කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ...
ගාල්ල දංගෙදර , ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ මහා විහාරාධිකාරි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක
මුතුකණ්ඩියේ සුනෙත්ත හිමි
පින්වත් බමුණ, මා ද පෙර ආත්ම භවයක ඔබ මෙන් බ්‍රහ්මයකු වී සිට, මතක දානයක් දෙන්නෙමි,
සිතා එළුවකු මරා දුන්නෙමි. මා ඒ එළුවා මරණ ලද අකුසල කර්මය හේතු කොටගෙන ආත්ම හාරසිය
අනූනවයක් ඉස්කැපීමේ දුකට පත් වුණෙමි.
මෝහයෙන් මුලා වී අවිද්‍යාවෙන් අන්ධව ප්‍රාණඝාතය ආදී නිරයගාමී පව් රැස් කරන අය අද
අනන්තවත් මේ ලෝකය තුළ සිටී. එය අද කාලයට විතරක් විශේෂ වූ දෙයක් නොවෙයි. අප මහා
බෝසතාණන් වහන්සේ පෙරුම් දම් පුරණ කාලයේත්, ඊට පෙරත් මේ දේවල් මේ අයුරින්ම සිදුවුණා.
තමා විසින් අනවබෝධය නිසා සිදුකළ අයහපත් දේ හේතුවෙන් උපදින භවයෙන් භවය බොහෝ දුක්
විපාක විඳීමට සිදුවුණ කතා පුවත් පිළිබඳව ජාතක පොත් වහන්සේ තුළින් හමුවේ.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය කරන කාලයේ වේදය හොඳීන් ඉගෙනගෙන
සම්පූර්ණ වූ නිසා දිසාපාමොක් නම් වූ එක් ආචාර්ය බ්‍රාහ්මණයෙක් මතක දානයක් දිය යුතු
ය යැයි සිතුවේය. එක්තරා ,එළුවකු අල්ලා ගෙන අවුත් තමන්ගේ අතවැසියන් කැඳවා මෙසේ කීය.
"සගයෙනි මේ එළුවා ගඟට ගෙන්ගොස් නහවා, කරෙහි මල් වඩම් බැඳ අතේ ඇඟිලි පහ කෙළවර සුවඳ
ආලේප තවරා, ඉන් එළුවාගේ සිරුරෙහි සලකුණු තැබීම හෙවත් පසඟුල් දීම සිදු කොට සරසා ගෙන
එව'යි විධාන කළේ ය.
ඒ මනුෂ්‍යයෝ ද එළුවා ගෙනගොස් තබා බමුණා කී ආකාරයටම සරසා ගංතෙර බැඳ තැබීය. ඒ එළුවා ද
තමන් විසින් පෙර කරන ලද අකුසල කර්මය පෙර ආත්ම සිහි කර බැලීමට සමත් නුවණින් දැක මේ
දුකින් අද මට මිදිය හැකි වන්නේ යැයි දැනගෙන සතුටුව කළයක් බිඳෙන පරිද්දෙන් මහ හඩින්
සිනාසී ය. එහෙත් නැවතත් මේ බමුණා මා මරා මා විසින් මෙතෙක් කල් විඳී දුක් විඳීන්නේ
යැයි සිතා බමුණා කෙරෙහි කරුණාවෙන් මහත් මහත් හඬින් හැඬුවේ ය. මේ දුටු පුරුෂයෝ එළුවා
අමතා මිත්‍ර එළුවාණෙනි, ඔබ වරක් මහත් හඩින් සිනාසී නැවත හඬන්නට පටන් ගත්තේ කවර
කාරණයක් නිසා ද? ඇසීය.
,තොප මේ කාරණය ඔබගේ ගුරුවරයා සමීපයෙහි දී අසව, එවිට මම එයට පිළිතුරු දෙන්නෙමි’යි
කීය.
එවිට පුරුෂයෝ ද එළුවා රැගෙන බ්‍රාහ්මණ ඇදුරා වෙත ගොස් මේ බව දැන්වීය. ඒ බමුණා ද
මිනිසුන් කී බස් අසා සිනාසීමට හා ඇඩීමට හේතුව එළුවාගෙන් ඇසීය. එළුවා ද තමාගේ පෙර
ආත්මභාවයන්හි දී සිදුකළ අකුසල කර්මය සිහිකොට, පින්වත් බමුණ, මා ද පෙර ආත්ම භවයක ඔබ
මෙන් බ්‍රහ්මයකු වී සිට, මතක දානයක් දෙන්නෙමි, සිතා එළුවකු මරා දුන්නෙමි'යි. මා ඒ
එළුවා මරණ ලද අකුසල කර්මය හේතු කොටගෙන ආත්ම හාරසිය අනූනවයක් ඉස්කැපීමේ දුකට පත්
වුණෙමි. මේ මාගේ අවසාන පන්සියය වැනි ආත්මය සම්පූර්ණ වන ආත්මභාවයයි. එබැවින් අද මා
මේ දුකෙන් මිදෙමී’යි යන සතුටට පත්ව සිනාසුනෙමි.
එහෙත් මා අද ඒ දුකින් මිදුණ ද ඔබ මා මරා පන්සියයක් ජාතීන්ගේ හිස් කැපීමේ දුක ලබන්නේ
ය, යැයි සිතා ඔබ කෙරෙහි කරුණාවෙන් ඇඬුවේ ඇයි පැවසී ය.
ඒ ඇසූ බමුණා එළුවා අමතා, එළුව, බිය නොවන්න. මම ඔබ නොමරමි. ඔබට අභයදානය දෙන්නෙමි
කීය. ‘පින්වත් බමුණ ඔබ කුමක් කියන්නෙහි ද? තොප මා නො මැරුවත් මා හට ද මරණයෙන් මිදිය
නොහැකියි,
"එළුවාණෙනි, ඔබ බිය නොවන්න, මම ඔබට ආරක්ෂාව සලසා තොප හා සමඟම මා ද සිටිමි. ,පින්වත්
බමුණ, ඔබ විසින් කරන ලද ආරක්ෂාව ඉතා අල්ප ය. මා විසින් කරන ලද අකුසල ඉතා බලවත් යැයි
පැවසීය.
එවිට බමුණා විසින් එළුවා මුදා, වැසියන් කැඳවා එළුවා සමඟම ඇවිදිමින් එක්තරා ගල්
තලාවක් මතට පැමිණියේ ය. එහිදී සරුව වැඩුණු තණ පඳුරක් දුටු එළුවා එය කෑමට හිස දික්
කරද්දී එක් වරම ගල්තලාවට වැදුණ අකුණු පහරක් නිසා කැඩී ගිය ගල් පතුරක් වැදී එළුවාගේ
හිස සිඳී ගියේ ය. ඒ බව දැන ගත් මහජනයා ද එතැනට රැස් වී ය.
එකල බෝධිසත්වයෝ ද ඒ ස්ථානයෙහි වෘක්ෂ දේවතාවෙක් ව උපත ලබා සිටියහ. මේ සියලු දෑ බලා
සිටි දේවතාවා මහජනයා රැස්ව සිටිය දී අහසට පැන නැඟී පලක් බැඳගෙන වැඩ සිටිමින් රැස්ව
සිටි පිරිස අමතා මෙසේ ප්‍රකාශ කළේ ය.
මේ සත්වයෝ මේ අයුරින් අකුසලයෙහි විපාක දැන ප්‍රාණඝාත නොකරන්නේ නම් යහපත. ඒ ඒ භවයෙහි
සත්ත්වයාගේ උපතත් ජරාවට ව්‍යාධියට හා මරණයට පත්වීමත් දුකක් ම වන්නේ ය. ලෝකයෙහි මේ
ස්වභාවය දන්නේ නම් සත්වයෙක් සත්වයකු නොමරන්නේ ය. ප්‍රාණඝාත කළා වූ පුද්ගලයා වනාහි
අට මහා නරකයෙහිත් දහසයක් පමණ වූ කුඩා නරකයෙත්, නොයෙක් තිරිසන් ආත්මවලත් ඉපිද බොහෝ
දුක් විඳීමින් බොහෝ කලක් ශෝක කරන්නේ වෙයි. මෝහයෙන් මුළා වූ සත්ත්වයෝ අවිද්‍යාවෙන්
අන්ධ ව මේ දොස් නොදැක ප්‍රාණඝාතය කරන්නාහුය.
දම් දෙසුම ඇසූ මනුෂ්‍යයෝ අපා දුක් පිළිබඳ බියට පත්ව ප්‍රාණඝාතයෙන් වැළකුණ අතර
දානාදී පින්කම් කොට දිව්‍ය ලෝකයේ උපත ලැබූහ. බෝධි සත්වයෝ ද කම් වූ පරිද්දෙන් මිය
පරලොව ගියහ. එකල දේවතාවා නම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය.
“සුකරං සාධූනා සාධූ
සාධූ පාපේන දුක්කරං
පාපං පාපේන සූකරං
පාපමරියේහි දුක්කරං”
සත් පුරුෂයා විසින් යහපත් දෙය යහපත් ලෙස කරන්නේ ය. පව් කාරයා විසින් යහපත් දේ
නොකරන්නේ ය. පව්කාරයා පාපයන් ඉතා හොඳීන් කරන්නේ ය. සත්පුරුෂ ආර්යයා පාපය නොකරන්නේ
ය. ඛුද්දක නිකාය -උදාන පාලි ආනන්ද සූත්‍රය
සසර ගමන පුරාවටම දැඩි දුකට පත්වීමට සිදුවෙන සියලු පව්වලින් ඈත්ව කුසල් කරමින් මනා
වූ ධර්මාවබෝධයක් ලබා ගනිමින් සසර දුකින් මිදීමට උත්සාහ කරමු. තෙරුවන් සරණයි! |