සිතීමේ හා විමසීමේ නිදහස
ඌරුගමුවේ
අස්සජී හිමි
“එථ තුම්හෙ කාලාමා මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉති කිරාය, මා පිටකසම්පදානේන, මා
තක්ක හේතු, මා නය හේතු, මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා, මා
භබ්බකරූපතාය, මා සමණො නො ගරූ” ති.(කාලාම සූත්‍රය)
මෙලොව උපන් සෑම සත්ත්වයකුට ම උපතින් ම යම් නිදහසක් උරුම වී තිබේ. ජීවත්වීමේ නිදහස
ඉන් පළමුවැන්න යි. අනවශ්‍ය බැඳීම්, යටත්වීම් සහ පීඩනයන්ගෙන් තොරව නිදහසේ ජීවත්වීමට
සැවොම පි‍්‍රය කරති.
සියලු සත්ත්ව වර්ගයා ජීවත්වනුයේ එකම සමාජයක ඒකාකාරී රාමුවක් තුළ ය. එක් මිනිස්
වර්ගයක නිදහස පිළිබඳ යම් යම් සීමාවන් පැනවීම හෝ නිදහස සහමුලින් ම අහෝසි කර දැමීම
මානුෂික වශයෙන් මෙන් ම සදාචාරාත්මක වශයෙන් ද කිසිදු හේතු යුක්ති සහගත ක්‍රියාවක්
නොවේ.
ලොව ජීවත්වන සියලු සත්ත්ව වර්ගයාට උත්තරීතර මානව නිදහසක් උදාකර දීම සඳහා වූ
සර්වකාලීන හා සර්වභෞමික දේශනයක් පළමුවෙන් ම ලෝකයට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ
ය. ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය සමාජ පසුබිම පිළිබඳ විමසා බැලීමේ දී එකල
මිනිසුනට යටත් පිරිසෙයින් ජීවිතය පවත්වාගෙන යාමටවත් කිසිදු නිදහසක් උරුමව
නොපැවතිණි.
බමුණන් විසින් වර්ග කරන ලද චතුර් වර්ණය පදනම් කරගෙන එකල සමාජය සකස්ව තිබුණි.
බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර යනු එම චතුර්වර්ණයි. මෙම වර්ගීකරණයට අනුව
බමුණන් පූජකයන් හා ගුරුවරුන් ලෙස ද, රජුගේ උපදේශකවරුන් ලෙස ද පෙනී සිටි අතර, මිනිස්
සමාජය උසස් – පහත් වශයෙන් මහා බ්‍රහ්මයා විසින් මවන ලදැ යි, යන්න ඔවුන් ගේ නිසැක
පිළිගැනීම විය.
ක්ෂත්‍රිය වංශකයිනට රාජ්‍ය පාලන තන්ත්‍රය මෙහෙයවීමත්, කෘෂි කර්මාන්තය කරවීමත්, යාග
කරවීමත් නියමිතව පැවතිණි. වෛශ්‍යයනට වාණිජමය කටයුතු පැවරී තිබුණ අතර, ශුද්‍ර
වංශිකයාට උරුම වූයේ පූර්වෝක්ත වර්ණත්‍රයට බැල මෙහෙවර කිරීම යි. මෙකි වර්ණත්‍රයට
උරුම වූ මිනිස් අයිතිවාසිකම් කිසිවක් ඔවුනට උරුම නොවී ය.
ඒ මතු නොව තත් යුගය වන විට භාරතීය සමාජයේ කාන්තාවනට හිමි වූයේ ද ඉතා පහත්
තත්ත්වයකි. ශුද්‍රයිනට සේ ම සාමාන්‍ය මිනිස් අයිතිවාසිකම් වූ ඉගෙනීම හා ආගමික
කටයුතුවල යෙදීම ආදි කටයුතු පවා ඔවුනට අහිමි විය.
රටේ පවත්නා පොදු නීති පවා කාන්තාව සම්බන්ධයෙන් වෙනස් වූ අතර, එදා සමාජයේ කාන්තාවක
මැරීම පිරිමියකු මැරීම තරම් බරපතළ ක්‍රියාවක් නොවේ ය, යන අදහස ද මුල් බැසගෙන
පැවතිණි. එබැවින්, එකල ස්ත්‍රියක වී ඉපදීම ද බරපතළ පාපයක් සේ සැලකීය.
මෙසේ සකස්ව පැවති විෂම සමාජ රටාවෙහි පවත්නා නිස්සාරත්වය බව පුද්ගල ක්‍රියාකාරකම් මත
තීරණය වන බවත්, තර්කානුකූලව පැහැදිලි කළහ. ඒ ඇතුළු මිනිස් සමාජයේ නිදහස වෙනුවෙන්
උන්වහන්සේ සිදුකළ දේශනා සියල්ල මංමුලා වූ ජන සමාජයකට නිසි මඟ පෙන්වාදීමක් ම විය.
ඒ අතර සිතීමේ හා විමසීමේ නිදහස වැනි ඉතා සාරවත් ඉගැන්වීමක් එම විෂයය පිළිබඳ වූ
ආගමික ඉතිහාසයෙහි අන් කවර තැනෙකවත් දක්නට නොමැත. තමා ම සත්‍යය අවබෝධ කර ගැනීමෙන්
හැර දේවාශිර්වාදය වැනි බාහිර පිළිවෙතක පිහිටෙන් මිනිසකුට දුකින් මිදිය නොහැකි බව
උන්වහන්සේ දේශනා කළහ.
මෙම දේශනාව සඳහා මුල් පසුබිම මෙසේ ය. වරක් කොසොල් දනව්වෙහි චාරිකා කරන සමයක
බුදුරජාණන් වහන්සේ කාලාමයන් ගේ කේසපුත්ත නම් නියම් ගමට වැඩම කළහ. කාලාමයෝ උන්වහන්සේ
හමුවී මෙම කරුණ ප්‍රකාශ කළහ.
“ස්වාමීනි, කේසපුත්තයට වරින්වර පැමිණෙන මහණ බමුණෝ වෙති. ඔවුහු ස්වකීය ලබ්ධිය
(වැළඳගැනීම) ප්‍රකාශ කරති. අන්‍ය ලබ්ධීන් සියල්ල හෙළා දකිති. බැහැර කරති. පරිභව
කරති. ස්වාමීනි, මෙහි දී කවුරු ඇත්ත කියත් ද, කවුරු බොරු කියත් ද යනුවෙන් අපට
සැකයක් ඇති වේ.”
මෙහි දී බුදුරදුන් ඔවුනට අවධාරණය කළේ ආගම් පිළිබඳ ඉතිහාසයේ සෙසු කිසිම තැනෙක දක්නට
නොලැබෙන උපදේශයකි.
“කාලාමයෙනි, ඔබ සැක කිරීමත්, විමතියට පැමිණීමත් සුදුසු ම ය. ඔබ ගේ සැකය ඇති වූයේ
සැක ඇතිවිය යුතු තැනෙක ම ය. කාලාමයෙනි, අනුශ්‍රැතියෙන් හෙවත් කුඩා කල සිට පුරුදු
පමණින් හෝ, පරපුරෙන් පරපුරට පිළිගෙන පැමිණි පමණින් හෝ, මෙය මෙසේ වී යැයි මිනිසුන්
අතර කතා පැතිර පවතින පමණින් හෝ, තමා උගත් ග්‍රන්ථවල සඳහන් පමණින් හෝ, තර්කයට එකඟ
නිසා හෝ, කිසියම් න්‍යායකට ගැලපෙන නිසා හෝ, පෙනෙන හැටියට හරි යැයි කියා හෝ, තමන්
පිළිගෙන ඇති කිසියම් දෘෂ්ටියකට ගැලපෙන නිසා හෝ, කියන පුද්ගලයා ගේ යහපත්කම සලකා හෝ,
මේ අපේ ගුරුතුමා යැයි කියා හෝ යමක් නො පිළිගන්න.
යම් විටෙක මේ දේ අයහපත් ය. අකුසල ය, වරදය යි ඔබට ම වැටහෙන්නේ ද, එවිට එය අත්හැර
දමන්න. එසේ ම, යම් විටෙක මේ දේ යහපත් ය, කුසල ය, නිවැරැදි යැයි ඔබට ම වැටහෙන්නේ ද
එවිට එය පිළිගෙන පිළිපදින්න.”
කාලාමයෝ මෙම දේශනාව මනාව තේරුම් ගත් හ. එය ම පිළිගත් හ. තෙරුවන් සරණ ගිය උපාසකයෙක්
බවට ද පත් වූ හ.
සැක නැති කිරීම පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ සෑම විටෙක ම දැක්වූයේ දැඩි සැලකිල්ලකි.
තමන් වහන්සේ දේශනා කළ ධර්මය ගැන යම්කිසි සැකයක් ශ්‍රාවකයන් ගේ සිතෙහි පැවතිය හොත්
තමන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව ද, සැක දුරුකර ගැනීමට ඉඩක් නො ලැබිණැයි, පසුව විපිළිසර
නොවිය යුතු බව ද පිරිනිවන් පෑමට ස්වල්ප වේලාවකට පෙර පවා උන්වහන්සේ ස්වකීය ශ්‍රාවක
පිරිසට දේශනා කළහ. එහෙත් ශ්‍රාවක පිරිස නිහඬව බලා සිටිය හ.
එහි දී බුදුරදුන් අවධාරණය කළ කරුණ සිතීමේ හා විමසීමේ නිදහස පිළිබඳ බෞද්ධ මතය කවරේ
දැයි තීරණය කිරීමට හොඳම සාක්ෂියකි. එය නම්, “ඔබ ප්‍රශ්න නො අසන්නේ ශාස්තෘවරයාණන්
කෙරෙහි ගෞරවය නිසා නම්, එය තම යහළුවකුට වත් සැළ කළ යුතු ය”යන්නයි. |