හෙළදිව
සම්බුදු සසුනේ
පළමු රහත් මෙහෙණින් වහන්සේ
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
මිහිදු මහරහතන් වහන්සේ හෙළදිවට වැඩම කර දෙවැනි දින රාජමාලිගයේ දී පේතවත්ථු,
විමානවත්ථු සහ සංච්චසංයුත්ත ආදියෙන් ධර්මය දේශනා කරති.
එහි දී අරිට්ඨ කුමාරයා සම්බුදු සසුනෙහි පැහැදී පැවිද්ද ඉල්ලයි මිහිඳු මහරහතන්
වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේ ඔහුට පැවිද්ද ලබා දෙයි. ඔහුගේ පැවිද්දෙන් පසු මහානාග
යුවරජුගේ මෙහෙසිය වූ අනුලා දේවියත්, කාන්තා පැවිද්ද ආයාචනා කරයි. එයට හේතුව ඇය
සෝවාන් ආදී මාර්ගඵල ලබා තිබීමයි.
මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කළ අනුලා දේවිය පළමු දින ම සෝවාන්
ඵලයට පත් වෙයි. පසු දිනක නැවත වතාවක් ධර්මය ශ්‍රවණය කිරීමෙන් සකෘදාගාමී වෙයි. ධර්මය
අවබෝධ කර ගත් ඇය උතුම් වූ පැවිද්දෙහි හරය හඳුනාගෙන කාන්තා පැවිද්ද ඉල්ලා තිබේ.
දේවානම්පියතිස්ස රජතුමා මිහිදු මහරහතන් වහන්සේ වෙත එළැඹ ඒ බව දන්වා අනුලා දේවියට
පැවිද්ද ලබා දෙන ලෙසට ආරාධනා කරයි. එහෙත් භික්ෂුවකට ස්ති‍්‍රයක් පැවිදි කිරීමේ
අයිතියක් සම්බුද්ධ ශාසනයේ නොමැති බව දන්වා පැවිදි බව ලබා දීමට නම් දඹදිව පැලලුප්
නුවර වාසය කරන බහුශ්‍රැත, විනයධර භික්ෂුණියක් ව වැඩ සිටින සිය නැඟෙණිය වැඩම වන ලෙසට
දන්වයි.
රජතුමා මහත් ගෞරවයෙන් ඒ යෝජනාව පිළිගෙන අරිට්ඨ නම් අමාත්‍යවරයකු සමග දූත පිරිසක්
දඹදිවට යවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අශෝක අධිරාජයාගේ පූර්ණ අනුග්‍රහය සහිත ව
උදුවප් පුරපසළොස්වක පොහෝ දින සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රමුඛ දහ අට කුලයක පිරිසක්
පැමිණෙයි.
බෝධි ශාඛාවේ ආරක්ෂාව පිණිස ක්ෂතී‍්‍රය පවුල් අටක් ද, බ්‍රාහ්මණ, කෙළෙඹි, කුම්භකාර,
නාග, යක්ෂ, ගොපලු, නරච්ඡ ගෝති‍්‍රක පිරිස්, කාලිං ගගෝති‍්‍රක පිරිස් යනුවෙන් එක්
කුලයකින් පවුල් අට බැගින් කුල දහ අටකින් පිරිස් හෙළදිවට පැමිණි බව සමන්තපාසාදිකාවේ
සඳහන් වෙයි.
සංඝමිත්තා රහත් මෙහෙණිය ඇතුළු පිරිස පැමිණෙන විට භික්ෂුණී පැවිද්ද දැඩිව පි‍්‍රය කළ
අනුලා දේවිය අන්තඞපුර සහ ඥාති කාන්තාවන් දහසක් පිරිවරා මහා ප්‍රජාපතිගෝතමී දේවිය
මෙන් හිස මුඩු කොට, කාසාය වස්ත්‍ර හැඳ බෞද්ධ පිළිවෙත් අනුගමනය කරමින් කාන්තා
පැවිද්ද අපේක්ෂාවෙන් සිටි බවත්, ඔවුන්ගේ වාසයට උපාසිකා විහාරය නමින් ආරාමයක් ඉදිකළ
බවත් වංශකතාවල සඳහන් ය.
සංඝමිත්තා මහරහත් තෙරණියගේ වැඩමවීමෙන් මහත් පී‍්‍රතියට පත් ඔවුහු ශී‍්‍ර මහා බෝධි
රෝපණයෙන් අනතුරුව පැවිද්ද ලබා ගනිති.
මේ සදහා සංඝමිත්තා තෙරණිය සමඟ උත්තරා, හේමා, පසාදපාලා, අග්ගමිත්තා, දාසිකා, ඵෙග්ගූ,
පබ්බතා, මත්තා, ධම්මදියා, මහාදේවී, පදුමා, හේමාසා, උන්නලා, අඤ්ජලී සහ සුමා යන
තෙරණිවරුන් ද භාරතයේ සිට වැඩම කළ බව දීපවංශයේ සඳහන් ය. මොවුහු මෙරට වැඩ සිටිමින්
නවක තෙරණිවරුන්ට ධර්ම-විනය ඉගැන්වූ බවත්, පැමිණෙන විට තරුණ වයස්වල පසුවූ බවත් එහි ම
සඳහන් වෙයි.
අනුලා දේවියගේ පැවිද්දෙන් පසු ක්‍රමයෙන් භික්ෂුණී ශාසනය හෙළදිව පුරා ව්‍යාප්ත වෙයි.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ධර්ම-විනය හදාරා චිරප්‍රසිද්ධියක් ලැබූ භික්ෂුණීවරුන් ද
පහළ වී ඇත. සද්ධම්මනන්දී, සෝමා, ගිරිද්ධී, දාසියා, ධම්මා, ධම්මපාලා, මහිලා, සෝභනා,
ධම්මතාපසා, නරමිත්තා, සාතා, කාලී, උත්තරා යනු එයින් කිහිප දෙනෙකි. කාන්තාවන්
පැවිදිවීමේ සංඛ්‍යාව අධිකවීමත් සමඟ වැඩ සිටීමේ ආරාම පහසුකම් ප්‍රමාණවත් නොවුණු බව ද
සඳහන් ය. එබැවින් සංඝමිත්තා මහ තෙරණිය තමන් සමඟ පැමිණි පිරිස යොදවා ආරාම දොළොසක්
ඉදිකරවයි. එයින් ආරාම තුනක් වඩා විශාල බවකින් යුක්ත වූ බව ද, එක් ආරාමයක ශී‍්‍ර මහා
බෝධිය වැඩම කර වූ නැවේ කූප යෂ්ටිය හෙවත් කුඹ ගසත්, දෙවැනි ආරාමයේ නෞකා දණ්ඩත්,
තෙවැනි ආරාමයේ අරිත්‍රය හෙවත් සුක්කානමත් තැන්පත් කළ බවත් මහාවංශයේ සඳහන් වෙයි.
පසු කල මේ ආරාම තුන පිළිවෙළින් කූපයට්ඨිඨපිතඝර, පියඨපිතඝර සහ අරිත්තඨපිතඝර නමින්
ප්‍රකට වී ඇත. උපාසිකා විහාරය හෙවත් උපාසිකාරාමය නමින් ප්‍රකට ව පැවති පළමු ආරාම
සංකීර්ණය හත්ථාළ්හක විහාරය නමින් පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ.
මහාවංශය, දීපවංශය සහ සමන්තපාසාදිකා නම් විනයට්ඨ කතාව භික්ෂුණී ශාසනයේ ආරම්භය,
සංවර්ධනය සහ විකාශනයත්, අනුලා දේවියගේ චරිතය පිළිබඳ තොරතුරුත් සවිස්තරව දක්වයි.
බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත්වැනි වර්ෂයේ ආරම්භ වුණු හෙළදිව සම්බුද්ධ ශාසනය
විවිධ බාධක හමුවේ අදටත් පවතියි. ශී‍්‍ර ලංකාවේ දායකත්වයෙන් චීනය, ජපානය, කොරියාව,
ටිබේටය, මොන්ගෝලියාව වැනි රටවල භික්ෂු, භික්ෂුණී පැවිද්ද පිහිටුවා තිබේ. දේවසාරා
(දේවසාරී/දේවසරා)නම් භික්ෂුණියක් තවත් භික්ෂුණීන් වහන්සේලා දොළොස් නමක් සමඟ චීනයට
වැඩම කර භික්ෂුණී මහණ උපසම්පදාව එරට පිහිටවූ බව කි‍්‍ර.ව. 485 රචිත ශ්‍රමණ දූත
කාව්‍යයෙහි සඳහන් වෙයි.
මහානාම රජ දවස (කි‍්‍ර.ව.412-434) මෙම කටයුත්ත සිදුව තිබේ. දේවානම්පියතිස්ස රාජ්‍ය
සමයේ ආරම්භ වුණ භික්ෂුණී ශාසනය කාවන්තිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, මහසෙන්, සිව්වන
කාශ්‍යප, පස්වන කාශ්‍යප සහ සිව්වන මිහිඳු යන රාජ්‍ය සමයන්හි විශාල බැබළීමක් වූ බව
මහාවංශය ආදි වංශකතාවල සඳහන් ය.
දුටුගැමුණු රජතුමා මිරිසවැටිය දාගැබ විවෘත කිරීමේ දී එම අවස්ථාවට භික්ෂුණීන් වහන්සේ
අනූදහසක් වැඩම කළ බවත්, මහා වෙහෙර පූජාවේ දී භික්ෂුණීන් වහන්සේ පමණක් දාහතර දහසක්
සහභාගි වූ බවත් මහාවංශය සහ ථූපවංශය දක්වයි.
මෙම අවස්ථාවලට හෙළදිව භික්ෂුණීන් වහන්සේ පමණක් නොව තමන් හඳුනන විවිධ රටවල වැඩ සිටි
යහලු භික්ෂුණීන් වහන්සේලාට ද ආරාධනා කර වැඩමවාගත් බවක් මෙයින් පෙනේ. මෙය හෙළදිව
භික්ෂුණී ශාසනයේ බැබළීම සහ ව්‍යාප්තිය තහවුරු කෙරෙන අවස්ථාවකි.
රජවරුන්ගේ ඥාතී ස්තී‍්‍රන් මෙන් ම, දියණිවරුන් ද පැවිද්ද ලබා ගැනීම භික්ෂුණී ශාසනයේ
සංවර්ධනයට සහ ව්‍යාප්තියට තවත් හේතුවක් වී තිබේ.
කාවන්තිස්ස සහ සද්ධාතිස්ස රජවරුන් සමුද්ධා, නාවා, දේවී සහ සීවලී යන දියණිවරු පැවිදි
කර ඇත. ඔවුන්ගේ පැවිද්දත් සමග භික්ෂුණී ශාසනයට හිමි වූ රාජ්‍ය අනුග්‍රහය ද අධික
විය. භික්ෂුණී ශාසනයේ දියුණුවට එය ද හේතුවකි.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ස්තී‍්‍ර භාවය අර්හත්භාවය ලබා ගැනීමට බාධාවක්
නොවෙයි. එහෙත් ඔවුන්ගේ ආරක්ෂාව සහ සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් භික්ෂූන්
වහන්සේට පැන වූ ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද ඉක්මවා ගිය ශික්ෂාපද සමූහයක් පනවා තිබේ. එය
භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයයි. ඒ අනුව කටයුතු කිරීමෙන් ස්තී‍්‍ර භාවය නොසලකා උතුම් වූ
නිවන ලබා ගත හැකි ය.
මහාප්‍රජාපතී, යශෝධරා, පටාචාරා, ඛේමා, උප්පලවණ්ණා, සුබා වැනි අර්හත් භික්ෂුණී චරිත
භික්ෂුණී ශාසනය බබුළුවන්නේ බුදුදහමේ හරය අවබෝධ කර ගත් නිසා ය. ලක්දිව උපත ලබා,
ලක්දිවෙහි ම පැවිද්ද සහ උපසම්පදාව ලබා අර්හත්ඵලය ලබා ගත් අනුලා දේවිය සමස්ත
භික්ෂුණී පරපුරට සහ ස්තී‍්‍ර සමූහයාගේ ම බැබළීමට හේතුවක් වී තිබේ.
එය කාන්තා නිදහස අගය කිරීමකි. ඒ වෙනුවෙන් ඉදිරිපත්වීමකි. අනුලා දේවිය පැවිද්ද ලබා
ගැනීමට ඉදිරිපත් නොවූයේ නම්, භික්ෂුණී පැවිද්දත්, ශී‍්‍ර මහා බෝධියත්, දියණු කලා
ශිල්ප සමූහයකුත් ලැබීම ප්‍රමාදවීමට හෝ ඇතැම් විට නො ලැබීමට හෝ අවස්ථාව තිබුණි.
නොබියව තම අදහස් ප්‍රකාශ කරමින්, රජ සම්පත් අත්හරිමින්, කාන්තා පැවිද්ද ලබා ගැනීමට
අනුලා දේවි රහත් තෙරණිය ඉදිරිපත් වීම හෙළදිව කාන්තාව ලැබූ භාග්‍යයකි. අතීතයේදීත්,
වර්තමානයේදීත් ඇතැම් මව්වරු තම දියණිවරුන්ට ‘අනුලා’ නාමය ලබා දී ඇත්තේත්, ලබා
දෙන්නේත් අනුලා දේවිය සතු වූ අසීමිත ගුණයත්, ගෞරවයත් සලකාගෙන ය. |