
සංස්කරණය -
දීපා පෙරේරා
සීලය
නිරතුරුවම ඔබ
විය යුතුය සිල්වත්
ඈතක නොවේ ම ය
මනුලොව දෙව්ලොව
සහ බඹලොව
මේ තන්හි යළි උපත කරා
හොබවයි ඔබව සීලය
නොගොස් නරකය කරා
විහිදුවා සිල් සුවඳ
ලැබ ගන්න සුවසෙත
පොරවා සිල් රෙද්ද
ලැබ ගන්න ජීවිතයක්
නොගොස් නරකය කරා
තල්අරඹේ එල්.එච්. හරිස්චන්ද්‍ර
සැමදා වඳිමු
බෝ සමිඳු
අනුබුදු මිහිඳු මාහිමි වැඩ මෙලක් දිව
නිර්මල බුදුසසුන පිහිටෙව් මෙලක් දිව
මහා බෝ සමිඳු වැඩමෙව් ඒ මෙලක් දිව
උඳුවප් පෝ දිනක බව සිහිකරනෙමුව
හිමි ඇරයුමෙන් සඝමිත් තෙරණියන් එදා
දඹදිව සිට මෙහි වැඩමව ලූයෙ එදා
මහා බෝ සමිඳු ශාඛාව ද රැගෙන එදා
උඳුවප් පෝය දිනයේ සිහිකරමු සදා
කර වට ජලය බැස දෙව්පියතිස් රජිඳා
යාපා පටුනෙදි ඒ මහා බෝ සමිඳා
පිළිගෙන අනුරපුරයට වැඩමුවේ එදා
රෙහෙණිය නැකතෙහි රෝපණ කළේ එදා
රහතුන් පිරිවරා ගෙන වැඩි බෝ සමිඳු
දහසක් රජ දරුවො පිදු අපෙ බෝ සමිඳු
දම් සෝ නිරිඳු පුදකර පිදු බෝ සමිඳු
වැඳ පින් රැස් කරමු සැමදා බෝ සමිඳු
වැල්ලම්පිටියේ චන්දිම නාහිමි
ජයතිලකාරාමය, මුල්ලේරියාව
බණ මඩුව
සුදෝ සුදු පැහැය පිරි
තෙමහල්ව ගොඩනැඟුව
බ්‍රහ්ම ස්වර හැඩහුරුව
බුද්ධ ස්වර විසිර ගිය
බණ මඩුව
කොඳු කුදුව ගිලන් වූ
දණ මඩුලු කැඩී ගිය
බණ අසන දුබල සිත
තරුණ ජව රසය නැති
බණ මඩුව
දිරා ගිය බණ කොටුවෙ
ලියකමත් හදාගෙන
විසිර ගිය සිත්වලට
සමාධිය හදාගෙන
එක් සිත්ව ගොඩනඟමු
බණ මඩුව.....
පූජ්‍ය බුත්තල සාරද හිමි
අපිවෙමු
මේ බිම
බොදු දරුවෝ

පන්සිල් රැකලා අටසිල් ගනිමින්
දහම් රකින අපි ලක් දරුවෝ
දම් පාසල් ගොස් දහම් ඉගෙනගෙන
මතු නිවනට පත්වෙන දරුවෝ
අපි වෙමු මේ බිම බොදු දරුවෝ
කයෙන් කරන අකුසල් දුරලා
වචනය නිසි ලෙස හසුරවලා
මනසින් පිරිසුදු සිතිවිලි ඇතිකර
දස කර්මෙන් වැළකෙන දරුවෝ
අපි වෙමු මේ බිම බොදු දරුවෝ
වැඩිහිටියන් දුටු දුටු තැන නමදින
ශිල්ප ලබා දුන් ගුරුවරු නමදින
හද බැතියෙන් සිය මව්පියො නමදින
අපට උතුම් අපෙ ලක් දරුවෝ
අපි වෙමු මේ බිම බොදු දරුවෝ
ගාල්ල තෙන්කල්ලාගොඩ
ශ්‍රී විමලඥාණ දහම් පාසලේ
ආචාර්ය ජී.පියදාස
මුළු ලොව සුවපත් වේවා !
හිමාලයේ තුරු සෙවණින්
සිල් සුවඳේ විකසිත වෙන
මුදු සිහිලැල් පවන් රොදක්
හමා ඇදේවා!........
ලෝ දහමින් අකම්පිතව
ගංගා නදි ගලා බසින
නිල් දිය කැට මෙත් දිය වී
පවස නිවේවා
ලෝ දිය නිවී සැනසේවා!
කඳුළු බිඳුව නොවේ බැතින්
බොදු උරුමය සිරස දරන
ඇරඹී සෙත ලක් අඹරින්
දස අත පැතිරේවා!
මුළු විශ්වය සුවපත් වේවා !
ජී.නිලූෂා දිල්රුක්ෂි
රත්නපුර
පන්සිල්
රට තුළ සැම වැඩ ඇරඹීමට පෙර
සැමදෙන පන්සිල් ගන්නවා නොපැකිළ
එනමුදු පන්සිල් රැක්මක් නම් නැත
නිති රැක්මයි යුතු ගන්නා සිල්පද
සිරිතක් විලසින් වදනින් මුමුණා
ගත්ත සැණින් සිල් කඩනවා මිනිසා
එලෙසින් පන්සිල් ගත්තට සැමදා
පව් මිස නැත පින් නිති දිවි උදෙසා
එබැවින් අපි නිසි ලෙස පන්සිල් ගමු
එලෙසම පන්සිල් දිවි සුරකිමු
බුදු සමිඳුන් පෙන්වූ දම් මග යමු
මිණිකැට මෙන් අපෙ දිවි බබළවා ගමු
මාලබේ කේ.ඩබ්ලිව්. සිරිසේන
කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු
බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්යක්ෂ කිරම
විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම
නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

|