වෙසක් පණිවුඩ
උභයලෝකාර්ථ සාධනයෙහි ලා කටයුතු කිරීම බෞද්ධ චාරිත්‍රයයි
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල
මහ නාහිමි
සම්බුදු තෙමඟුල සිහිකරන උතුම් වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බොදුනුවෝ
අතිඋත්කර්ෂවත් ලෙස අනුස්මරණය කරති. දුර්ලභ වූ සම්බුද්ධොත්පත්තිය සකල සත්ත්වයාට සුව
ගෙන දෙන්නකි. එහෙයින් වෙසක් පුන් පොහෝ දිනයේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව
උභයලෝකාර්ථ සාධනයෙහිලා කටයුතු කිරීම සැදැහැති බෞද්ධ ජනතාවගේ චාරිත්‍රය යි.
ඉතිහාසයේ කවරදාකවත් නොවූ විරූ ආකාරයේ සමාජ, ආර්ථික සංකීර්ණතාවන්ට අද මෙරට ජනතාව
මුහුණ දී සිටී. එහෙත් උද්ගත වී ඇති අනපේක්ෂිත වාතාවරණයන් කළමනාකරණය කර ගනිමින්
කටයුතු කිරීමට අප හට උතුම් බුද්ධ චරිතයෙන් ලැබෙන සුසමාදර්ශයන් බොහෝ ය. බුද්ධචරිතය
හා බෝධිසත්ත්ව චරිතය තුළ විශද වන පරෝපකාරය, අවිහිංසාව ආදී උතුම් මානව ගුණාංගයන්ගෙන්
ජිවිතය පෝෂණය කර ගනිමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයෙන්
පවත්නා ස්වභාවය හේතුඵලවාදී දහම මත පිහිටා විවරණය කර ගැනීම එකී අර්බුද නිරාකරණය කර
ගැනීමෙහිලා මහත් පිටිවහලක් වන්නේ ය.
ගත වූ වර්ෂ කිහිපය තුළ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනයාට ආමිස
පූජාවන්හි සිත් සේ නිරත වීමට අවකාශයක් නොවීය. කොරෝනා වසංගත තත්වය පූර්ණ වශයෙන්
තවමත් ලෝකයෙන් තුරන් වී නැත. ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් සෞඛ්‍ය අංශයන් විසින්
ලබා දෙන නිර්දේශයන්ට අනුගත ව කටයුතු කිරීමට සැවොම වගබලා ගත යුතු ය. සද්ධා, විරිය,
සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රීය ධර්මයන්ගෙන් මෙන් ම බල ධර්මයන්ගෙන් සිය ජිවන
යාත්‍රාව පෝෂණය කර ගනිමින් තෙරුවණේ ගුණ සිහිකරමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා
දී ගුණධර්මයන් පුහුණු කරමින් අර්ථාන්විත ව මෙම වෙසක් පුන් පොහෝ දිනය සැමරීමට සැවොම
කටයුතු කළ යුතු බව සිහිපත් කරම්හ.
රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සමස්ත ලෝකවාසී මහජනයාගේ කායික මානසික පීඩාවන් දුරුවේවා’යි
ආශිංසනය කරම්හ.
යහපත් බෞද්ධයින් ලෙස ජීවත්වීම වෙසඟේ සැබෑ අරුතයි
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක
අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහ නාහිමි
මනුෂ්‍ය වර්ගයාගේ දෙලොව යහපත සඳහා නිර්මල සද්ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ
උතුම් තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය සකල ලෝකවාසී බෞද්ධයිනට අති සුවිශේෂ
දිනයකි.
ලෝකයේ සෑම රටකම ජනතාව අතර භීතියක් සහ අස්ථාවර භාවයක් ඇති කළ කොවිඩ් වසංගතය නිමා
වෙමින් පවතින මෙම වකවානුවේ පෙර වසරවලට වඩා වැඩි උද්යෝගයකින් මෙවර වෙසක් උත්සවය
සැමරීමට සැදැහැති බෞද්ධ ජනයා සූදානම් වෙමින් ඇති බව අප කාටත් පැහැදිලිව පෙනේ.
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අනුව ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වීමෙන්
යහපත් බෞද්ධයින් ලෙස ජීවත්වීම වෙසඟේ සැබෑ අරුත වේ.
පැවති වසංගත තත්ත්වය සකල ලෝකවාසී මානව සංහතියට ම සත්‍යය අවබෝධ කර දීමේ පාඩමක් වැනි
ය. මේ අවස්ථාවේ දී බුදුන් වහන්සේගේ දේශනාව අනුව අපගේ ඉදිරි ජීවන රටාවන් ප්‍රඥා
සහගතව සිතා බලා ඒ අනුව ජීවත්වීම අනාගත මිනිස වර්ගයා වෙනුවෙන් වර්තමානයේ ජීවත්වන අප
විසින් ඉටුකරනු ලබන විශාල යුතුකමක් වනු ඇත.
තමන් ජීවත්වන දේශය පමණක් නොව මුලු ලෝකය දෙසම කල්පනාකාරිව බැලිය යුතු කාලයක් වන මේ
වකවානුවේ පරිසරය සහ වෘක්ෂලතා, ස්වභාවික සම්පත් පිළිබඳ මානවයා මීට වඩා සැලකිල්ලක්
දැක්විය යුතු ය. බුදුරජාණන් වහන්සේ අපට පාරිශුද්ධ මනසකින් යහපත් සහ අයහපත්
ක්‍රියාවන් පිළිබඳ අවබෝධකොට දී ඇත. එමෙන් ම කුසල් අකුසල් අතර ඇති වෙනස ද කියා දී
ඇත. මෙම වෙසක් දින ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් තුළින් අපගේ මනස පිරිසුදු කොටගෙන
සැබෑ සාමය සහ සංතෘෂ්ඨිය උදෙසා කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය වන බව සිහිපත් කරම්හ.
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගයෙහි ගමන් කරමු
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක,
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය
දොඩම්පහල චන්දසිරි මහ නාහිමි
බුදුරජාණන් වහන්සේගේ දර්ශනය වූ කලි යථාර්ථය පෙන්වා දෙන්නකි. එය යථාර්ථය අවබෝධ කර
ගැනීමට මඟ පාදන්නකි. (යථාභූත ඤාණදස්සන) එම ඉගැන්වීමෙන් කියැවෙන්නේ සාර්වකාලීන වූ
පණිවුඩයකි. බුදුරජාණන් වහන්සේ විසින්ම එය අකාලික ධර්මයක් වශයෙන් හැඳීන්වූයේ එහෙයින්
ය.
මෙසේ වසර දෙදහස් පන්සිය හැටපහක් ගතවී දෙදහස් පන්සිය හැටහය වසර උදාවෙමින් තිබුණ ද
උන්වහන්සේගේ ධර්මය යථාර්ථවාදීව ම නවමු බවක් දක්වයි.
බුදුසමය ජනප්‍රිය වීමට බෙහෙවින් හේතුවූයේ ගෞතමයන් වහන්සේගේ අසමසම චරිත ශක්තිය හා
උන්වහන්සේගේ ශ්‍රාවකයන් තුළ වූ හැකියාවයි. භාග්‍යවතුන් වහන්සේ එවකට සිටි අන්‍ය
ශාස්තෘවරුන් මෙන් අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙන් ද ජන සමාජය යහමඟට හැරවූහ.
බුදුසමය අතිවිශාල මානව නිදහසකින් යුතු ආගමක් වීම ද විශේෂයෙන් සැලකිය යුතු ය.
බුදුදහමේ එන “ඒහිපස්සික” වැනි කියුම් වැදගත් ප්‍රකාශයන් ලෙස දක්වාලිය හැකි අතර,
අන්‍යාගම්වල එතරම් නිදහසක් ලබාදී නොමැත. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම සංක්‍ෂේපයක්
ලෙස ගතහොත් “පුද්ගලයාගේ මමත්වය නැතිවනතුරුත් ගැටුම විය හැකි ය” යන්න පෙන්වාදිය හැකි
ය.
මෙයින් වසර දෙදහස් හයසිය හතළිස් හතකට පෙර සිදුහත් නමින් උපත ලබා වසර දෙදහස් හයසිය
හතළිස් එකකට පූර්වයේ ගිහිගෙය අතහැර වසර හයක් දුෂ්කර ක්‍රියා කොට, වසර දෙදහස් හයසිය
දොළහකට පූර්වයෙන් බුද්ධ රාජ්‍යය ලබා, මින් වසර දෙදහස් පන්සිය හැට හයකට පූර්වයෙන්
පිරිනිවන්පා වදාළ අප ගෞතම බුදුපියාණන් වහන්සේ අපහට පෙන්වා වදාළ ධර්ම මාර්ගයෙහි ගමන්
කිරීමට අපි සැම මේ උතුම් වෙසක් පොහොය දින අදිටන් කර ගනිමු.
ආධ්‍යාත්මික ගුණ වඩමින් දෙලොව යහපත උදාකර ගනිමු
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා
නායක අග්ගමහා පණ්ඩිත
අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහ නාහිමි
වර්ෂ 2646 කට පෙර සිදු වූ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, වර්ෂ 2611 කට පෙර සිදු වූ
සම්බුද්ධත්වයට පත්වීමත්, වර්ෂ 2566 කට පෙර සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයත්
අනුස්මරණය කරමින් ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාව වෙසක් පොහොය දිනයෙහි ආගමික වතාවත්
ඉටුකරමින් පින්කම්වල නිරතවිම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයකි.
තෙරුවන් සරණගිය බොදුනුවන්ට තම ශාස්තෘවරයාණන් වහන්සේගේ තෙමඟුල තරම් උතුම් දිනයක්
තවත් නැත. එම නිසා ම මෙම තුන් මංගල්‍යය අරමුණු කරගෙන බොහෝ පිරිස් තම තම අවබෝධයේ
ප්‍රමාණය අනුව හා හැකියාවේ ප්‍රමාණය අනුව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරතවන ආකාරය
දක්නට ලැබේ. දන්සැල් පවැත්වීම, තොරණ නිර්මාණය කිරීම, පහන්කූඩු නිර්මාණය, බුද්ධ පූජා
හා බෝධි පූජා පැවැත්වීම ආදි ආමිෂ පූජාවල නිරතවන අතරවාරයේ කායික වාචික සංවරය ඇති කරන
සිල් සමාදන් වීම. සිත සංවර කරන භාවනාවේ යෙදීම ආදි ප්‍රතිපත්ති පූජාවල නිරතවීම ශ්‍රී
ලාංකික බෞද්ධ අප දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන සත් චාරිත්‍රයන් ය.
ආර්ථිකමය වශයෙන් රටේ පවත්නා තත්වයන් සැලකිල්ලට ගනිමින් ආමිෂ පූජාවන්ට වඩා
බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී කටයුතු කිරීම ඉතා
ම කාලෝචිත වේ. එම නිසා මෙවර වෙසක් පොහොය දිනයෙහි විහාරස්ථාන මුල් කරගනිමින් බාල,
තරුණ, මහලු සැම දෙනා එක්ව පූර්ණ ආගමික සතියක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. එසේම
මෙම උතුම් කාල සීමාව තුළ ආධ්‍යාත්මික ගුණ නුවණ වර්ධනය කර ගනිමින් මෙලොව පරලොව යහපත
උදාකර ගැනීමට ලෝකවාසී සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා'යි ප්‍රාර්ථනා
කරම්හ. |