මඟුල් සුතුරේ ආලෝකය:
ජීවිතය බබළවන සර්වකාලීන වටිනාකම් ...
උදම්මිට – ජාඇල
උත්තමාරාම පුරාණ විහාරයේ
මොරටුවේ ආනන්ද හිමි
යහපත් සමාජ සංස්ථාවකට මංගල සූත්‍රයේ එන පුද්ගලයාගේ බහුශ්‍රැත බව, දැන ඉගෙනගත්කම,
නිවැරැදි හික්මීම, ශිල්ප දැනුම යන කරුණු කෙතරම් වැදගත් වේ ද? බුදුරජාණන් වහන්සේ
ජීවමාන ව වැඩ සිටි සමයට ද, අද්‍යතන සමාජයට ද, හෙට උපදින දරුවාගෙන් සුසැදෙන සමාජ
සංස්ථාවට ද, මෙම සංකල්ප එකලෙස ම වැදගත් වෙයි. බුදුදහම ජීවිතයක් බබළවන සර්වකාලීන
වටිනාකම් සමුදායක් ගිහි අපට උගන්වයි. එම මහෞෂධ පානය කොට ධර්මය දිවියට අනුගත කරගත්
උදවිය වාසය කරන භූමිය අසිරිමත් වූ එකකි. එයම ලොව ආශ්චර්යයට ද හේතු වෙයි.
මිනිසාට දරුවා සම්පතකි, වස්තුවකි. (පුත්තා වත්ථු මනුස්සානං) හොඳින් කවා පොවා
ගුණයෙන් දහමින් අනූනව හදාගත් දරු සම්පත බෑවුම්, තැනිතලා හෙල් අතරින් රිංගා සමුදුරට
ගලා බසින මිණි කැටවලට වැඩියෙන් වටී. එසේ හොඳින් හැදුණු දරුවෝ වැදූ අම්මාටත්, හැදූ
තාත්තාටත් දිවි ඇතිතුරාවට සෙනෙහසින් සලකති.
දස මස කුස හොවා , ගත රුහිරු කිරි කොට, දයාවෙන් ආදරයෙන් නළවා සතපා කවා පොවා හැදූ
වැඩූ මව්පියන්ට, සෝ සුසුම් හෙළමින් වැඩිහිටි නිවාසයක හුදකලා වන්නට මංගල සූත්‍රය
උගත් දරුවෝ ඉඩ නොතබති.
ඔවුහු මවට පියාට උපස්ථාන කරති. (මාතා පිතු උපට්ඨානං)
හොඳට හැදුණු අය තම අඹුදරුවන්ට ද යුතුකම් ඉටුකරති. සංග්‍රහ කරති. (පුත්ත දාරස්ස
සංගහෝ)
ඔවුහු කරන කටයුතු නිවැරැදිව කරති. (අනාකුලාච කම්මන්තා)
නිවන වෙත පියමනින ගමනේ මුල් පියගැට පඩිය දානයයි. එය අවසන් ශිෂ්ටාවේ පදනමයි.
අත්තිවාරමයි. (දානංච)
ධර්මචාරි දිවි පෙවෙත, දස කුසල දම් වැඩීම ද, ස්වකීය නෑසියනට සංග්‍රහ සත්කාර කිරීම ද,
නිවැරැදි ජීවන ප්‍රතිපදාවකින් යුතු වීම ද, යන උතුම් මංගල කාරණාවන්ගෙන් නුවණැත්තා
ජීවිතය ආලෝකවත් කර ගනියි. සරසා ගනියි.
සිතන්නට සිත් ඇති , තමාගේ ද මුළු මහත් සමාජයේ ද යහපත කැමැති අය පස් පව් පිළිකෙව්
කොට දිවි හිමියෙන් පන්සිල් සුරකියි. පාපයේ නොඇලෙයි. (ආරති, විරති පාපා) කුසලයේ
අප්‍රමාදවෙයි. (අප්පමාදෝච ධම්මේසු) යමෙක් උපයන ධනය සුරා සූදුවට යෙදූ කල දිවි
සරිකිරීමට, යුතුකම් ඉටුකිරීමට නොහැකි වෙයි. අත මිට හිඟවෙයි. මද්‍ය පානය සිරුරේ
නිරෝගිකම හීන කරවයි. එවිට සියලු කටයුතු ඇණ හිටියි. ඉන් නුවණ මොට කරයි. තම දුවා
දරුවන්ගේ කටයුතු ද ඉන් අබල දුබලවෙයි. ගෙදර දොර වස්තුව විනාශ මුඛයටම ඇද වැටෙයි.
නුවණැති මිනිසා මත් වතුරෙන් දුරු වෙයි. සත්ව ලොවැ මිනිසාට පහළ කිසිදු සත්වයකු මත්
බී මත් වී සිටින අයුරු අපි කිසිදා දැක නැත්තෙමු. (මජ්ජපානාච සඤ්ඤමෝ) මත් වතුරින්
දුරුවීම උතුම් මඟුල් කරුණකි.
මාරයා කෙස් වැටියෙන් අල්ලාගෙන සිටින අවස්ථාවකට පත්වූවකු ලෙස නිරතුරු සිතා ධර්මයේ
අප්‍රමාදවීම මිනිසාගේ සුබ සිද්ධිය පිණිසම වෙයි. එබඳු තැනැත්තා යටහත් ඇවැතුම්
පැවැතුම්වලින් යුතු ය. ගරු කිරීම ද, ලද දෙයින් සතුටුවීම ද, කළගුණ දන්නා බව, සුදුසු
කාලයේ දී බණ ඇසීම ද යන කරුණු ද උසස් දිවිපෙවෙතක් සරසන මඟුල් ආයිත්තම් ය.
දහම් මඟ යන්නා සරල සොඳුරු දිවි පැවැත්මක් ඇතිකර ගනියි. පුහු ආටෝප සාටෝපයන්ගෙන්
දුරුවැ ලද දෙයින් සතුටුවෙයි. කළගුණ අමතක නොකරයි. ධම්මචාරි තැනැත්තේ සුදුසු කල බණ
අසයි. (කාලේන ධම්ම සවණං) ගිහි දිවිය ඔපවත් කර ගැනීමට ද, නොදත් ධර්ම කරුණු දැන කියා
ගැනීමට ද, දන්නා දැයෙ පිරිසුදු කර ගැනීමට, සැක සංකා දුරුකොට දැක්ම සෘජු කර ගැනීමට
ද, සිතෙහි පහන් බවට ද බුදු බණ ඇසීම මහෝපකාරී වෙයි.
මිනිස් සමාජය ප්‍රශ්නවලින් පිරුණු තැනකි. හිරු කිරණ මහ පොළොව සිපගත් තැන් පටන් හිරු
මහ සයුරේ ගිලී යන තෙක් ද යළි හිරු පායන තුරු ද අපට ඇත්තේ ප්‍රශ්න ය, ගැටලු ය,
බේරීමට නඩුහබ ය, රණ්ඩුසරු ය, කලබැගෑනි ය. පෙර ජනවහරෙන් පටන් පැවැතෙන ‘ඉවසන දනා රුපු
යුදයට ජය කොඩිය’ යන්න නිරතුරු සිත්හි දරා ගැනීම ද, ඉවසීම කීකරුකම ද ප්‍රශ්න ගැටලු
නිරාකරණයට මඟ ය.
ලාභය - අලාභය, නින්දා - ප්‍රශංසා, සැපය- දුකය, යස - අයසය මේ මිනිස් ලොව කවරකුට වුව
මුහුණ පෑමට වන ධර්මතා ය. රජ ගෙදරටත්, සිටු මැදුරටත් , දුගී පැලටත් අටලෝදහම පොදු ය.
ඉන් සිත කම්පා නො කර ගැනීම උතුම් මඟුල් කරුණකි. නින්දා, අවමන්, ගැරහුම්, අලාභ හමුවේ
අපට නිති 'පුට්ඨස්ස ලෝක ධම්මේහි' බණ පදය සිහි ගැන්වේ නම් එයම ලාභය යි.
මෙවන් අයුරින් කෙලෙස් ශෝක හැර, පරාජිත ලොවැ අපරාජිත ව (සබ්බත්ථ මපරාජිතා) නැඟී
මෙලොව මෙන් ම, පරලොව ද සුඛිත මුදිත කර ගැනීමට හේතුවන අටතිස් මංගල කාරණා තථාගත
බුදුපියාණන් වහන්සේ එදා ජේතවනාරාමය ඒකාලෝක කරන මංගල කරුණු කවරේදැයි ශක්‍ර
දේවේන්ද්‍රයාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් සැපත් දේවතාවට පැහැදිලි කර දුන් සේක.
දෙලොවට වැඩ වඩනු කැමැති කවරකුට වුව මෙම කරුණු අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයට ම
එක සේ වැදගත් වෙයි.
දෙලොව දිනනු රිස්සෝ මඟුල් සුතුර හදාරා ඒ අනුව දිවි පවත්වා ජීවිතය ඔපවත් කර ගැනීමට
වෙර වීරිය වඩත්වා. තෙරුවන් සරණයි. |