මැදින් අව අටවක 2022-03-25
කුසලයෙහි පමා නොවෙමු
පාපයෙහි විපාකය බරපතළ ය. එය දැන හෝ නොදැන හෝ පව්කම් කරන්නාට ඉන් ගැලවීමක් නම් නැත.
ඔහු පසු පස දුක් විපාක ලුහු බඳින්නේ ගැල බැඳි ගොනුට දුක් දෙමින් පසුපස ඇදෙන කරත්ත
රෝදය මෙනි.
අපි හැම දුක පිළිකෙව් කරන්නෝ වෙමු. එසේනම් කළයුතු දුකට වැටෙන දෑ නොකිරීමට වග බලා
ගැනීම ය. එහෙත් ඒ මං අවුරා ගන්නට උත්සාහවත් වන්නෝ ඉතා දුලබ ය. මිහිරි සේ හඟිමින්
පවෙහිම ඇලෙන්නෝ සුලබ ය.
තමන් කළ කම්වලට විපාක විඳින්නට වූ කල ඔවුහු ප්‍රමාදි ය. එහෙයින් ගෙවෙන හැම මොහොතක ම
අප අප්‍රමාදී විය යුතු ය. පවින් වැළකෙන්නට, පිනෙහි අප්‍රමාදී වන්නට මේ ජීවිතය තුළ ම
අප පොළඹවන පාඩම් බොහෝ ය. සමාජාවබෝධය, ජීවිතාවබෝධය ඇත්තාට ඒ දුටු පමණින් පවින් වැළකී
ජීවිතය නිවැරැදි කර ගත හැකි ය.
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ලෙස ඇතැම් සත්ත්වයෝ සම්මා දිට්ඨියෙන් යුතුව මෙලොව
ජීවත් වී කර්මඵල විශ්වාස කරමින් සුචරිතයෙහි හැසිරෙති. ඔවුන් මරණින් මතු සුගති සැප
ඇති දෙව්ලොව හෝ මිනිස් ලොව උපදිති.
ඇතැම් අය මිථ්‍යා දෘෂ්ඨික ය. කර්මපල විශ්වාස නොකරති. එහෙයින් දුෂ්චරිත කොට
දුගතියෙහි උපදිති. එනම් පේ‍්‍රත ලොව, තිරිසන්ලොව හෝ නිරයේ උපදිති. නිරයේ ඉපදුණේ නම්
යමපල්ලෝ ඔහුට දඬුවම් නියම කරනු පිණිස යමරජු වෙත ගෙන යති. යම රජු ඔහුගෙන් දේවදූතයන්
තිදෙනෙක් ගැන විමසන්නේ ය.
පෙරකී ලෙස පවින් බැහැර වන්නට සමාජය තුළින් ම අප අත්දකින නිදර්ශන තුනකි මේ දේව
දූතයන් තිදෙනා. එහෙත් අනුවණයා ඒ දේව දූතයන් හඳුනා නොගන්නේ ය.
පළමු දේවදූතයා නම් ජරාවට යාමය. එනම් දිරීම ය. බිළිඳු දරුවා මොහොතින් මොහොත මෝරා
යමින් , ජරාවට, පත්වෙමින් ක්‍රමයෙන් මහල්ලෙක් බවට පත්වෙයි. ජරාවට යයි. යම රජු
අසන්නේ ඔබ මනුලොව සිටියදී කෙස් පැසුණ, සම රැළි ගැන්වුණ, අතපය වෙවුලන, සැරයටියෙන් යන
ස්ත්‍රී පුරුෂයන් දැක නොතිබේද? යනුවෙනි. දුටුවේ යැයි පිළිතුරු ලැබුණු කල නැවත
විමසන්නේ “මමත් කෙදිනක හෝ ජරාවට යන්නෙමි. එහෙයින් පවින් වැළකී යහපත් ජීවිතයක් ගත
කළේ නම් හොඳ යැයි නොසිතුණේ ද?යනුවෙනි.
නිරයගාමී වූ තැනැත්තා පවසන්නේ ඒ ගැන සිහි එලවා ගන්නට තමන් ප්‍රමාද වූ බව ය. යම රජු
පවසන්නේ ඒ ප්‍රමාදයෙන් කළ පව්, අකුසල්වලට දඬුවම් ලබා දෙන බව ය. තම අම්මා, තාත්තා
හෝ, සහෝදර සහෝදරියන් හෝ යහළුවන් හෝ වැඩිහිටියන් හෝ ඒ පව්, අකුසල් නොකළ බවත් තමා
විසින් කළ පාප කර්ම හෙයින් තමන් ම විපාක විඳිය යුතු යැයි කියමින් නිරයට ඇද දමයි.
දෙවැනි දේව දූතයා දැඩි ගිලන්බව ය. එනම් රෝගී වූ පුද්ගලයින් ය. තෙවැනි දේවදූතයා මිය
ගිය පුද්ගලයෙකි. මෙම පුද්ගලයන් දකිමින් තමන් ද කෙදිනක හෝ මේ තත්ත්වයට පත්වේ යැයි
පිනෙහි කුසලයෙහි නොයෙදුණේ ඇයි දැයි පෙර ලෙසම විමසමින් යම රජු දඬුවම් පමුණුවයි. (
දේව දූතයන් සිව් දෙනකු ගැන ද ධර්මයෙහි කියැවේ.)
යම් පවක්, අකුසලයක් සිදු කරන්නේ නම්, එහි බියජනක බව දැන මේ මොහොතේ සිට හෝ නිවැරැදි
වන්නට මේ දේව දූතයන් තිදෙනා පමණක් වුව ප්‍රමාණවත් ය. ඔවුන් ගැන නුවණින් දැක පිනෙහි
කුසලයෙහි අප්‍රමාදී වෙමු. |