උදම්මිට අස්සජිතිස්ස නායක
මා හිමිපාණන් වහන්සේ
ව්‍යක්ත , විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂුවගේ
පියදසුන සඟ සමාජයට,ගමට, රටට, ලෝකයට පමණක් නොව සමස්ත සත්ව සංහතියට ම මහත් වූ
ආශිර්වාදයකි. අමිල ශාන්තියකි.
එබඳු අවිච්ඡින්න උදුල සඟ පරපුරක පවර සංඝ ශෝභන ගුණ යුතු, ළතෙත් හද මඬලින් , කුෂාග්‍ර
බුද්ධියෙන්, අපමණ ලෝ, සතුනට අපමණ වැඩවඩන, සඟ සසුන සුගෝපිත කළ මහ තෙරපාණන් වහන්සේ
නමකි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ වැඩබලන මහා නායක
අතිගෞරවාස්පද උදම්මිට අස්සජිතිස්ස මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේ එළැඹෙන
29 වැනිදා ස්වකීය ජීවන ගමන් මඟේ (81) අසූඑක් වැනි වියට පා තබති.
වර්ෂ 1940 දී උඳුවප් මස 29 වැනිදා ජා ඇල සුන්දර උදම්මිට ගම් පියසෙහි පින්වත්
විජයමුණි ලෝරන් සොයිසා පියාණන්ට දාව වෙද සුදුනෝනා උපාසිකා මාතාව ලොවට බිහිකළ
සුපින්වත් කුමරු විජයමුණි සුබදාස සොයිසා නම් විය. සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන්
යුතු පවුලේ දෙවැනියා ලෙසින් උපන්නේ ය.
පිරුණු එකොළොස් වර්ෂයේ දී මේ සුපින්වත් කුමරුවාණෝ 1951 පෙබරවාරි මස 21 වැනි දා
අම්බලන්ගොඩ කන්දේගොඩ ශී‍්‍ර නාගපුෂ්පාරාමාධිපති අමරපුර මහා නිකායේ අඹගහපිටිය
පාර්ශ්වයේ මහා නායක අරියවංසාලංකාර මහෝපාධ්‍යාය උදම්මිට ධම්මරක්ඛිත තිස්ස මහා
තෙරපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා උදම්මිට උත්තමාරාමාධිපති උදම්මිට ධම්මාලංකාර
තිස්ස නා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූහ.
ඒ උදම්මිට අස්සජිතිස්ස හිමි නාමයෙනි. මූලික බණ දහම් පොත් ගුරුදේවෝත්තම පරම පූජනීය
උදම්මිට ධම්මාලංකාර තිස්ස නා සමිඳුන්ගේ මඟ පෙන්වීමෙන් උගත් අප කථානායකයාණෝ පසුව පතළ
කිතුගොස් ඇති කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් ශබ්ද ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ
කළහ. උන්වහන්සේ 1961 ජුනි 20 වැනි දා අම්බලන්ගොඩ, බලපිටි මෝදර උදකුක්ඛේප සීමාමාලකයේ
දී උපසම්පදා භූමියට ඇතුළත් වූහ.
පිරිවෙන් අධ්‍යාපනය ලබන සමයේ දී ම ලේඛන ප්‍රතිභාවෙන් ද වැඩුණු, අප නාහිමිපාණෝ ජාතක
පොත් වහන්සේ තුළ එන කථා සරල, සුගම, බස්වහරින් කාටත් තේරුම් ගත හැකි අයුරින් තව ද
එක් සමයෙක’ නමින් බුදුසරණ පුවත්පතට ලිපි සම්පාදනය කළහ. ප්‍රබුද්ධ සමාජයක්, ප්‍රඥා
සම්පන්න ජාතියක් උදෙසා උන්වහන්සේ ස්වකීය පෑන මෙහෙයවූහ. ලේඛන කෞශල්‍යය යෙදවූහ.
එයිනුදු නොනැවතී බුදුසරණ පුවත්පතට ජාතක කථා ඇසුරින් සැකසූ ලිපි සමුච්ඡය ‘පුදුම
පියුම නමින් පුස්තකයක් ලෙස එළිදක්වා නොමිලයේ ම සැදැහැතියනට බෙදා දුන්හ.
යමෙක් ගිලනුන්ට උවටැන් කරයි ද හෙතෙම තමන් වහන්සේට උපස්ථාන කළා වෙයි යන උදාර බුදුවදන
සිත්හි දරා බුදු අවවාදය සජීවි කළ උන්වහන්සේ කොළඹ මහ රෝහලේ ගිලානෝපස්ථාන වැඩසටහන්
ක්‍රියාත්මක කළහ.
අන්‍ය ජාතික, අන්‍ය ලබ්ධික කොයිකාහට වුව හොඳ හිත පෑම, මිතුරුකම දැක්වීම නා සමිඳු
චරිතයේ ඉස්මතුව පෙනෙන උදාර ගුණාංගයකි. එනිසාම සමාජයේ විවිධ තරාතිරම්වල කොයිකවුරුත්
නා සමිඳු වෙත දක්වනුයේ අප්‍රමාණ ගෞරවයකි. ලෙන්ගතුකමකි. ගමේ සියලු දෙනා හට පළමු නෑයා
ද, මුල් අනුශාසකවරයා ද උන්වහන්සේ ය.
වයෝවෘද්ධ බව නිසාම දැන් දැන් උන්වහන්සේ ධර්ම දේශනා සඳහා නොවැඩිය ද එදා කොළඹ, මරදාන
පෙදෙස්වල දුගී පැලෙත්, සිටුමැදුරේත් උන්වහන්සේට ම ආවේණික වු ගැඹුරු හඬින් පදරුත්
සහිතවැ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය සැදැහැති බොදු ජනයා හට කරුණාධ්‍යාශයෙන් ම වදාළහ.
කරුණාව, පරහිතකාමී බව, පියවදන, ඉවසීම සේ ම නිර්භීත බවින් ද උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ
අපදානය පොහොසත් යැ.
සරල චාම් අපිස් බව නා සමිඳු දිවියෙන් මොනවට දිස්වෙයි.
සරල දිවියෙනුත්, ඉහළ සිතුමෙනුත් තම දිවි සරසා අනුසෝතගාමී ලොවැ පටිසෝතගාමීවැ අපරාජිත
ව වඩින අපේ නා සමිඳුන්ට තෙරුවන් බෙලෙන් නිදුක්වැ, නීරෝගීවැ ශතවර්ෂාධික කාලයක්
යෙහෙන් වැජඹීමට අවැසි ශක්තියත්, බලයත් නොමඳ ව ලැබේවායි පාදාභිවන්දනයෙන් යුතුවැ
ප්‍රාර්ථනා කරමු.
උදම්මිට – ජාඇල
උත්තමාරාම පුරාණ විහාරයේ
මොරටුවේ ආනන්ද හිමි |