[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසළ සඳමඬල දුටු අසිරිමත් ම සිදුවීම

ඇසළ සඳමඬල දුටු අසිරිමත් ම සිදුවීම

සුදුඇත් පැටවකු සුදු පියුමක් සොඬින් දරාගෙන විත් මායා දේවි සැතපී සිටින යහන වටා තෙවරක් ඇවිද දකුණැලයෙන් ඈ කුසට ඇතුළු වූ බවක් එදා මහමායා දේවියට දැනුණි. ධ්‍රත්‍රරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ සිවරම් දෙව්රජ දරුවෝ දේවි තොමෝ සැතපී හුන් යහන පිටින් රැගෙන හිමාලයට ගියෝ ය.

දෙව්රදවරුනගේ අගමෙහෙසියෝ විත් අනෝතත්තවිලෙන් දේවිය නහවා, දිවමල් සුවඳ ගල්වා දිවමල් ඇතිරූ යහනක ඇය සැතපවූහ. ධවල පංකජයක් සොඬෙහි රැඳි හස්තිපෝතකයා දේවිය කුසට ප්‍රවිෂ්ට වූයේ අනතුරුව ය.

එදා ඇසළ පුනු පොහෝ දා සුපින්වත් මහා මායා දේවිතොමෝ මහ දන් දී පෙහෙවසින් දවස ගත කළා ය. මෙබඳු පුණ්‍ය කර්මයන්හි නිරතවැ නින්දට ගිය ඈ නොවූ විරූ නොදුටු ස්වප්නයක් දුටුවා ය.

එදා මහ බෝසත් තුමන් තුසිත දෙව්ලොවින් චුත මනු ලොව මයා දේවි මව්කුස පිළිසිඳ ගැනීම සිදු විය. එදින පෑයූ ඇසළ සඳ මේ විස්මිත අසිරිමත් සිදුවීම මොනවට දැක බලා ගත්තා.

සතර පෙරනිමිති දැක, ගිහිගෙය කළකිරී අනවරාග්‍රසංසාරඕඝයෙන් එතෙරවැ අනන්තාපරිමාණ සත්වග ද දුකින් මුදවන්නෙ යන දෘඪ උත්තුංග අදහස සිත්හි දරා පාදපරිචාරිකා යශෝධරා දේවිය ද, එදා ම උපන් සුපින්වත් රාහුල කුමරු ද බලා සමුදී අප්‍රමාණ පීතෘ ස්නේහයෙන් නිදි සුව විඳිමින් හුන් සුදොවුන් මහරජ පායුග නැමැද ලෝකාර්ථය උදෙසා නික්මෙමි’යි සත්වග පිහිට පතා ගිහිගෙන් පිටත් වෙමියි සිතා මහ බෝසත්හු ඡන්න ඇමතියා සමඟින් කන්ථක අසුපිට නැඟී ඇසළ සඳ මඬලේ එළිය සිප ගනිමින් දොළොස් යොදුන් මඟ ගෙවා අනෝම ගංතීරයට පැමිණියේ ය.

සුමේධ තවුසාණන් ව උපන් ජාතියේ දී දීපංකර බුදු පාමුල දී නිවන් දැකීමේ භාග්‍ය හැරපියා මහ බෝසතාණෝ සම්මා සම්බුදු බව පතා අතිදීර්ඝතර සංසාර ගමනකට පිළිපන් සේක් භයංකර සසර සැඩ පහරට වැටුණු සත්වග බව දුක දුරු කරනු පිණිසම ය.,

බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝ හං මෝචයේ පරේ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරෝඝා මහබ්භයා

අනුපිය අඹ අරණෙහි දින කිහිපයක් චිත්ත විවේකයෙන් කල්ගෙව් සිදුහත් තවුසාණෝ ආධ්‍යාත්මික විමුක්ති මඟ සොයන්නට වූහ. උන්වහන්සේ ධ්‍යාන සමාපත්ති ලාභි සෘෂිවරුන් හමුවූහ. වින්ධ්‍යා කෝෂ්ඨයේ වැඩ විසූ ආලාරකාලාම තවුස් තෙමේ ද උද්දකරාමපුත්ත සෘෂිවරයාණන් ද හමු වූ සිදුහත් තවුසා ඔවුන් වෙත රැඳී සිත වඩා ධ්‍යාන සමාපත්ති ඇති කර ගත්තේ ය.

එහෙත් ඉන් තම අභිලාෂ මුදුන්පත් නොවන බව දත් අප මහ බෝසතාණෝ ගුරුවරුන් වැඳ අවසරගෙන ඔවුන්ගෙන් සමුගත්හ. සිරුරට දැඩි දුක් දෙමින් අත්ත කිලමථානුයෝගී වැ උන්වහන්සේ භාවනා වැඩූහ. සිත දියුණු කළහ. මෙසේ සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාවේ යෙදුණහ. මෙ සමයෙහි පස්වග මහණුන් “උන්වහන්සේට” උපස්ථාන කළහ. කයට දැඩි දුක්දීමෙහි යෙදී එය විමුක්තියට මඟ නොවන බව පසක් කළ බෝසත්හු ඉන් මිදුණහ. එය නොඉවසූ පස්වග තවුසෝ සිදුහත් තවුසාණන් අතැර යන්නට වූහ. තමන් වහන්සේ පිළිපන් මඟ අනුව යමින් සිරුර තවන අත්තකිලමථානු යෝගයෙන් ද, සිරුරට අධික සැප දෙන කාමසුඛල්ලිකානුයෝගයෙන් ද මිදුණු සිදුහත් තවුසාණෝ මැදුම් පිළිවෙතෙහි නිමග්න වූහ. අරි අටගි මඟ වැඩූහ. වෙසක් පුනු පොහෝ දා ගයාවේ බෝ මැඩ දී උන්වහන්සේ චතුරංග සමන්වාගත වීර්යයෙන් යුතුවැ චතුර සංඛ කල්ප ලක්ෂ කාලය පුරා පිරූ දානාදී බුද්ධාංකුර ධර්මයන්හි බෙලෙන් දසමරුන් පරදවා තමන් වහන්සේගේ ඉෂ්ටාර්ථ සපුරා සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළහ.

සත්සති ගෙවූ උන්වහන්සේ අවබෝධ කළ පරමගම්භීර සිවුසස් දහම පුහුදුන් සත්වයා කෙසේ නම් අවබෝධ කරත් දැයි සිතූහ.

බුදුරදුන්ගේ සිතිවිල්ල දත් සහම්පති බ්‍රහ්ම තෙමේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ වැඳ එකත්පස්වැ සද්ධර්ම දේශනාවට බුදුරදුන්ට ආරාධනා කළේ ය.

තථාගත සම්බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් බැලූ සේක්. ඇසූ සැණින් ධර්මාවබෝධයට සමර්ථ වූ උග්ඝටිපඤ්ඤු අය ද, ධර්මය දැන ඉගෙන සත්පුරුෂාශ්‍රයෙන් අවබෝධයට ශක්තිය ඇති තැනැත්තන් ද , විස්තර කරන කල්හි ධර්මාවබෝධ ලබන විපතිඤ්ඤු ශක්තිය ඇත්තා වූ නොයෙක් ගණයේ තැනැත්තන් ද, කිසි ලෙසකින් මේ ජාතියේ ධර්මාවබෝධයට වාසනා ගුණ නැත්තා වූ පද පරම පුද්ගලයන් වශයෙන් ලොවැ පුද්ගල සතර වර්ගය දැක සහම්පතී බමුණුගේ ආරාධනාව පිළිගත් සේක.

මුලින්ම ධර්ම දේශනාව කවරකු උදෙසා පත්වම් දැයි විමසූ තථාගතයාණෝ ආළාරකාලාම, උද්දකරාමපුත්ත, සෘෂිවරු කොයි දැයි බලා කලුරිය කොට බඹලොව උපන් බැව් දැන සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන් වහන්සේට වත් පිළිවෙත් පවත්වා උවටැන් කළ පස්වග තවුසාණට මුලින් ම ධර්ම දේශනාව පැවැත්වීමට සිතා ගත් සේක.

“බුදුව දැන සව්නේ
තුටුව පලසම වතිනේ
ගොසින් ඉසිපතනේ
උතුම් දම්සක් පවත්වමිනේ”

සත්වයාගේ ඉපැදීම නිසා හටගන්නා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව අපි‍්‍රයයන් හා එක්වීමට සිදුවීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ය, කැමති දේ නොලැබීමය. පංච උපාදානස්කන්ධයෝ ය යන දුකය, දුක හට ගැනීමට හේතු එනම් කාම, භාව, විභව වශයෙන් වූ ත්‍රිවිධ තෘෂ්ණාව, තණ්හාව නැති කිරීමෙන් ලබන නිවනය, නිර්වාණධාතුව අවබෝධ කර ගැනීමට වැඩිය යුතු අරි අටගි මගය වශයෙන් වූ නොවෙනස් ආර්ය සත්‍ය සතර බුදුපියාණෝ පස්වැනි මහණුහට දේශනා කළ සේක.

දේශනාවසානයෙහි කොණ්ඩඤ්ඤ තවුසාණෝ ධර්මය අවබෝධ කළහ. සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ උතුම් දම්සක් පැවැතුම් සුතුර ඇසීමෙන් සදෙව් ලොව දෙවියෝ ද, බඹලොවැ බඹුහු ද ප්‍රමෝදයට පත්වැ පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. දස දහසක් ලෝ ධාතුව කම්පා වූයේ ය. ලෝධාතුවේ අසිරිමත් ම දසුන, විශ්වයට ම ශාන්තිය ගෙන දුන් එදා ඉසිපතනාරාම මිගදායෙන් නැඟුණු දම්සක් පැවැතුම් දේශනාවේ අසිරිය ඇසළ සඳ මඬල මොනවට දැක ගත්තා ය.

සිරුර තවන රුට දුක්දෙන අත්තකිලමථානු යෝගය ද, කම්සැප විඳිමින් කය පිනවීම ද, යන ළාමක අනාර්ය අවැඩදායක මෙම අන්ත දෙකම නිවනට බාධායැ.

නුවණැස පාදා නිවන් පසක් කරන මඟ මැඳුම් පිළිවෙතයැ. ආර්ය සත්‍ය සතර ගැන මනා දැනීම යහපත් දැකීම ය. (සම්මා දිට්ඨිය) කාමයන්ගෙන් වෙන්වීම ය. ක්‍රෝධයන්ගෙන් වෙන්වීමය. හිංසාවෙන් වෙන්වීම ය යන ත්‍රිවිධ කල්පනාවෝ යහපත් සිතිවිලි වෙති. (සම්මා සංකප්ප)

බොරුව ය, කේළම ය, නරක වචන ය , හිස් වචනය, යන වාග් දුශ්චරිතයෙන් වෙන්වීම වැළැකීම. යහපත් ක්‍රියාවයැ (සම්මා කම්මන්ත)

යහපත් දිවි පෙවෙතක් ගත කිරීම සම්මා ආජීවයයි. එනම් වහල් වෙළෙඳාම ය, ආයුධ වෙළෙඳාම ය මස් පිණිස සතුන් වෙළෙඳාම ය. මත්පැන් වෙළෙඳාම හා වසවිෂ වෙළෙඳාම යන පංච විධ වැරදිවලින් තොරවීම ය.

උපන් කුසල් දියුණු කර ගැනීම, නූපන් කුසල් ඇති කර ගැනීම ය, උපන් අකුසල් නැති කිරීම ය, නූපන් අකුසල් ඇති නොවීමට වෙර වැඩිම ද යහපත් වෑයමයි. (සම්මා වායාම)

කය අනුව සිතීම ය, සිහිය පැවැත්වීම ය, වේදනාවන්හි සිහිය පැවැති සිත ගැන ය, ධර්මයන් ගැන ය ලෙසින් කායානුපස්සනා, වේදානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වැඩීම සම්මා සතියයි. යහපත් වූ සිහිකල්පනාවයි.

චිත්ත ඒකාග්‍රතාව හෙවත් සිත එක අරමුණක පිහිටුවීම, එකඟ වූ සිත සම්මා සමාධියයි.

දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාව එනම් දුක නැතිකර නිවන් ලබන පිළිවෙත මෙලෙස සම්බුදුපියාණෝ ඇසළ පුනු පොහෝ දා ඉසිපතනාරාමය ඒකාලෝක කරමින් සපැමිණි අපමණ දෙවි බඹුනට ද, පස්වැගි මහණුනට ද අපමණ මෙත් කරුණාධ්‍යාශයෙන් වදාළ සේක.

සසර බිය, ශෝකය හටගනුයේ ත්‍රිවිධ තණ්හාවෙනි. තුන් ආකාර තෘෂ්ණාවෙන් මිදුණු තැනැත්තාට බියක් ද, ශෝකයක් ද නැත.

බුදුරදුන් දවස සැවැත් නුවර මිථ්‍යා දෘෂ්ටික බමුණෙක් විසුවේ ය. මිසදිටු වුව ද හෙතෙම සෝවාන් වීමට හේතු සම්පත් ඇත්තකු බැව් දුටු බුදුපියාණෝ ඔහු වපුරන කුඹුර වෙත කිහිපවරක් වැඩමවා බමුණාගේ සුවදුක් ද, ආගිය තොරතුරු ද විමසන්නට වූහ.

බමුණාගේ ගොයම ද බුදුරදුන් කෙරෙහි වූ මිතුදම ද කෙමෙන් වැඩී ගියේ ය. පීදෙන ගොයමින් බමුණු සිත දින දින සතුටින් පිරුණි. නොසිතූ දිනෙක ඇද හැලුණු මොර සූරන මහ වැස්සෙන් ඔහුගේ කුඹුර විනාශ වී ගියේ ය. දුක සේ වෙහෙසී ලැබූ අස්වැන්න අහිමි වැ වූ විපත ගැන සිත සිතා බමුණා ශෝකයෙන් තැවුණේ ය.

තණ්හාවෙන් මිදුණු තැන ශෝකය නොඉපදෙන බැව් දක්වා බුදුරදහු බමුණු සිත උපන් සෝගිනි නිවා දැමූහ. බුදු බණ සිතට ගත් බමුණා සෝවාන් වූයේ ය. තණ්හා මල නසා අරි අටැඟි මඟ වඩා අපිදු නිවන් අවබෝධයට මඟ පාදා ගනිමු.

තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං

තණ්හාව නිසා ශෝකය උපදී, තණ්හාව නිසා බිය උපදී. තෘෂ්ණාවෙන් වෙන් වූවනට ශෝකය නැත. එවිට බියක් කොයින්ද?
(ධම්මපදය - පියා වග්ගය)

බුදුපියාණන් වහන්සේගේ මිගදායේ පණිවුඩයෙන් සත්වග සිත්සතන් සැනසේවා.

ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]