[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මාලෝකයෙන් ප්‍රභාවිත බෞද්ධ සමාජය

ධර්මාලෝකයෙන් ප්‍රභාවිත බෞද්ධ සමාජය

සුත්‍රාගත දේශනා පරිශීලනයේ දී උගන්වන ප්‍රධාන කරුණ නම් බුද්ධ දේශනාව සමකාලීන සාම්ප්‍රදායික ගතානුගතික ඉගැන්වීම්වලට ප්‍රතිවිරුද්ධව කරුණු ඉදිරිපත් කළ දේශනාවක් බවයි.

මේ පරම්පරාගත සාම්ප්‍රදායික ඉගැන්වීම් තුළ නිදහස් චින්තකයකු බිහිකිරීමට නොහැකි බව වටහාගත් බුදුජාණන් වහන්සේ මනෝ වහල් භාවයෙන්, පරගැති භාවයෙන් මිදීමටත්, නිදහස් මනසකින් ලෝකය දැකීමටත් අවශ්‍ය මඟ පෙන්වීම පළමුකොට සිදුකර ඇත.

පුද්ගල සහ සමාජගත විප්ලවයක් ඇති කිරීමේ පළමු පියවර මානසික පරගැති බවින් මුදා ගැනීම යි. කාලාම සූත්‍රය පුද්ගලයකුගේ නිදහස් චින්තනයට බාධා කරන අවයව ගණනාවක් දක්වා ඇත.

යමක් අසා ඇති ආකාරය (වාර්තාව) පරම්පරාවෙන් පිළිගෙන ඇති ආකාරය, තර්කයට අනුකූල බව, න්‍යායට ඇති අනුකූල බව, තම දෘෂ්ටියට ඇති එකඟකම, දක්ෂයකුගේ මතයක් වීම, ශ්‍රමණ ගරුත්වය මත යම් ඉගැන්වීමක් හෝ මතයක් හෝ ප්‍රකාශනයක් හෝ පිළිගැනීම, විශ්වාස කිරීම මනසින් සිදුවන පරගැති භාවයකි.

මේවා නිදහස් චින්තනයට ඉඩකඩ නොසලස්වයි. මෙය අනුකරණයට පුද්ගල මනස සකසනු ලබයි. මේ රාමුවෙන් මනස නිදහස් කර ගැනීම ලෝකය අලුත් ලෙසට දැකීමට පොළඹව යි.

මේ දේශනාව බුද්ධිමය නිදහසට ද්වාරය විවෘත කරයි. විචාරශීලී බුද්ධිය විමර්ශනයටත්, බුද්ධිමය නිගමනයටත් චින්තනය ගෙනයනු ලබයි. මීට ප්‍රතිවිරුද්ධ ගතානුගතික චින්තනය නැතිනම්, කාලාම සූත්‍රයේ සඳහන් අවයවයන්ට අවනතවීම කරණකොට ගෙන එයම සත්‍ය ලෙසට (ඉදමෙව සච්චං) අනිත් සියලු දේ හිස් අසත්‍ය (මොඝමඤ්ඤං)ලෙසට ග්‍රහණය කරනු ලබයි. එසේ වුවහොත් පුද්ගල හෝ සමාජ විප්ලවයක් සිදු නොවේ.

පවතින ආකාරයෙන් සියල්ල පවතිනු ඇත. මහාපදෙස දේසනා සූත්‍රයෙන් සතර මහා පදෙසයක් දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ විමර්ශනයෙන් ම යමක සත්‍යානුලෝමිබව, සත්‍යානුරූපී බව තහවුරු කර ගත යුතු බව පෙන්වා දී ඇත.

ස්වීය වශයෙන් හෝ සමාජමය වශයෙන් යම්කිසි වෙනසක් සිදුවීම සඳහා නිදහස් චින්තනය සහ නිදහස් චින්තන හැකියාව කෙබඳු බලපෑමක් සිදු කරන්නේ ද යන්න මේ සූත්‍ර දේශනා තුළින් පැහැදිලි කරයි.

බුදු සමය කිසිවිටෙකත් භක්තිය ගැන සාකච්ඡා කර නොමැත. ඒ වෙනුවට සාකච්ඡා කර ඇත්තේ සද්ධා යන පදය යි. සද්ධා යන්නට අර්ථකථනය කොට ඇත්තේ අවෙච්චප්පසාද කියා යි. එය කරුණු දැක, (ජානං, පස්සං) ඒ තුළින් ඇති කර ගන්නා වූ පැහැදීම යි. එහි අවබෝධය ඇත.

ස්වයං විනිශ්චයෙන් ලබා ගත් දැනීමක් ඒ තුළ ගැබ්ව ඇත. එහෙත් ශ්‍රද්ධාව ඥාන විශේෂයක් ලෙසට ග්‍රහණය නොකළ යුතු යි. එය ඥානය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නකි. තථාගත බෝධිය පිළිගැනීම ශ්‍රද්ධාව ලෙසට පධානියංග සූත්‍රයේ සඳහන් වී ඇත.

බෞද්ධ ඉගැන්වීම් තුළ චින්තන නිදහස වර්ණවත් කළ ද තමාට අභිමත ඕනෑම දෙයක් හිතකර යැයි සැලකීමට ඉඩකඩක් දී නොමැත.

සාවද්‍ය නිරවද්‍යතාව, හෙය (හේතු) උපාදෙය (පිළිගත යුතු) බව කෙසේද යන්න විමර්ශනය කිරීමට සිදුවේ. එය තමාට සහ සමාජයට බලපාන ආකාරය බැලීමට සිදුවේ. එය ධර්මයට එකඟ ද යන්න බැලීමට සිදුවේ.

බුද්ධිමතුන්ගේ ගර්හාවට හෝ ප්‍රශංසාවට භාජනය වන්නක් ද යන්න බැලීම සිදුවේ. මේ නිසා විවිධංශගත නියමයන් නිසා අත්තනෝමතිකත්වයට අවස්ථාවක් බුදුසමය විවෘත කර නොමැත.

බෞද්ධ චින්තනය පුද්ගල සංවර්ධනය කෙරෙහි පමණක් නොව සමාජ සංවර්ධනය කෙරෙහි ද බලපෑම් ඇති කළ දර්ශනයකි. බුදුසමය මිනිස් සංහතිය ම ඒකත්වයෙන් සලකා ඇත.

බ්‍රාහ්මණ ඉගැන්වීම්වලට අනුව බුද්ධ කාලීන සමාජ ව්‍යුහය වර්ණ වශයෙන් බෙදා වෙන් කළ අතර, මානව අයිතිවාසිකම් අහිමි කරමින් දුර්වර්ණ වූ කුලහීනයන්ට දැඩි පීඩනයක් ලබා දී ඇත. අන්‍යයන්ගේ දාස භාවයට ඔවුන් පත් කරන ලද්දේ දේව නිර්මාණයක් ලෙසට ය. බුදුන් වහන්සේ මේ මිථ්‍යා විශ්වාසයට සෘජුව පහරදෙන ලදී.

අස්සලායන, වාසෙට්ඨ, වසල වැනි සූත්‍ර තුළින් මිනිස් සංහතියේ නානාත්වය තර්ක ගණනාවක් ඔස්සේ නිෂේධනය කර ඇත. සත්ව ජීවිත හා වෘක්ෂලතා තුළ දක්නට ලැබෙන වෙනස්කම් මනුෂ්‍ය වර්ගයා තුළ නොමැති බවත් මිනිසුන්ගේ උත්පත්ති අඟ පසඟ ක්‍රියා සමාන බව දක්වමින් මිනිස් සංහතියේ එකත්වය ඉස්මතු කර ඇත.

මෙලෙසින් ජීව විද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් ද මිනිස් ප්‍රජාව අතර වෙනස් කමක් දැකිය නො හැකි බව පෙන්වා දී ඇත.

ඓතිහාසික සාධක ඉදිරිපත් කරමින් කුලවාදය දේව නිර්මාණයක් නොව වැඩවසම් ක්‍රමය තුළ ඒ ඒ පුද්ගලයින් තෝරා ගත් කර්මාන්ත කරන කොටගෙන නෛසර්ගික ප්‍රතිඵලයක් ලෙසට ඇති වුවක් බව අග්ගඤ්ඤ, චක්කවත්ති, සීහනාද සූත්‍ර දේශනා ඇසුරු කරමින් සකරණව පෙන්වා දී ඇත.

සමාජ විද්‍යාත්මකව තවදුරටත් මනුෂ්‍ය වර්ගයාගේ ඒකත්වය තහවුරු කරමින් බ්‍රහ්ම මැවීම ව්‍යවහාර මාත්‍රයක් පමණක් බවත් මනුෂ්‍ය වර්ගයා සම බවත් මධුර සූත්‍රයෙන් පෙන්වා දී ඇත.

මේ ඉගැන්වීම් නිසා සමාජයේ ජිවත් වන හැම කෙනෙක් ම සමතාවයෙන් ඉපදී, සමාන අයිතිවාසිකම් භුක්ති විඳින එක මිනිස් සමාජයක් බව තහවුරු කර ඇත.

මේ නිසා මිනිස් සංහතිය තුළ ඇත්තේ සමාන ඉල්ලුම් සහ අවශ්‍යතා සමූහයක් පමණක් බව බුදුසමය පෙන්වයි. සාමාජික, ආර්ථික, දේශපාලනික වශයෙන් මේ අවශ්‍යතා කොටස් කළ හැකි ය.

මිනිස් සංහතියේ ඒකත්වය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් තත්කාලීන සහ සමකාලීන සියලු සමාජ ක්ෂේත්‍රයන් තුළ විප්ලවයක් ඇති කරන බව සඳහන් කළ හැකි ය.

සමාජ ව්‍යුහගත කුඩාම ඒකකය වන කුලගෙයි පටන් සමස්ත සමාජයට ලැබිය යුතුව ඇති නිරවද්‍ය දායකත්වය බෞද්ධ චින්තනය තුළ විස්තර කර ඇත.

බුදුරජාණන් වහන්සේගේ සමාජ විෂයෙහි මුඛ්‍ය අරමුණ ගැටුම් විරහිත සාමකාමී පවුල් ඒකකයක් නිර්මාණය කිරීම බව පෙනේ.

බ්‍රාහ්මණ, සමාජය මෙන් ස්ත්‍රිත්වය දෙවන කොට සැලකීමක් බෞද්ධ ඉගැන්වීම් තුළ සංග්‍රහ වී නොමැත. ධීතු සුත්‍රයෙන් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ ස්ත්‍රීහු ද ශ්‍රේෂ්ඨ බවයි.

සෝමා සූත්‍රයෙහි මාරයාට සෝමා රහත් තෙරණිය ප්‍රකාශ කළේ ගැහැනිය, පිරිමියා කියන කතාව අහංකාර මෝඩයින්ගේ කියමනක් පමණක් බවත්, බුද්ධියත්, ආත්ම දමනයත්, යථාර්ථ දර්ශනයත් තිබේ නම් ස්ත්‍රිත්වයේහි ඇති වෙනස කුමක් ද? යන්න යි.

ඔවුනොවුන් වෙනුවෙන් වගකීම් යුතුකම් ඉටුවෙන බෞද්ධ සමාජයක විස්තරය ඇතුළත් මෙම ලිපියේ ඉතිරි කොටස වෙසක් අව අටවක (22) පෝදා පත්‍රයේ පළවේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]