අභියෝගයට
අභියෝග කරන හැටි
දරුවන්ට කියා දෙන්න
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව
පුරාණ විහාරවාසී
සියඹලාගොඩ
ධම්මින්ද හිමි
නිසල මුහුද දක්ෂ නැවියන් නිර්මාණය නොකරයි. මෙය සනාතන සත්‍යයකි. ජීවිතයක් යනු
අභියෝගයකි.
එම අභියෝගය ජය ගැනීම මිනිසත්කමට මහත් ගෞරවයක් බව පුන පුනා කිවයුතු නොවේ. තථාගතයන්
වහන්සේ තුන් ලෝකයෙහි ම ගෞරවයට පත්වූයේ ශාක්‍ය වංශිකයකු වීම නිසා නොව, බුද්ධත්වය ලබා
ගැනීම නිසාවෙනි. උන්වහන්සේට බෝසත් දිවියෙහි දී මෙන් ම, බුද්ධත්වය ලැබීමෙන් පසුව ද
අභියෝග රාශියකට මුහුණදීමට සිදුවූහ.
අභියෝගයක් යනු බාධකයක්, අරමුණට බාධාවක්, දුෂ්කර කාලසීමාවක්, දරාගත යුතු අවස්ථාවක්
සඳහා විසඳුම් සොයා ගැනීමයි ප්‍රශ්න නිරාකරණය කර ගැනීමයි. නියමාකාරයෙන් බුදුරජාණන්
වහන්සේ සරණ යනවා යනු මෙම අභියෝග ජය ගැනීමයි.
ඇසළ පොහොයෙහි ප්‍රධාන වැදගත්කම ගත් කල ද අභියෝගයන් ජයගත් අවස්ථාවකි. අන්‍ය ආගමිකයන්
මෙන් ම සාමාන්‍ය ජනතාව භික්ෂූන් වහන්සේට ඉදිරිපත් කළ චෝදනාවකට පිළිතුරු ලෙස මෙසේ
වස් සමාදන්වීමට අනුදැන වදාළහ.
සිදුහත් බෝසත් උපත, ශිල්ප දැක්වීම, සතර පෙර නිමිති දැකීම, රාහුල උපත, ගිහිගෙයින්
නික්මීම, දුෂ්කර ක්‍රියා සමය , බුද්ධත්වය, මරා පරාජය අභියෝගයන් ය. බුද්ධත්වයෙන්
පසුව ද බොහෝ අභියෝගයන්ට උන්වහන්සේට මුහුණ පාන්නට සිදුවුණි.
ඒ සියල්ල සාර්ථකව ජයග්‍රහණය නොකරන්නට, මෙවන් උතුම් දර්ශනයක් ලෝකයාට උරුම නොවන්නට ඉඩ
තිබුණි.
අත්දැකීම් අඩු, තරුණ සහ ළමා පරපුර වහ වහා කළකිරීමට පත්වීම සුලබ වේ. ජීවිතයක් යනු
පහසු කාලයන් මෙන් ම අපහසු කාලයන්ගේ එකතුවකි. එය කර්මය නොවේ. සියල්ල කර්මයට බාරදීම
බුදුදහමට එකඟ වන්නේ නැත. මෙහිදී තමාගේ ශක්තිය, දැනුම සහ අත්දැකීම් පාදක කොට ගෙන
ජීවිතය ජයග්‍රහණය සඳහා මෙහෙයවිය යුතු ය.
අප සැලසුම් සැකසිය යුත්තේ ප්‍රශ්න අභියෝග හමුවේ දී මරණයට පත්වීමට නොවේ. නිරන්තරව ම
ජීවත්වීමට සැලසුම් සැකසීම සහ වැරදුණ තැන් නිවැරැදි කිරීමට තමන් සහ සමාජය මෙහෙයවීම
අවශ්‍යයි. ඒ සඳහා දැනුම අත්‍යවශ්‍ය වේ.
ජාතක පාලියට අනුව අත්ථස්සද්වාර ජාතකයේ දී එක දරුවකු තමන්ගේ පියතුමාගෙන් විමසන්නේ
දියුණුවේ දොරටු හෙවත්, අත්ථසද්වාරය පැහැදිලි කරන ලෙසයි. එහිදී එම දරුවා ද කැටිව
බුදුරදුන් හමුවට පැමිණෙන එම පියතුමා මේ කරුණ බුදුරදුන්ගෙන් විමසීය. එහි දී තථාගතයන්
වහන්සේ අත්ථස්සද්වාරය හෙවත් වැඩ අවැඩ උපාය 06 ක් දේශනා කළහ.
මෙම කාරණා එදාටත් වඩා වර්තමාන තරුණ සහ ළමා පරපුර සඳහා ඉතාම ඵලදායක ය. ජාතක කථාවෙහි
එන තාත්තාට වර්තමාන පියවරුන් පණ පෙවිය යුතු ම ය. ඒ මත තම දරු පරපුරට දියුණුවේ දොරටු
පැහැදිලි කර දීම ඉතාම කාලෝචිත ය.
දියුණුවේ දොරටු මෙසේ ය.
නීරෝගි බව, සංවරය, (ආචාරශීලිබව), වැඩිහිටි අවවාද ඇසීම (වෘද්ධානුමතිය), බහුශැත බව
(උගත්බව), ධාර්මික හැසිරීම හා කම්මැළි නැති බව ය. මෙම ජාතක කතාවේ මේ කරුණු පිළිබඳ
පියතුමන් උනන්දුවීම ප්‍රශංසනීයයි. මන්දයත් දරුවකුගේ තක්සලාව තම ගෙදරයි.
දිසාපාමොක්ලා මව්පියන් ම ය. දෙගුරු යන නාමය මව්පියන්ට ලැබුණේ ද එහෙයිනි. එහෙත්
පසුකාලීනව මේ තත්වය මඟහැරුණි. එය කුමාරතුරංග මුණිදාසයන් පියසමර කාව්‍ය ඔස්සේ යළි
අවදිකිරීමට උතසාහ ගත්හ. පියා සවස් කාලයෙහි තම පුතුගේ අත අල්වාගෙන මිදුලෙහි
ඇවිදිමින් සොබාදහම ගැන, රජවරුන්, සිටුවරුන් ගැන, ඉරහඳ තරු ගැන තම දැනුම දායාද කළ
ආකාරය පියසමරෙහි දැක්වේ.
ජීවිත ජයග්‍රහණය කිරීමට ලොකු කුඩා භේදයකින් තොරව කායිකව මෙන් ම, මානසිකව නිරෝගී බව
අවශ්‍යය. ගිරිමානන්ද සූත්‍රයට අනුව රෝගීවීමට බලපාන කාරණා අට පිළිබඳ සැලකිලිමත්වීම
අත්‍යවශ්‍ය ය.
ඒ අතර වැරැදි කායික ක්‍රියාකාරකම්, අන්‍යයන්ගේ උපක්‍රම පිළිබඳ මේ කාලයෙහි වැඩි
වැඩියෙන් අවධානය යොමු කළ යුතු ය.
ප්‍රශ්න ගැටලු සහ දැඩි සේ වෙහෙසවිය යුතු යැයි සිතා මත්පැන්, මත්ද්‍රව්‍ය ගැනීම
යෝග්‍ය නොවේ. එමෙන් ම පවතින තත්ත්වයන් මත යථාර්ථයෙන් ඉවත්වීම සහ අසුභවාදීව සිතීම මත
ආතතිය, ඉච්ඡාභංගත්වය නිර්මාණය කර නොගෙන ධෛර්යයෙන් වැඩ කිරීමට මනස නීරෝගීව තබා ගත
යුතු වේ. එය දියුණුවේ ප්‍රධාන දොරටුවකි.
මට ම යි, අපිට ම යි මෙය වෙන්නේ ලෙස එය පෞද්ගලික අත්දැකීමක් කොට නොගෙන පොදු
අත්දැකීමන් කර ගත යුතු වේ. අනවශ්‍ය තරහව, කෝපය වෙනුවට සංයමයෙන්, ඉවසීමෙන් හැඟීම්
පාලනය කරගෙන බුද්ධිමත් ව තීරණ ගත යුතු ය . එහිදී වළගම්බා රජු, දීඝායු කුමරුන් මෙන්
සාර්ථකත්වයන් අත්පත් කරගනු ඇත.
සංවරය හෙවත් ආචාරශලීබව පුද්ගලයකුට මෙන්ම රටකට දියුණුවීමට මහත් රුකුලකි. ජපානය වැනි
රටක් මෙතරම් දියුණුවක් අත්පත් කර ගත්තේ ඒ නිසාවෙනි. එකිනෙකාට ගෞරව කිරීම, තමන්ගේ
කාර්යයන් ඉටුකිරීම, තමා උසස් කොට අනෙකා පහත් කිරීම, අධික මාන්නය, උද්ධච්ච බව,
පරිහානියේ ලක්ෂණයන් ය.
රටක දියුණුව සහ ආයතනික දියුණුවේ රහස නීතිය සහ විනය සැමට සාධාරණව පැවතීමයි. මෙය
තමන්ගෙන් ආරම්භ කළ යුතු ය. එවිට සියල්ලන් ම එයට අවනත වෙයි.
සියල්ලෝ ම අවම ශික්ෂණය තුළ පැවතීමට නම් අවංකභාවය අවශ්‍යය. විශේෂයෙන් කායික මානසික
ශක්තිය වැඩි තරුණ වයසේ දී ආවේග යහපත් කර ගැනීම වැදගත් ය.
තමාට වඩා දැනුමෙන්, අත්දැකීමෙන් පරිපූර්ණ පිරිස වැඩිහිටියා ය. තපෝ වෘද්ධ, ගුණ
වෘද්ධ, සීලවෘද්ධ අය තමන්ගේ ජීවිත ආලෝකවත් කර ගැනීමට ඇති ආභරණයන් ය.
තමන් සියල්ල ම දන්නවායැයි සිතා කටයුතු නොකොට අන්‍ය අදහස් දෙස සාවධාන ව අවධානය යොමු
කිරීම වැදගත් ය.
ලෝකය දකින දුවා දරුවන් මව්පිය ගුරුවරුන්ගේ අවවාදවලට ඇහුම්කන්දීම අවශ්‍යයි.
දියුණුව ලැබූ බොහෝ අය තම ළමා කාලය සහ තරුණ කාලය අන්‍ය අවවාද ඉතා ඉහළින් අගය කළ
පිරිස් ය. උපතින් උරුම වූ තත්ත්වයන් ඉක්මවන්නට වැඩහිටි අදහස් ගරු කරන අයට අවස්ථාව
ලැබේ.
මෙහිදී බහුශ්‍රැත යනු සියල්ල දැනීම නොවේ. ඒ සඳහා නිවැරැදි අර්ථ විවරණය සිංහල භාෂාවේ
ඇතුළත් ය. එනම් ඇසූ පිරූ තැන් ඇති බව යි. එයින් අදහස් වන්නේ දන්නා දේ ක්‍රියාවේ
යෙදවීමයි.
බොහෝ දේ දැනගත්ත ද ඉන් එකක් හී ක්‍රියාත්මක නොකරන්නේ නම්, එය වැදගත් නොවේ. වඩා
වටින්නේ දන්නේ එක් දෙයක් වුව ද, එය ක්‍රියාවේ යෙදවීමයි.
ධාර්මික හැසිරීම මෙන්ම කම්මැළි නැති බව දියුණුවේ දොරටු වේ. කාලය සහ අභියෝග කෙසේ
වුවත් මෙම ගුණයන් කෙනකුගේ දියුණුට මහත් අස්වැසිල්ලකි.
කුරුල්ලකු සැමවිට විශ්වාසය තබන්නේ තමන් වහන අත්ත පිළිබඳ නොව තටුදෙක පිළිබඳ පමණි.
එහෙයින් සංයමයෙන්, දැනුමෙන්, පිනට ලැබුණ ජීවිතය පවට නැඹුරු නොකර දෙලොව ජයගත යුතු ය.
ඒ වෙනුවෙන් දියුණුවේ දොරටු සියල්ලන්ට ම මහත් ආශිර්වාදයක් ම වේවා. |