවොත් අප යටත් කර ගන්නට එන දුටුගැමුණු සේනාංක පාඩම් ඉගෙන ගනීවි.

‘මහ රජතුමනි, හොඳින් සංවිධානය වෙනවා නම් අපට දැනට තිබෙන සම්පත් හොඳටම ප්‍රමාණවත්. ආහාර ගබඩා පාලනයත්, ආයුධ ගබඩා පාලනයත් තවම තිබෙන්නේ දුර්වල තත්ත්වයක. අපට මේ අවස්ථාවේ දී කුණ්ඩල බ්‍රාහ්මණ තුමාත්, ජයනාථ මහ සිටුතුමාත් සම්බන්ධ කර ගත හැකි නම් ඉතා වැදගත්.’

‘ඒ කාරණය අපි දීඝාභයට පවරමු. සිරිනාග නිසා ජයනාථ මහ සිටුතුමා අපට හිතවත්. ආහාර ගබඩා පාලනය ඔහුට පැවරීම හොඳයි. කුණ්ඩල බ්‍රාහ්මණතුමාගේ සහයෝගය ලබා ගන්නට බැරිනම් ආයුධ ගබඩා පාලනයට සිරිනාග හොඳයි.’

එය ඇසූ සිරිනාග සිත යටින් සතුටට පත්ව නිශ්ශබ්දව සිටියේ ය.

දේවයන් වහන්ස, මගේ අදහස මහවැලි ගඟ දකුණු ඉවුරේ බලකොටු තව දුරටත් ශක්තිමත්ව තබා ගැනීම අවශ්‍ය බවයි. යම් හෙයකින් ගැමුණු හමුදා දහස් තොටින් එතෙරව විජිතපුර, මහෙල, බලකොටු මඟහැර රාජ්‍ය නගරයට පහරදීමට ආවොත්, අපට ඔවුන් අවුලට පත් කළ හැක්කේ මාගම ගම්බිම්වලට පහර දීමෙන්. මාගම රාජධානිය පහසුවෙන් ම අල්ලා ගන්නට පුළුවන්.’

ඒ අදහස ඇසූ එළාර රජුගේ මුහුණට සිනහවක් නැඟිණි. දීඝාභය දීඝජන්තු දෙදෙනා කුතුහලයට පත් බවක් පෙනෙන්නට තිබිණි. සිරිනාගගේ ඒ අදහස අනුමත කළ රජතුමා එම බලකොටු තව තවත් ශක්තිමත් කරන්නට අණ කළේ ය.

මේ සියලුම කරුණු පිළිබඳ සැලකිල්ලට යොමු කළ රජතුමා යුද්ධ සංවිධාන සැලැස්ම ඉදිරිපත් කිරීමට දීඝජන්තු මහ සෙනෙවිට අණ කළේ ය. තවද යුද්ධ මණ්ඩල රැස්වීම තුන් දිනක් ඇතුළත කැඳවන ලෙස නියම කළේ ය. සියලු දෙනාගේ අනුමැතියෙන් තුණ්ඩිලට පනවා තිබුණු යුද්ධ සම්මන්ත්‍රණවලට සහ රාජ සභාවට පැමිණීමේ තහනම් නියෝගය ද අවලංගු කෙරිණි.

ඇසළ අව අටවක

 ජුලි 20 බදාදා පූර්වභාග 07.40 අව අටවක ලබා 21 බ්‍රහස්පතින්දා පූර්වභාග 08.16 ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]