දෙලොව
සුවපත් කරන ප්‍රතිපදාව
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ
ධම්මික
නා හිමි
තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ ඉතාමත් දුර්ලභව ය. එම ඉතාමත් දුර්ලභ
වූ අවස්ථාව ගෞතම බුදුසසුන මුණගැසීමත් සමඟ ම අපට ලැබී ඇත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට
ගෙන දෙලොව ජීවිත සුවපත් කර ගනිමින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මාර්ගය පහදා
ගනිමු.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණගැසීමේ දී ශ්‍රාවකයන්ගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු
වී පවත්නේ වේ නම්, එය අධිගමයට හේතුවක් වන්නේ ය. තමන් වහන්සේට හමුවූ ගිහි හෝ වේවා,
පැවිදි හෝ වේවා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ශ්‍රද්ධා, විර්ය සති, සමාධි, ප්‍රඥා නම් වූ
ඉන්ද්‍රිය ධර්ම අධිගමයට තරම් දියුණු වී ඇත්දැයි බුදු උතුමෝ ඉන්ද්‍රිය පරොපරියත්ති
සහ චේතොපරියත්ති ඤාණයන්ගෙන් බලති.
එහිදී එම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ශ්‍රාද්ධාදී ආධ්‍යාත්මික ඉන්ද්‍රිය ධර්ම අධිගමයට
තරම් දියුණු වී ඇත්නම් එක එල්ලේම සාමුක්කංසික හෙවත් පරමාර්ථ දේශනාව සිදුකරති.
මෙසේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම අධිගමයකට තරම් දියුණු වී නැතිනම් ආනුපුබ්බී කථාව
දේශනා කරනු ලැබේ.
මේ මාර්ගය හෙවත් ප්‍රතිපදාව සාමාන්‍ය ජනයා හෙවත් අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයන්ට
මෙලොව පරලොව දෙලොව දියුණුව සහ චතුරාර්ය සත්‍ය අවබෝධයට මාවතකි .
දානය නම් තණ්හා, මද, මාන දිට්ඨින්ගෙන් තොරව කරන්නා වූ පරිත්‍යාගයයි. මෙය ලෞකික
ලෝකයේ ආහාර, වස්ත්‍ර, ඉඳුම් හිටුම්, බෙහෙත් මුල්කොට ගත් වස්තූන් හෝ මිල මුදල් ධන
ධාන්‍ය විය හැකි ය.
පාරමී ලෙස බාහිර වස්තුහුද, උපපාරමී ලෙස ඇස්, ලේ, වකුගඩු ශාරීරික අවයවයන් ද, පරමත්ථ
පාරමී ලෙස ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීම ද අදහස් කෙරේ. සීල කතාවේ දී “යත්ථ සීලං
තත්ථ පඤ්ඤා යත්ථ පඤ්ඤා තත්ථ සීලං” නම් වූ මාර්ගයෙහි යුක්ත විය යුතු ය.
එනම් යම් තැනෙක කායික වාචසික නම් වූ සීලය පවතින්නේ ද එයම සම්මා ප්‍රඥාව ස්පර්ශ විය
යුත්තේ ය. සම්මා ප්‍රඥාවට අනුව, සම්මුතියට අනුව මම , මගේ යැයි පැවසුවත් පරමාර්ථ
ධර්මයට අනුව සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක සියල්ලම අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛණයට
යටත් ය. හේතූන් ප්‍රත්‍ය කොට යම් ඵලයක් හෝ විපාකයක් වේ ද ඒ හේතූන්ගේ ම විසිර යාමෙන්
ඵලය ද නැතිව යන්නේ ය.
මේ නිසා කැමති අරමුණෙහි ලෝභයෙන් උපාදානය වීම හෝ අකමැති අරමුණෙහි අමනාපයෙන් උපාදානය
නොවිය යුත්තේ ය.
මෙ මඟින් සකස්වන හික්මීම හෙවත් සීලය ලෞකික මෙන් ම ලෝකෝත්තර දියුණුවකි. ප්‍රාණඝාත
ආදී පස්පව්වලින් සහ දස අකුසලයන්ගෙන් මිදීම දෙලොව දියුණුව හෙවත් ආධ්‍යාත්මික වර්ධනයේ
උපරිමයයි.
දෙවියන් එම දේවත්වයට පත්වූයේ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත,චාග,ප්‍රඥා ගුණ වැඩීමෙනි. මෙම
ගුණයන් මා කෙරෙත් පවතින්නේ දැයි සිතා, ඒවා දියුණු කර ගැනීමයි.
සසර ගමනේ බියකරුම අවස්ථාවන් සකස් වන්නේ කාමයන් නිසා ය. වස්තු කාම සහ ක්ලේශ කාම
වශයෙන් දැක්වෙයි. මේ අතරින් ක්ලේශ කාමයෝ ඉතා සියුම් ය. වේදනාකාරි ය.
විපාකය අතිශයින් දුක් සහිත ය. ඝෝර ය. විසකුරු ය. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ
ආකාරයෙන් කාමයන්ගේ ආදීනවයත්, රාග, දෝස, මෝහ ආදී ක්ලේශ ධර්මයන්හි ආදීනවයත් මනා කොට
තේරුම් ගනිමින් අවබෝධයට පැමිණීම අවශ්‍ය ය. “අප්පස්සාදා ආවුසො කාමා වුත්තා භගවතා බහු
දුක්ඛා බහුපායාසා ආදිනවො ඵත්ථ භිය්‍යො, අට්ඨිකංඛලුපමා කාමා..”භාග්‍යවතුන් වහන්සේ
විසින් කාමයෝ අල්ප ආස්වාද ඇති ය. බොහෝ දුක් ඇතියහ. බොහෝ උපායාස (බලවත් සිත්තැවුල්)
ඇතියහ. බොහෝ දුක් සහිත ආදීනව යැයි වදාළහ.
කාමයෝ ඇටසැකිල්ලක් වැනි ය. ආදි ලෙසිනි.
මෙම නිවන් මඟෙහි සාරය ලෙස දැක්විය හැකි නෙක්ඛම්මයයි. ඇස ආදි ආයතන්ගෙන් ද, රූපා දී
ආරම්මණයන්ගෙන් ද, චක්ඛු විඤ්ඤාණ ආදි ෂඩ් විඤ්ඤාණයන්ගෙන් ද චක්ඛු සම්ඵස්සාදී සය
ආකාරයක ස්පර්ශයන්ගෙන් ද , සැප වූ ද, දුක් වූ ද, මධ්‍යස්ථ වු ද සියලු වේදනාවන්ගෙන් ද
නික්මීම ම නෙක්ඛම්මයයි.
එනම් මේ සියල්ල නාම රූප ධර්මයන්ට අයත් බවත්, එමෙන් ම අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ
තිලක්ඛණ ධර්මයට යටත් බව අවබෝධ කොට ගෙන උපාදානය කර නො ගැනීමයි.
අවබෝධයෙන් යුතුව අභිජ්ඣා නම්වු දැඩි ආශාව ද,දෝමනස්ස නම් දැඩි වූ ගැටීම ද හෙවත්
පටිඝය ද බැහැර වීමයි. මෙය ක්ලේශ පරිනිර්වාණයේ අවස්ථාවන් ය.
මහා චත්තාරීසක සූත්‍ර දේශනාවන්ට අනුව ලෞකික සහ ලෝකෝත්තර ලෙස සම්මා සමාධිය
සපරිවාරකොට සම්මාදිට්ඨි, සම්මා සංකප්ප ආදි ලෙසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුතු
බව දේශනා කෙරේ. මෙහිදි පෙන්වා දෙන්නේ ආශ්‍රවයන්ගෙන් යුතු පින් කරන, පිනෙහි විපාකය
ලබන නිවරැදි දැක්මයි.
එමෙන්ම “අරියා අනාසවා ලෝකුත්තරා මග්ගගො” යනුවෙනි. එනම් ආර්ය වු අනාශ්‍රව වු
ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා දිට්ඨිය යි.
සතර සම්‍යක් ප්‍රධන් වීර්ය සහ සතර සතිපට්ඨානයම විශේෂ කොට දැක්වෙයි. මේ ආධ්‍යාත්මික
මඟක ලෞකික සහ ලෝකෝත්තර දියුණුව ද නිර්වාණාවබෝධය ද ඇති කර ගන්නා වූ මාර්ගයයි.
ව්‍යවහාර අර්ථයෙන්, ලෞකික දියුණුව නම් උපධි සම්පත්තියෙන් යුතුව අත්ථි සුඛ, භෝග සුඛ,
අණනසුඛ සහ අනවජ්ජ සුඛ ලෙස දක්වන සතර ආකාරයක සුවයන් ය.
පස්පව් සහ දස අකුසලයන්ගෙන් බැහැරව උපයා ගන්නා ලද ගේ දොර, ධන ධාන්‍ය, යාන වාහන,
ඇඳුම් පැළඳුම් මිහිරි සහ පෝෂ්‍යදායි ආහාර, ස්වාමි භාර්යා, මව්පිය දූදරු පටන් පවත්නා
වූ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මෙයට අයත් ය.
භෝග සුඛය නම් දැහැමින් උපයා ගත් ලෞකික ධනය සැනසිය හැකි ආකාරයෙන් ආහාර, වස්ත්‍ර,
නිවාස, බෙහෙත් ආදියට යොදා ගැනීමයි. ණය නොමැතිවීම ලෞකික වූ ආධ්‍යාත්මික දියුණුවකි.
තමා නිවැරැදි ය නම් වූ මානසික සුවය අනවජ්ජ සුඛයයි. එසේ නොමැති වීම, ධන ධාන්‍යයෙන්
ආඪ්‍ය වූයේ ද දැහැමි දියුණුවක් ලෙස නොසැලකේ.
මෙයට අමතර සාමාන්‍ය ජනයාට සරල ලෙස තේරුම් ගත හැකි දෙලොව ම දියුණුවට හේතුවන කරුණු
මංගල, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ සූත්‍රවලින් මතුකොට ගත හැකි ය. මෙලොව සහ පරලොව නම්
දෙලොව ජීවිතවල ම පරිහාණිය හෙවත් පිරිහීම් කරුණු වසල සහ පරාභව සූත්‍රවලින් දතහැකි
වන්නේ ය.
මංගල සූත්‍රයේ අඩංගු තපස, බ්‍රහ්මචරියාව, චතුරාර්ය සත්‍ය අවබෝධය, නිවන් අවබෝධය
අෂ්ඨලෝක ධර්මයන්හි සිතෙන් කම්පා නොවීම, ශෝක රහිතබව, අවිද්‍යාවෙන් බැහැරවීම, ජාති,
ජරා, ව්‍යාධි මරණාදියෙන් මුළුමනින් ම නිදහස්වීම නම් ලෝකෝත්තර දියුණුව ම වන්නේ ම ය.
මෙලොව ධර්මානුකූල සතුටකින් හා භෞතිකමය වශයෙන් ද දියුණුවකින් යුතුව ගත කරන්නා මරණින්
මතු උපධිවේපක්කා ලෙසින් පෙන්වූ පින්කොට පිනෙහි විපාකයට මුහුණදීම නම් මරණින් මතු
සුගතිය ම උරුම කර ගැනීමයි.
පත්තකම්ම සූත්‍ර දේශනාවට අනුව ධනය ලැබීම, පරිවාර සම්පත්තිය, නීරෝගි බව, දීර්ඝායුෂ
ලැබීම, නුමුලාව කළුරිය කිරීම සහ මරණින් මතු දෙව් ලොවක ඉපදීම, සම්මුති පරමාර්ථ ධර්ම
අවබෝධ කොට ගෙන මෙලොව ජීවත්වීමේ විපාකයන් ය. එමෙන්ම නිර්වාණගාමි ප්‍රතිපදාවයි.
චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයයි. |