රතන සූත්‍ර නිදානයේ නිදානය
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
( බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය)
කේ.කේ. සුගතපාල
ත්‍රිපිටකයේ එන 84000 ධර්මස්කන්ධ අතුරෙන් අභිධර්ම පිටකයේ ස්කන්ධ 42000 කි. විනය
පිටකයේ 21000 හා සූත්‍ර පිටකයට 21000 ලෙසින් බෙදා දක්වති. මෙයින් සූත්‍ර පිටකයට
අයත් ස්කන්ධ තුළින් සූත්‍ර දේශනා ලෙසින් 19000කට ආසන්න සූත්‍ර ඇත.
පෙරදා මේ සූත්‍ර දේශනා සියල්ල මතකයෙන් කිව හැකි පුණ්‍යවන්තයෝ සිටි බවට ශාසන
ඉතිහාසයේ සටහන්ව ඇත. කෙසේ වෙතත් මේ සූත්‍ර රාශිය අතුරෙන් තුන් සූත්‍රයක් කටපාඩමින්
කිව හැකි බොහෝ බෞද්ධ පිරිසක් අපේ රටේ සිටින බව සත්‍යයකි. ඒ මහා මංගල, රතන හා මෙත්ත
සුත්‍රය යි.
පිරුවානා පොත් වහන්සේගේ ද මෙම සූත්‍ර තුන ඇතුළත්ව තිබෙන හෙයින් බොහෝ දෙනා මෙසේ
දනිති.
ආධ්‍යාත්මික දියුණුව අරමුණු කොට මේ තුන් සූත්‍රය ද බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති
බවත්, ලෞකික යහපත පමණක් ම නොව ලෝකෝත්තර සුවය ද එයින් සාක්ෂාත් කළ හැකි බවත් බොහෝ
දෙනා නොදනිති. ඒ සූත්‍ර පාඨ අර්ථ නොදන්නා බැවිනි. ඒ ගැන ද අවධානය යොමු කරවමින්
මාතෘකාවට අදාළ විස්තරයට දැන් අපි යමු.
නිදානය
එදා විශාලා මහනුවර දැඩි ආහාර හිඟවීම ආදි උවදුරු නිසා මහත් බිහිසුණු තත්ත්වයක් ඇති
විය. ඒ උවදුරු දුරු කර ගනු පිණිස ලිච්ඡවීහු පිළිසරණ සොයා හැම අත ගියහ. අවසානයේ
රජගහනුවර එවකට වැඩ සිටි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියහ. බිම්සර රජුගේ
අවසරයෙන් ආරාධනා කොට විශාලාවට වැඩම කර ගත්හ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසල්පුරට වැඩම කළ දිනයේ ම තිබූ උවදුරු වළක්වාලීම පිණිස
නගර දොරටුවෙහි සිට ආනන්ද තෙරුන් වහන්සේ ලවා රතන සූත්‍ර දේශනා කරවූහ. මුළු නගරයෙහි ම
පිරිත් පැන් ඉසිමින් සැරිසැරූ සේක්හ. “යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගෙසු වායං
රතනං පණීතං” යැයි දේශනා කළ මොහොතේ ම කුණු ගොඩවල්, බිත්ති මුළු ඇසුරු කොට විසූ
අමනුෂ්‍ය පේ‍්‍රතාදීහු වෙත් නම් සතර දොරටුව ඉඩ මදිවී පවුරු බිඳගෙන පළා ගියහ.
ආහාර හිඟවීමෙන් දොරින් දොර මිය ගිය මළමිනී ඇසුරුකොට මේ යක්ෂ පේ‍්‍රතාදි අමනුෂ්‍ය
කොටස් ඒකරාශීව රෝග බිය ද ඇති කළහ. මේ අමනුෂ්‍ය භූතයන් පලාගිය තැන් පටන් ජනයාගේ රෝග
සංසිඳුණි. සුවපත් වුණි. සුවපත් වූ ජනයා සතුටු වූහ. නගරමැද පිහිටි රැස්වීම් ශාලාව
වෙත පැමිණ පිරිසුදු කොට වියත් බැඳවූහ. සුවඳ ඉස අසුන් පැනවූහ.
බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩ හිඳුවාලූ සේක. සක්දෙව් ප්‍රමුඛ මහ
දෙව් පිරිස, රජවරු, නගර වාසීහු ද ශාලාවට ඒකරාශී වූහ. ජනයා සමඟ මුළු විශාලාව පුරා
ගාථා කියමින් පිරිත් පැන් ඉසිමින් නගර සීමා ආරක්ෂා කොට ආනන්ද තෙරුන් වහන්සේ ද ජනයා
සමඟම පැමිණ අසුන් ගත්හ. එහිදී භාග්‍යවතුන් වහන්සේ මේ මහා ජන සමුළුවට ඒ රතන සූත්‍රයම
දෙසා ආශිංසනය කළ සේක.
මේ මහානුභාව සම්පන්න සතළොස් ගාථාවකින් හෙබි රතන සූත්‍ර දේශනාව තේරුම් දැන
ශ්‍රද්ධාවෙහි පිහිටා මෙකී ධර්මයන්හි හැසිරෙයි ද, සත්‍යක්‍රියා අවංකව කළ හැකි වේ ද,
දේශනා කොට ශතවර්ෂ 26 කට ආසන්න වුත් ආනිසංසයෝ එසේම ලැබෙන්නේ ය.
නිදාන කථාව
විශාලා මහනුවර – ලිච්ඡවීන් හෙවත් වජ්ජීන් පිළිබඳ බුද්ධ කාලයට පෙර වූවක් ලෙස පුරාණ
ආචාර්යවරුන් පැවසූ කථාවක් ඛුද්දකපාඨ හා සුත්ත නිපාත අටුවාවන්හි සඳහන්ව ඇත.
රතන සූත්‍ර දේශනාවේ නිදානයේ නිදාන කථාව ලෙසින් මෙතැන් සිට ලියැවී ඇත්තේ එයයි.
පෙර දා බරණැස් නුවර රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරු ගැබක් පිහිටියේ ය. දේවිය ඒ බව
රජුට දන්වා සිටියා ය. රජු ගැබිනියක වෙනුවෙන් කළ යුතු සියලු කටයුතු හා රැකවරණ සැලසී
ය. ගැබ මේරු කල්හි වැදුම් ගෙට පිවිසි ඈ අලුයම් කාලයෙහි ( පින් ඇති දරුවන් අලුයම්
කාලයෙහි උපදී යැයි එක් මතයකි.) ප්‍රසූතිය සිදු කළා ය.
දේවිය බිහිකර ඇත්තේ වද මලක් බඳු මස් වැදැල්ලකි. එවිට ඇය අනෙක් බිසෝවරුන් රන් පිළිම
බඳු පුතුන් වදති. අග මෙහෙසිය වූ මා මස් වැදැල්ලක් වැදුවා යැයි රජු ඉදිරියේ අපහාසයට
ලක් වන්නී යැයි සිතීය.
එයට බියෙන් එම මස් වැදැල්ල එක් බඳුනක බහා වෙනත් බඳුනකින් වසා රාජකීය සලකුණු තබා ගඟට
දැමීය. මහා දෙවියෝ ඊට රැකවරණ සැලසූහ. තව ද රන් තහඩුවක රත්සිරියල්වලින් “බරණැස රජුගේ
අග මෙහෙසියගේ දරුවන්” යැයි ද එහි ලියා තැබූහ. මෙය දෙවියන්ගේ වැඩක් බව ද කියැවේ.
එම බඳුන උපද්‍රව රහිතව ගඟ පහළට පාවී ගියේ ය. ගොපලු ගමක සත්කාර ලබමින් ගං තෙර වසන
එක්තරා තාපසයෙක් මුව කට සෝදා ගැනීමට උදෑසන ගඟට බැස්සේ ය. ගඟේ පාවී තමන් සමීපයට ආ ඒ
භාජනය දැක කුණු ගොඩක් එතූ රෙදි යැයි සලකා පංසුකූල හැඟීමෙන් අතට ගත්තේ ය. භාජනයේ වූ
රාජකීය සලකුණු දැක භාජනය විවෘත කළේ මස් වැදැල්ල දුටුවේ ය.
මෙය දරු කළලයක් විය යුතු ය. කුණු වූ බවක් හෝ දුඟදක් ද නැතැයි සිතුණි. එය අසපුවට ගෙන
ගොස් පිරිසුදු තැනැක තැබීය. අඩ මසක් ගියේ ය. එක මස්වැදැල්ල දෙකක් සේ බෙදුණි. එය
දුටු තාපසයා වඩාත් පිරිසුදු තැනක තබා තවත් අඩමසක් ගිය තැන බැලුවේ ය.
එක් එක් වැදැල්ලෙහි ගැට පහක් බැගින් උස්වී තිබෙනු දුටුවේ ය. ඒ හිස, දෙපා, දෙඅත්
යැයි සිතුණි. තවත් අඩමසක් ගෙවුනි. එක් මස් වැදැල්ලකින් රන් පිළිමයක් බඳු පිරිමි
දරුවෙක් ද අනෙකින් දැරියක් ද ඇතිවිය. ඔවුන් කෙරෙහි දරු සෙනෙහස පහළ වූ බමුණාට ඔහුගේ
මහපට ඇඟිලි තුඩින් කිරි වැගිරෙන්නට විය. එතැන් පටන් තවුස් හට දානයට කිරි හා බත්
ලැබෙයි ද බත් ඔහු වළඳා කිරි දරුවන්ට පොවයි.
මෙසේ වැඩෙන දරු දෙදෙනා අන් දරුවන් මෙන් නොවූහ. මේ දරුවන්ගේ කුසට යමක් පිවිසෙයි ද ඒ
සියල්ල මැණික් බඳුනකට දැමුවා සේ විනිවිද පෙනේ. ඒ සිරුරේ උඩ සම නැති හෙයින් ය. මෙසේ
වු මේ දෙදරුවන් සියුම් සිවියක් ඇති, උඩ හමක් නැති අදහසින් ලිච්ඡවී යැයි හැඳින්වූහ.
(එවං නිච්ඡවනී අහෙසුං..එවං තෙ නිච්ඡවිතාය වා ලිච්ඡවී විතාය වා ලිච්ඡවිති පඤ්ඤායිංසු
සු.නි.අටුවාපාළි පිට 202)
අප්‍රකට සම ඇති බැවින් ලිච්ඡවී වී යැයි සමහරු කියති. අප ගෞතම බුදුරජාණන් වහන්සේ
ජීවමාන කාලයේ දී වරක් එක් උත්සව දවසක දී ලිච්ඡවීන් නානා වර්ණ පිළි හැඳ නොයෙක්
අබරණින් නොයෙක් ලෙසින් සැරසී උයන් කෙළි පිණිස සැරසු රථවලින් මහ මඟ යමින් සිටියහ.
අතරමඟ පිඬුසිඟා වැඩීමට භික්ෂූන් සමඟ මහ මඟ වඩිමින් සිටි බුදුරජාණන් වහන්සේ, මහණෙනි,
අර එන ලිච්ඡවීන් දකිත්ද? ඔබලා විසින් තව්තිසා වැසි දෙවියෝ පෙර නොදක්නා ලද නම් ඒ එන
ලිච්ඡවීන් බලවු’යි වදාළහ. (රූප සෝභාවෙන් එතරම් ලස්සන වූවන් බව එයින් හැඟේ)
දරු දෙදෙනාගේ පෝෂණය වෙනුවෙන් කල් ගෙවන තාපසයාණෝ වෙනදාට වඩා පිඬු පිණිස ඒම ප්‍රමාද
වනු දැනුණු ගොපලු ගම් වාසින් කරුණු දැන “ස්වාමීනි, පැවිද්දන්ට දරුවන් පෝෂණය
කරදරයකි. දරුවන් අපට දෙනු මැනැවි. අපි පෝෂණය කරන්නෙමු. ඔබ වහන්සේ තමන්ගේ කාර්යයන්
කරනු මැනැව“යි. කීහ.
තාපසයා යහපතැයි පිළිගෙන දරුවන් ගෙන යාමට මහමඟ පුරා මල් විසුරුවාලමින් ධජ පතාක රැගෙන
පෙරහරින් අසපුවට ආ ගම්වාසින්ට මොවුහු මහත් පින් ඇති දරුවෝ ය. හොඳින් පෝෂණය කරව.
නිසි කල ආවිට එකිනෙකා ආවාහ විවාහ කරවන්නැයි දරු දෙදෙනා භාර දුන්හ.
මේ දරුවන්ට සිදුවූයේ කුමක්ද ? වෙසක් අවඅටවක පෝදා (22) පත්‍රයෙන් ඒ ගැන විස්තරය
කියවන්න. |