නොදුටු සිත්තරා
මහියංගණයට
බුදු සමිඳු වැඩි අයුරු
නෙක පාට
ගළපා
සිතුවම් කළ අයුරු
ඉරි ඇඳ
සායම් කොට
නෙක පාට
ගළපා
සිතුවම් කළ අපූරුව
බුදුහිමි කරුණා නෙත් සඟල
විහාරයේ බිතු සිතුවම්
අපූරුවට ඇන්දා මනරම්
නෙක පාට සරසා
හිමි පසඟ පිහිටුවා වඳීන දනන්
අපූරුවට සිතුවම් කළ
සිත්තරා කෝ දැන්
නලාගිරි ඇතු එන පෙර මඟට
අපූරුවට ඇඳී ඒ රුව සොඳට
බුදුහිමිගෙ කරුණාව
සිත් සතන් පහන් කරනවා
සිතුවමේ කොතැන හෝ නම් නො ලිය වූ සිත්තරා
තුඩ අගට පින්සලේ දුක කීව සිත්තරා
මල් අසුන මැද සුදු පියුමකි ය සිත්තරා
දෙව් ලොව ඉදන් හිනැහෙනවා ද සිත්තරා
ඇල්.ජේ.ආනන්දශීලි පෙරේරා
බොනවිස්ටා
උණවටුන
****
නියත දහම
පිනැති ව
මිනිසෙක් ව
ඉපිද මනු ලොව...
පිළිපැද නිසි ලෙසින
ඔවදන් රැස මිණි මුතු
වඩා ගුණ නැණ
ඔපකර උතුම් සිත..
මනා සේ දිදුලන
දිවියක මඟ
දැනී ගමනක විඩාබර
නතර ව නිමේෂයක
දැවෙන “සසර මඟ“
ලොව්තුරු බුදු සමිඳ
දෙසූ දම
මොනවට පසක් කර
හිතැතියන් සැම
ශෝක බරිත ව
හඬා වැළපෙන
සුසුම් හෙළනා විටක
නිහඬ සයනෙක
වැතිර හිඳීනට
තනිව දිනයක
නියත දහමකි උරුම
ලොව සියලු සතහට..
නීතිඥ කීර්ති කපුවත්ත
රිදීගම
****
මෙවර ජයග්‍රාහී නිර්මාණය
පහන් සිතක කවි
ආශාව සපළ වී මානසික සුවයක් ලැබුණා ය කියනවා
අරමුණ ද ඉටුවී සිත සතුටු වූ බවත් පවසමින් සැනසෙනවා
ගතට හොඳ පහසක් ලැබෙන බව උදම් වී දොඩනවා
අවිඳු අඳුරෙන් වැසී තුන් දොරම විවර වී සෝ තැවුල් විඳීනවා
පියවි සිහියට පැමිණ කළ වැරැදි මනසින් ම දකිනවා
සිත සසලවී මනස හා ගැටෙමින් විමුක්තිය සොයනවා
මහ වෙහෙර සඟ රුවන සොය සොයා හතිලමින් දුවනවා
දෙපා මුල වැතිරිලා පිහිටක් ම සොයමින් යදිනවා
බුදුසව්වො මෙත් සිතින් කරුණාව බෙදනවා
රාග ගිනි නිවා දහම් ඔසු ගල්වමින් බුදුබණ ම දෙසනවා
කළ වැරැදි තුන්දොරින් පහව ගොස් විමුක්තිය ලබනවා
කසාවත් දරාගෙන නිවන් මඟ වෙත යන්න සිතනවා
ගොඩරත්මලේ විපස්සී හිමි,
අලවල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය
තුංතොට
****
වඩිනු මැනවි බුදු පියාණෙනි
අකනිට බඹලොව තෙක් විහිදී යන
බුදු හිමිගේ දම්පද රාවේ...
කරුණා ගංගාවෙන් ලෝ සතුනට
සෙත සෑදූ ගෝතම සමිඳේ
හිමි බුදු වුණ බව දැනගත් මිහිකත
ගිගුරුම් දුන්නා හඬ නඟලා..
දස බිම්බර මරු සෙනඟ පරද්දා
දම් සක් දෙසුමට හිමි වැඩියා
මිහිපල් මෑණිය රැඳී පවත්නේ
සම්බුදු ආලෝකය ම නිසා...
නැවතත් සිරි ලක හඬ පතුරන්නට
විඩිනු මැනවි බුදු පියාණනේ
ධර්මාචාර්ය - එස්. ඒ. ඉනෝකා ජිවනී
“දැහැමි සෞභාග්‍යා“
ඩී - 04 ඇළ, මුවැසිහේන
බරවකුඹුක
****
බුදු වදන්
ඇසෙන තුරු
මිනිසත්බවක් ලැබුවෙමි
ඒ කෙලෙස ද නොදනී
මතු අත් බවක් පැතුවොත්
තව සසර දිගු වේ
තවමත් නොවැටහෙයි
යන මේ ගමන දුක් වෙවී
අන්ධකාරයේ වෙළී
සසර කතරක අතරමං වී
කප් ලක්ෂයක් පුරාවට මඟ බලනුයේ
තෙවලා බුදු වදන්
ඇසෙන තුරුම ය
ජේ. අමිල රුවන් ජයතිස්ස
කළුවිලපොතාන
අඹන්පොල
****
නොවැඩූ අනිත්‍යය
නොදැමුණු සිතකට
නුපුරුදු විලසට
ළං වෙද කෙලෙසක
සතිමත් භාවය..
ඇසුවා ද බුදුබණ
අයෝනිසෝ මනසින්
කෙදිනක වඩන්න ද
අරි අටැඟි මඟ...
ඇසූ බුදු බණ මෙ කනින්
යවමින් එළියට
රවටයි තම සිත
මරුවා ආ කල...
පමා නොකළ හැක
යා යුතු ම ය අපි
එනමුදු ගැහෙනා මනසින්
සිහි කළ හැකි වෙද
නොවැඩූ අනිත්‍ය..?
නාලිනී චන්ද්‍රලතා
කීනවල
****
අම්මා
සඳ වසා නැඟි වළා – සඳ එළිය නැති කළා
ගෙය වසා නැඟුණු සඳ – මාරයා නැති කළා
මගේ මව් නොවෙද සඳ – ගෙය වසා පැතිර ගිය
ඇගෙ එළිය නැති කළේ – ඇය ගෙනා මරු නොවෙද
විටෙක ඇය බිහිසුණු ය – විටෙක ඇය සිසිලස ය
විටෙක ඇය නිර්භය ය – විටෙක ඇය ලෙන්ගතු ය
දරුවන්ගෙ දියුණුවට – ඇය කළා වූ මෙහෙය
කෙසේ ඉටු කළා දැයි – සිතා ගන්නට නොහැක
හොඳ නරක දෙක ඇයට - හරියට ම වැටහේ ය
වැරැදි මඟ යනු දැක්ම – ඇගෙ සිතට වද දේ ය
ඇගෙ සෙවණ විසල් වූ නුග රුකක සිසිල දෙයි
අප ඇගෙන් සෙවණ වූ කුඩා නුග වෘක්ෂ වෙයි
චන්ද්‍රා සිරිසීලි වික්‍රමාරච්චි
ගම්පහ නැදුන්ගමුවේ
****
සිසිලස
සසර දනව්වේ යන දුර ගමනේ
කතරක තනිවූ මේ ගමනේ
ගමන් විඩාවේ වෙහෙස නිවෙන්නේ
සදාහරිත බෝ සමිඳුන් සෙවනේ
කිතුල්ගල
රත්නසේකර රූපසිංහ
සංස්කරණය - දීපා පෙරේරා
****
කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු
බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම
විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම
නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.
|