[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කීකරු විය හැකි මුදු ගුණය ඇති අයටයි

කීකරු විය හැකි මුදු ගුණය ඇති අයටයි

සුවච යන වචනය ඇසෙන විටත් හරිම මෘදු මොළොක් බවක් ඇඟවෙනවා. මේ වචනයේ තේරුම වන්නේ කීකරුකම යි. අප විසින් කීකරු විය යුත්තේ කාට ද? මෙය ඉතා වැදගත් ප්‍රශ්නයක්. සැබැවින්ම අප කීකරු විය යුත්තේ ගුණ නුවණ දෙකින් පිරිපුන් වැඩිහිටියන්ට යි.

ඔහු අපේ කල්‍යාණ මිත්‍රයා යි. කල්‍යාණ මිත්‍රයා කිසිවිටෙකත් අපව අහිතකර කටයුත්තකට යොමු කරවන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රයාගේ ස්වභාවය වන්නේ තමන්ගේ සහායක මිතුරා හැමවිටම යහපතෙහි යෙදවීමට යි. ඒ නිසාම කල්‍යාණ මිත්‍රයා තම සහායකයා විපතකට පත්වන අවැඩකට යොමුවන අවස්ථාවක දී ඒ සියල්ලටම ආරක්ෂාකාරි වන අයුරු කියා දෙනවා.

එවැනි අවස්ථාවන්හි දී කල්‍යාණ මිත්‍රයාගේ වචනයට අවනතව ක්‍රියා කිරීමෙන් අපි මහත් වූ කරදර විපත්වලින් බේරෙනවා. මෙය බොහෝ අයට තේරුම් ගැනීමේ අවස්ථාව මඟ හැරී ගොස් අඳබාල පාප මිත්‍රයන්ගේ කීමට නතු වී මහත් දුක් කරදරවලට පත් වෙන අවස්ථා අපට දක්නට ලැබෙනවා. මෙහි දී අප විසින් අපට හොඳ නරක කියා දෙමින්, අපව යහපතෙහි පිහිටුවන ආකාරයෙන් අපට අවවාද උපදෙස් දෙන අයගේ සුදුසුකම් විමසා දැන ගැනීමෙන් පසුව සෑබෑ කල්‍යාණ මිත්‍රයෙක් ද මේ අපට අවවාද අනුශාසනා කරන්නේ කියා තේරුම් ගැනීමේ ශක්තිය උදා වෙනවා. ඒ අනුව අපේ ක්‍රියාකාරකම්වල හරි වැරැදි තේරුම් ගෙන අපට නිවැරැදි වීමේ අවස්ථාව උදා වෙනවා.

අපට බොහෝ විට හමුවන්නේ සුවච පුද්ගලයන්ට වඩා දුර්වච පුද්ගලයන්. ඔවුන්ගේ ස්වභාවය වන්නේ කල්‍යාණ මිත්‍රයා විසින් දෙනු ලබන අවවාදයට නිග්‍රහ වන ආකාරයෙන් රොස් පරොස් වී කටයුතු කිරීම යි.

බුද්ධිමත් පුද්ගලයා තමන්ට අවවාද අනුශාසනා කිරීමට ඉදිරිපත් වන අය පිළිබඳ හොඳ විමසීමකින් යුක්තව ක්‍රියා කර අවවාදයෙහි පිහිටන අවස්ථා තිබෙනවා. එයින් සැබැවින් ම ඔහු විපුල ඵල නෙළා ගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව යම් අයකුගේ වරදක් දුටුවිට එය කරුණාවෙන්, අනුකම්පාවෙන් යම් අයෙක් පෙන්වා දෙන විට එය පිළිගන්නේ තමන්ට හිත වූ මහත් වූ නිධානයක් පේනවා දුන්නාක් සේ බව, අපේ දහමට අනුව පැහැදිලි කළ හැකි වන්නේ.

මෙහි දී ඉතා වැදගත් කරුණ වන්නේ අවවාදය දෙන අය ද නිවැරැදිව ක්‍රියා කරන්නකු වීම යි. එය බරපතළ ම සුදුසුකමයි. සැබෑ සුවච පුද්ගලයා තමනට අවවාද දෙන අයගේ සුදුසුකම් මැන බැලීමට උනන්දු වෙනවා. මෙය අනුන්ට අවවාද දීමට ඉදිරිපත් වන අය විසින් විමසිලිමත් විය යුතු වන කාරණයක්. මේ ආකාරයෙන් අංග සම්පූර්ණ වශයෙන් සුදුසුකම් ලබන, අවවාද හෝ අනුශාසනා කරන්නා බොහෝ විට අවවාද ලබා නිවැරැදි මඟට පත් අයගේ මහත් වූ ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර වන අවස්ථා අප දැක තිබෙනවා.

කෙනකුගේ දියුණුවට, මනා පැවැත්මට හේතු වන කරුණක් අවවාද වශයෙන් ලබා දීමට වයස් භේදයක් ඇත්තේ නැහැ. තමන් දැනුමෙන්, තේරුමෙන් හා ආදර්ශයෙන් යුක්ත නම් වයසින් බාල වූයේ වුණත් වයසින්, දැනුමෙන් පවා වැඩිහිටි තත්වයකට පත් වූ කෙනකුට පවා අවවාද අනුශාසනා කර ඒ අය සමාජයට හිතකර විදියට හැඩ ගස්වන්නට හැකියාවක් පවතී නම්, එය ද අගය කළ යුතු තත්වයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්.

සැරියුත් මහරහතන් වහන්සේ පවා වරක් තමන් වහන්සේ විසින් එදිනම පැවැදි බවට පත් කළ දහර සාමණේර ශිෂ්‍ය භික්ෂුවක් විසින් තමන් වහන්සේ පෙරව සිටි සිවුරේ කොණක් බිම ගෑවෙන බව පෙන්වා දීමෙන් පසු උන්වහන්සේ ඒ දහර සාමණේර භික්ෂුවට සිය සතුට ද පළකරමින් සිවුරු සුපිළිසන් ව සකස් කර ගත් පුවතක් බණපොතේ දක්නට ලැබෙනවා.

එපමණක් නොවේ. රාහුල පුංචි හාමුදුරුවෝ සැම දිනකම හිමිදිරි පාන්දර වැලි දෝතක් තම අතට ගෙන අහසට විසිකර එම වැලි කැට, ගණනට ඒ දවස තුළ තමන්ගේ පැවිදි දිවිය උසස් කර ගැනිමට අවශ්‍ය අවවාද හා අනුශාසනා ලැබේවා'යි ප්‍රාර්ථනා කළේ උන්වහන්සේගේ ඒ උදාර සුවච බව නිස යි. සෝනක නම් පසේ බුදුරජාණන් වහන්සේ වරක් අරින්දම නම් රජුට ප්‍රකාශ කර තිබෙන කරුණක් ද මෙහි දී වැදගත් කොට පෙන්වා දීමට කැමති වෙනවා. එනම් උන්වහන්සේ රජතුමාට ප්‍රකාශ කළේ යම් අයකුට වරක්, දෙවරක් අවවාද කර නොපිළිගන්නවා නම් ඔහුට තෙවැනි වර අවවාද කළ යුතු නොවන බව යි. ඒ මක්නිසාද කියනවා නම් එසේ තෙවැනි වරටත් අවවාද කිරීමෙන් අවවාද දෙන්නා අවවාද ලබන්නාගේ දාස භාවයට පවා ඒ තුළින් පත් වී හෑල්ලුවට ලක්වන බව යි.

සැබැවින් ම මෙයින් අදහස් කරන්නේ අවවාද දෙන කල්‍යාණ මිත්‍රයාගේ ආත්මගෞරවය රැකගෙන ම අවවාද අනුශාසනා කිරීමේ අවශ්‍යතාව යි.

මුදුගුණය අප හැම දෙනා විසින් ම පුරුදු පුහුණු කළ යුතු ගුණධර්මයක්. මුදු යන මේ වචනයේ තේරුම වන්නේ රළු කර්කෂ ගතියෙන් තොර වන කායික, වාචසික හා මානසික වශයෙන් ඇති වන සංවරය හෙවත් හැදුණු වැඩුණු ශීලාචාර ගතිගුණවලින් හෙබි උදාර වූ තැන්පත් ස්වභාවය යි. මෙහි දී මුල් වන්නේ, මූලික වශයෙන් සිත යි. අපේ සිතේ ඇති චපල බව, වහා කිපෙන සුළු ගතිය තම නුවණ මෙහෙයවා සංවර කර ගැනීමෙන් ඒ පුද්ගලයාගෙන් සිදු වන ක්‍රියාකාරකම් මෙන් ම වචනය ද ඉතා සංවරශීලි බවක් උසුලනවා. ඔහු සමාජයේ ප්‍රිය මනාප අයෙක් බවට ද පත්වෙනවා. තමන්ට ගුණයෙන් මෙන් ම නුවණින් වැඩිහිටි වූවන් කෙරෙහි යටහත් පහත් ගති ඇතිව ඔවුන් විසින් පෙන්වා දෙනු ලබන අවවාද උපදෙස් අනුශාසනා ආදියෙහි නැමියාවක් දක්වන්නේ එවැනි මෘදු මොළොක් ගති ඇති අයයි. මේ නිසා මේ මෘදු ගුණය එක්ව ක්‍රියා කරන්නේ සුවච නම් වූ කීකරු යන ගුණය යි.

මේ මෘදු ගතිය දුරුකරන කාරණා බොහෝ විට පුහුදුන් සිතට බලපානවා. තමන්ගේ මුදල් බලය, පිරිවර බලය, උගත්කම, ධනවත්කම, කුලය, ජාතිය වැනි කරුණු මැනබලා තවත් අයෙක් විසින් පෙන්වා දෙන යහපත් උපදෙස් කෙරෙහි දොම්නස් ව ක්‍රියා කරන, ”තමන්ට අවවාද උපදෙස් දෙන්නට මොහුට ඇති අයිතිය කුමක් ද?” ආදි වශයෙන් වහසි බස් දොඩා ඒ යහපත් උපදෙස් ප්‍රතික්ෂේප කොට ක්‍රියා කරන රළු ගති ඇති අය අප සමාජයේ බහුලව දක්නට ලැබෙනවා.

මෘදු සිත් ඇති අය නිතරම පාවිච්චි කරන්නේ මෘදු වචන යි. එයට සුභාෂිතය කියලත් කියනවා. සුභාෂිතයට විරුද්ධ වචනය වන්නේ දුර්භාෂිතය හෙවත් කඨොර වචනය යි. මේ කඨෝර වචන භාවිත කරන්නේ අඳබාල පුද්ගලයා යි. මිහිරි මෘදු ගුණයෙන් යුක්ත වචනය කාටත් ප්‍රිය වෙනවා.

බුදුරජාණන් වහන්සේ නාලාගිරි නම් දරුණු මත්විෂෙන් උන්මත්ථක ඇතා දමනය කරන්නට වගේ ම, මිනීමරු අහිංසක නම් තරුණයා දමනය කර අංගුලිමාල නම්, රහතන් වහන්සේ බවට පත් කරන්නට යොදා ගත්තේ අන් කිසිවක් නොව තමන් වහන්සේගේ ප්‍රියමනාප සුකොමල වදන් පෙළ යි. මේ නිසා බුදුරජාණන් වහන්සේ මෘදු මොළොක් ප්‍රියමනාප වචන කථා කරන්නන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වන බව ඡත්තමානවක ගාථාවල දී ”යො වදතං පවරො මනුජෙසු” යන යෙදුමෙන් පෙන්වා දී ඇත්තේ මේ කරුණ යි.

මේ යුගයේ පවත්නා නොයෙක් ආර්ථික සාමාජික පීිඩන හමුවේ පවා ඇතැමෙක් පිරිසුදු මෘදු වචනය මෙන් ම කයින් කෙරෙන කටයුතුත් මෘදු විදිහට සිදු කරනවා. තවත් පිරිසක් අතිශය කඨෝර ලෙස අප්‍රසන්න ලෙස, කලහකාරීව කටයුතු කරන ආකාරය අපට පෙනෙනවා. මෙවැනි අවස්ථාවල කෙනෙක් කියන දෙයක් තමා ඉවසීමේ සීමාව ඉක්මවන කොට එවැනි කඨෝර ගති පෙන්වීම ස්වභාවයක් කියලා.

එය පුද්ගලයා තුළ ඇති නොහික්මුණු බවක්. එහෙම නැතිනම් අශීලාචාර බවක් කියලා පෙන්වා දෙන්නට පුළුවනි. නිවන් මඟ අරමුණු කර සැබෑ බොදු පිළිවෙත්හි යෙදෙන අය විසින් මේ ගුණධර්ම දෙකත් හුරු කර ගත යුතු වෙනවා.

ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]