දෙව් මිනිස් සැප ලැබුණත්
විඳීමේ වෙනසක්:
ආයුෂ වර්ණ
සැප බල ලැබෙන හැටි
අස්ගිරි මහා විහාරයේ මහෝපාධ්‍යාය,
කාරක සංඝසභික
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි
බුදුරජාණන් වහන්සේගෙන් සුමනා කුමාරිකාව විමසා සිටිනවා ”
"ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, දායක හා අදායක දෙපළක් පැවිදි වීමෙන් හෝ ගිහි ව
සිටීමෙන් අරහත්වයට යම් අවස්ථාවක පත්වෙනවා. එහි දී මේ දෙදෙනා ලබන විමුක්ති සුවය අතර
වෙනසක් දකින්නට හැකියාව තිබෙනවා ද? ”
මේ කරුණට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ” නැහැ සුමනාවෙනි, අර්හත් බවෙහි කිසිදු
වෙනසක් නම් දකින්නට හැකියාවක් ඇත්තේ ම නැහැ. ඒ එකම විමුක්ති සුවය මයි.”
මේ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් ප්‍රකට කෙරුණේ ඉතා වැදගත් අදහසක්.
එනම් අරහත්වය යනු සසරේ ශූන්‍ය තත්වයක්. නැවත ඉපදීමක් නොවේ. ඉතින් නිවන අවේදයිතයි.
විඳීන සුවයක් නම් නොවෙයි. අපි පින්කම් කරන්නේ මේ තත්වය අපට උදා කර ගන්නටයි. ඉතින්
අච්චෙන්ති සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. උපදින මැරෙන, ජරාවට
එහෙම නැත්නම් දිරීමට, ලෙඩට දුකට මරණයට පත්වෙන සත්වයා විසින් නිතර පින්කම් කළ යුතු
වන්නේ ලෞකික වශයෙන් සැප සම්පත් විඳීමට නොවෙයි. ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො කියා
දේශනා කළේ ඒ නිස යි.
මෙහි දි ලෝකාමිසය කියලා පෙන්වා දෙන්නේ සසර බැඳ තබන ලෞකික කාම සම්පත් භුක්ති විඳීමේ
අරමුණ පෙරදැරි කර ගෙන පින්කම් කළොත් සසර යම් යම් තාවකාලික සැප සම්පත් භුක්ති
විඳීමින් සසර පවත්වා ගෙන යනවා විනා සසර කෙළවර වීමක් සිදු වන්නේ නැහැ. ඒ නිසා නිවන
අරමුණ කරගෙන අත්හැරීම පුරුදු කිරීමේ අරමුණෙන් පින්කම් කළ යුතු බවයි. පින්කම් කරන අය
විසින් එවැනි දිව්‍යලෝක හා මනුෂ්‍ය ලෝක වැනි සැප සම්පත් ප්‍රාර්ථනා නො කළත් නිවන
අරමුණු කර පින්කම් කිරීමේ දී ලෝකාමිසය ක්‍රමයෙන් දුරු වෙනවා වගේම සසර කෙටි වෙනවා. ඒ
වගේම තමා දානාදි පුණ්‍ය කර්මයන් සිදු කිරීමේ අතිරේක ලාභ වශයෙන් ඒ අයට දිව්‍ය ලෝක,
මනුෂ්‍ය ලෝක සැප සම්පත් ලැබෙනවා. එසේ ලැබෙන සැප පවා තවත් එවැනි දානාදි පින්කම් නොකළ
අයට වඩා මහේශාක්‍ය බවකින්, බලයකින් , ශක්තියකින් යුක්තව පින නිසා විපාක දෙනවා.
යම් ආකාරයකින් පුර්ණ චන්ද්‍රයා ප්‍රභාමත් ව නැඟ මුදුන් පත්වෙද්දී අහසේ ඇති අනෙකුත්
අප්‍රමාණ තරු සමුහයන් පරදවා බබළනවා වගේ, ශීලයෙන් ශ්‍රද්ධාවෙන් මෙන් ම ප්‍රඥාවෙන්
යුක්ත වී දන්පැන් දීම නිසා ලොව පවතින සියලු මිල කළ නො හැකි වස්තුවල හිමිකාරයන් බවට
පත්වෙනවා. ඒ වගේ ම මේඝ ගර්ජනා කරමින් විදුලි සැර විදිමින් පවත්නා මහා වර්ෂාවෙන් මහා
පෘථිවිය ජලයෙන් සපුරා තෙත් කරමින් ඇළවේලි පුරවන්නා සේ සියලු සැප සම්පත්වලින් ආඪ්‍යව
සෝවාන් ඵලයට ද පත් වී ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, ශක්තිමත් භාවයෙන් හෙවත්
ප්‍රභුත්වයෙන් බලවත් වී ප්‍රඥාව මෙහෙයවා සෝවාන් ආදි ඵලයන්ට පත් වී නිවන් සුව
සාක්ෂාත් කර ගන්නවා. මෙහි දී වෙනස වන්නේ අදායක හෙවත් දානාදි පින්කම්වල නොයෙදුණු
එහෙත් ශීලයෙන්, ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව සසර ගමන අවසන් කිරීමේ අරමුණෙන්
ක්‍රියා කරන අය වුවත් එම දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් හා පැවිදි බව පවා ලබා ගත්තේ
වුණත්, අවසන නිවන් මග පසක් කර ගත්තත් ඒ අවස්ථාව දක්වාම ජිවිතයේ නොයෙක් කටුක
අත්දැකීම් ලබමින් ආඪ්‍ය වූ සැපයෙන් තොරව හින වූ ආයුෂ, වර්ණ, සැප, බලයෙන් හෙවත්
මහේශාක්‍ය බවින් ඌණව කල් ගත කරනවා යන්නයි . පෙර සසර මේ ආකාරයෙන් දානාදි පින්කම්
නොකරමින් ක්‍රියා කර පසුව රහත් බවට පත් වුණත් පිරිනිවන් පාන අවස්ථාව දක්වා ම මෙවැනි
කටුක වූ විපාක ලබා ඇති බව ලෝසක මහරහතන් වහන්සේගේ ජීවන පුවත්වලින් ද පැහැදිලි වෙනවා. |