[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2022-05-15

මෙත් ගුණ පැතිරේවා

තුන් ලොවක් මෛත්‍රී, කරුණා ආදී ගුණවලින් පුරවාලූ සිදුහත් කුමරුගේ උපත, සම්බුද්ධත්වය, සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණය සිහි කෙරෙන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය අදයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසු වසර හතළිස් පහක් ම ලෝක සත්වයා දුකින් මුදවාලීමට මහා කරුණාවෙන් ධර්මය දේශනා කළ සේක.

යොදුන් සිය දහස් ගණන් දුර වැඩම කරමින් ලෝක සත්වයා සුවපත් කිරීමට මෛත්‍රී ගුණය ලොවට ඉගැන්වූහ. මෛත්‍රීය යනු හිතවත් භාවය දැක්වීමකි. මවක් තම එකම පුතුට දයාව දක්වන්නාක් මෙන් සමස්ත ලෝක සත්වයාට ම දයාව දැක්විය යුතු බව එයින් අදහස් වෙයි. මෙය භාවනා ක්‍රමයක් ලෙස ද පුහුණු කළ යුතු දේශනාවකි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී දේශනාවේ දී පළමුව උගන්වන්නේ තමන්ට පළමුව මෛත්‍රී කළ යුතු බවයි.

දෙවැනියට තමාගේ සමීපතමයින්ට මෛත්‍රිය වැඩිය යුතුයි. මවක් දරුවකු කුස දරාගත් විට දරුවා නිදුක්ව නීරෝගීව උපත ලබන්නට මෛත්‍රී කරයි. පියා ද එසේ ම ය. උපත ලැබූ විට ඔවුන්ගේ යහපත වෙනුවෙන් ම ජීවිතය වෙහෙසවයි.

සිවුබඹ විහරණවලට මෛත්‍රීය අයත් වන්නේ එබැවිනි. තෙවැනියට මව්පියන්ට, සහෝදර-සහෝදරියන්ට, යහළු-යෙහෙළියන්ට, ඥාතීන්ට, අසල්වැසියන්ට, ගම්වැසියන්ට, ප්‍රදේශ වැසි ජනයාට, නගර, රට, ලොව යනාදී වශයෙන් සලකා මෛත්‍රීය උපදවයි.

මෛත්‍රිය හොඳින් පුහුණු කළ විට සමස්ත ලෝක සත්ත්වයාම තමාගේ දරුවන් හා සමාන වෙයි. එවිට ලෝකයේ කිසිදු සත්වයකුට වචනයකින් හෝ පීඩාවක්, හිංසාවක් කිරීමට හෝ නො සිතෙයි.

ඔහුගේ සිත ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කෝපයෙන්, පලිගැනීම්වලින්, තෘෂ්ණාබර සිතිවිලිවලින් ඈත්වෙයි. තමාගේ දරුවකුට විපතක්, හිංසාවක් ඇතිවන විට දැනෙන වේදනාව, දුක, ශෝකය ලෝකයේ ජීවත්වන ඕනෑම සත්වයකුට විපතක්, දුකක් ඇතිවන විට තමාටත් එය හොඳින් දැනෙයි. මෛත්‍රීයේ ප්‍රබලත්වය එයයි.

තම මුවින් මම සුවපත් වෙම්වා, මම නිදුක් වෙම්වා, මම නීරෝගී වෙම්වා, මම වෛර නැත්තෙක් වෙම්වා යනාදී වචන මාත්‍රයකින් හෝ මෛත්‍රීය පුරුදු පුහුණු කරන්නේ නම්, එම තැනැත්තාට ලොව මිල කළ නොහැකි අගනා වස්තු දහයක් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

රජකම ලැබුණත්, සක්විති රජකම ලැබුණත්, කොපමණ උසස් තනතුරක් ලැබුණත්, කොපමණ ධනය තිබුණත් ඒවා මිල දී ගැනීමට නො හැකි ය.

ඒ අමිල සම්පත් දහය මෙත්තානිසංස සූත්‍ර දේශනාවේ, සුවසේ නිදයි, සුවසේ පුබුදියි, බියකරු සිහින නො දකියි, මිනිසුන්ට ප්‍රිය වෙයි, දෙව් බඹුන් ඇතුළු නො මිනිසුන්ට ප්‍රිය වෙයි, දෙවියන් රකියි, ගිනි-වස-විෂ-ආයුද-හදිසි අනතුරු ආදී උවදුරුවලින් ආරක්ෂා කරයි, සිත වහා එකඟ කරවයි, ප්‍රසන්න පෙනුමකින් යුතු වෙයි, සිහි විකල් බවකින් තොරව සතුටින් කාල ක්‍රියා කරයි, මරණින් මතු දෙව්ලොව හෝ බඹලොව හෝ උපත ලබයි යනුවෙන් සඳහන් වෙයි.

තමාත්, සමස්ත සමාජයත්, සමස්ත ලෝවැසියනුත් මෛත්‍රීයෙන් කටයුතු කරයි නම් වඩාත් සුන්දර මිනිසුන් අපට හමු වෙයි. මනුෂ්‍ය ඝාතක කණ්ඩායම්, පවුල් ආරවුල්, සමාජ කලහයන්, අමනාපකම්, විවිධ යුද ගැටුම්, මානසික පීඩා ආදිය ඇති වන්නේ මෛත්‍රී සිත නො වැඩීම නිස යි. එහි අගය වටහා නො ගැනීම නිසයි.

එහි සුවය හදවතට දැනුණ විට ඇති වන ප්‍රීතිය, ලෝකයේ මිනිසකු විඳින උසස්ම සතුට එය බව ඔබට වැටහේවි. මෛත්‍රීය පුරුදු කර එහි පවත්නා සුවය නොපමාව අත්විඳ ගන්න උත්සාහ කරන්න.

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]