[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්නිපිටිය දෙව්රම් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ (ඡායාරූපය - නිශ්ශංක විජේරත්න)

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

වාද්දුව,දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ පින්කම් රැසක

වාද්දුව දෙල්දුව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ දී, සෙත් ශාන්තිය පතමින් ආශිර්වාදාත්මක මහා අබතෙල් පහන් ආලෝක පූජාවක් මාර්තු 06වෙනි ඉරිදා ප.ව.5.00ට ආරම්භ වන බව එහි විහාරාධිකාරී කිතලගම නන්දසාර හිමි පැවසූහ. මෙම පින්කම මෙහෙයවීම,කාව්‍ය විශාරද ශාස්ත්‍රපති , දීගල පියදස්සී හිමියන් වහන්සේ විසිනි. අබතෙල් යෙදූ පහනක්,පීරිසියක් සහ සුදු මල් ටිකක් ද රැගෙන මඳක් කල් වේලා ඇතිව විහාරස්ථානයට පැමිණෙන ලෙස ද මාර්තු 25 වෙනි දින පෙ.ව.10.30ට එම විහාරස්ථානයේ නේවාසිකව වැඩ වෙසෙන සාමණේර හිමිවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකිරීමට නියමිත නව සංඝාවාස ⁣තෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීමේ තවත් පින්කමක් පැවැත්වෙන බව ද කිතලගම නන්දසාර හිමි දන්වා සිටී.

ධර්ම දේශනාව:

දිනුම සහ පැරදුම නිවැරැදිව හඳුනාගනිමු

අක්කොධෙන ජිනේ කොධං - අසාධුං සාධුනා ජිනෙ, ජිනේ කදරියං දානෙන - සච්චෙන අලිකවාදිනං පරදින්නට කිසිවකු කැමති නැත. නිරන්තරයෙන් ජයග්‍රහණම බොහෝ අය ප්‍රාර්ථනා කරති. එය අහිමි වූ විට දුක් වේදනාවන්ට පත් වෙති. සමහරු සිය දිවි තොර කර ගනිති. මෙවැනි වේදනාවන්ට පත් නොවන්නට නම් හැම දෙනාම බලාපොරොත්තු වන ජයග්‍රහණ හිමිකර ගැනීමේ මාර්ග පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතු ය. එය සැනසීමට මඟයි. ක්‍රෝධය සිත අපිරිසුදු කරන බලගතු සිතිවිල්ලකි. තමන් ද විනාශ කොට අනුන්ගේ ද විනාශය ළඟා කරන අකුසල ධර්මයකි. ක්‍රෝධය දිනිය යුතු එහෙයිනි. සාමාන්‍යයෙන් තමන්ට ක්‍රෝධ කරන්නාට තමන් ද ක්‍රෝධ කිරීම සිරිත ය. එහෙත් ක්‍රෝධයෙන් යුක්ත කෙනකු දිනීමට නම් ක්‍රෝධ නොකර සිටිය යුතු ය. අසත්පුරුෂයකු දිනීමට උසස් ගුණයෙන් ක්‍රියා කළ යුතු ය. තද මසුරුකමින් යුත් කෙනකු දිනීමට පරිත්‍යාග කළ යුතු ය. බොරු කියන්නකු දිනීමට නම් ඇත්ත කතා කළ යුතු ය. කුජ්ඣනං කොධො යනුවෙන් ධර්මයෙහි දැක්වේ. එහි රළු පරළු ගතිය ක්‍රෝධ නමින් දැක්වේ. ඉන්ද්‍රියයන්ට අකමැති අරමුණක් ගැටුණු විට සිතෙහි ක්‍රෝධය හට ගනී. එතැන් සිට කය ද දුර්වර්ණ වේ. රළු වචන කීමට පෙළඹේ. පහර දීම පමණක් නොව ජීවිතහානිවලට ද පෙළඹේ. සමහරු අනුන්ගේ දිවි තොර කොට එයින් නො නැවතී තම තමන්ගේ ජීවිත ද තොර කර ගනිති. අවසානයේ විමසිලිමත්ව බලන විට එසේ කළ සෑම දෙනාම පරාජයට පත් වී ඇති බව පැහැදිලි වෙයි. කිළිටි වස්ත්‍රයක් අපිරිසුදු ජලයෙන් සේදීම අපහසු ය. ඒ සඳහා යොදාගත යුත්තේ පිරිසුදු ජලය යි.

 

ඉසුරුබර අනාගතයකට සවිමත් පදනම් තනන පොරණ හෙළ දරුවන්ගේ අමිල ඉගැන්වීම්

කාලය කා දැමීම, අරුත් සුන් කථාව ජාතියේ නස්පැත්තියට - පරිහානියට හේතුවෙයි. ද්වේශයෙන් රත්වී මෝහයෙන් මුළා වී එකිනෙකාට දොස් පරොස් නගන, කවට, මුසා බස් කියන කාලයේ නිස්කාරණ අල්ලාප සල්ලාපයට යොදන වේලාව තුළ තම වත්තපිටිය සරුපල යුතු තුරු ගොමු ඇති අලංකාර ගෙවත්තක් කර ගැනීමට කෙනකු වෙහෙසෙයි නම්, එදිනෙදා පරිභෝජන වියදම ඉන් පිරිමසා ගත හැකි වෙයි. කුඩා භූමි ප්‍රමාණයක වුව කරපිංචා ගසක්, රණවරා ගසක්, දෙහි, ඉඟුරු, කහ, මිරිස් පැළ කිහිපයක් කංකුං, මුගුණුවැන්න, ගොටුකොළ පලා වර්ග කිහිපයක්, හාතවාරිය, පොල්පලා, කෝමාරිකා, අක්කපාන ආදී ඖෂධ පැළ ටිකක් වවා ගැනීම අසීරු නොවෙයි. හිත ඇත්නම් පත කුඩාද? කීවා සේ වුවමනාව, ඕනෑකම උත්සාහය ඇති කල බඳුන්වල වුව ඉඩපහසුවේ හැටියට මෙම කටයුතු කළ හැකි ය. එදා බත් ගස ලෙස හැඳින් වූ කොස්ගස මිනිස් කුසගිනි පමණක් නොව මදුළු ගෙන ඉවත ලන කොස්කට්ට එදා අපේ ඇත්තෝ කරුණාබර හදවතින් ලෝකයාට පස්ගෝරස දන්දෙන කිරි එළදෙනට ලබා දුන්හ. කොස් කොළ, එළු, ගව සත්වයනට ආහාරයකි. එසේම මධුමේහය වැනි රෝගාබාධයනට ද කොස් කොළ යෝග්‍යය. ඉදුණු වැල වරකා පෝෂ්‍යදායක මිහිරි පලතුරකි. විවිධ මාදිලියෙන් සකසා රසවත් ව්‍යාංඤ්ජනයක් ලෙස ආහාරයට ගත හැකි කොස් ඉඩ ඇති පරිද්දෙන් ගෙවත්තක වවා ගැනීමට ඥානවන්ත හෙළයා ක්‍රියා කළහ. පෙරකී පරිදිම රම්පෙ, කරපිංචා, ඉඟුරු, කහ, මිරිස් ද, ගස්ලබු, කෙසෙල් ද ගෙවත්තක පිළිවෙළට වවා ගැනීමෙන් ගෙවත්තේ අලංකාරයට ද, සශ්‍රීක බවට ද ගතේ සිතේ නිරෝගී බවට මෙන්ම පවුලේ ආර්ථික නිරෝගිතාවට ද මහෝපකාරී වෙයි.

 

පැරැණි රජ කල ශ්‍රී පාද පද්මය රැකගත් හැටි

සුමන සමන් දෙව් රදුන්ගේ ආරාධනයෙන් බුදුපියාණන් සමනොළ කඳු සිරසෙහි ඉන්ද්‍රනීල මාණික්‍යය මත්තෙහි තමන් වහන්සේගේ වාම ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළ සේක. ඒ උතුම් අවස්ථාවේ ලෝකයම කම්පාවී මැණික් වර්ෂාවක් ඇද හැළුණ බව ජන වහරේ සඳහන් ව ඇත. සබරගමුව දිස්ත්‍රික්කය පුරා අද ද මැණික් දකින්නට ඇත්තේ එදා ඒ වට වැස්සේ මැණික් යැයි ද විශ්වාස කෙරේ. සමනල කඳු සිරසේ ශී‍්‍රපාද පද්මය පිහිටුවීමෙන් පසු ඒ කඳු පන්තියේ ඇති බෑණ සමනොළ, කළුදිය පර්වතය , ගවරවිල ආදි වූ සප්ත කඳු ද, මලින් බර වූ තුරු ලතාවන් ද සමනල කන්ද දෙසට නැමුණු බව සඳහන් වේ. සමනල කන්ද හාත්පස වනස්පතීන් ද මීදුමෙන් වැසී ගිය සියලු පරිවාර කඳු පන්තිය ද ශ්‍රී පාද පද්මයට නමස්කාර කරන්නා සේ සමන්ගිර දෙසට නැමී තිබීම අත්භූතජනක, ආශ්චර්යවත් දර්ශනයක් ලෙසින් සඳහන් වේ. ශ්‍රී පාද පද්මය පිහිටු වූ ඉඳුනිල් මාණික්‍යයේ ආලෝකය චමත්කාරජනක ලෙසින් සමනල කන්ද පුරා විහිදෙන්නට වූ බව ද කියැවේ. මේ ආලෝකය බුදුරැස් විහිදෙන ආකාරයෙන් නිතර විහිදෙන්නට වීම ශ්‍රී පාද පද්මයේ ආරක්ෂාවට බාධාවක් විය හැකි යැයි සිතූ එකල රට පාලනය කළ රජවරු වරින් වර කළුගල් යොදා ශ්‍රී පාද පද්මයේ ආරක්ෂාව උදෙසා ආවරණය කළ බව ද සඳහන් ය. මේ ආකාරයෙන් ශ්‍රීපාද පද්මය ආවරණය කළ ද බොහෝ කලක් යනතුරු සමනොළ කඳු මුදුනේ සිට ශ්‍රී පාද පද්මය නැරඹීමට කුඩා කපොල්ලක් හා සමාන වූ සිදුරක් තිබූ බව ද සඳහන් වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]