වප් අමාවක පෝදා 2021-11-04
දෙලොව යහපත පිණිස
මේ පින්බර චීවර මාසය යි. වෙහෙර බිමක් පාසා කඨින පුණ්‍ය මහෝත්සව සිදු කරමින් ගිහි
ජනතාව පින් පුරවා ගන්නා කාලය යි. නොබිඳිය හැකි, නොකැඩිය හැකි, විනාශ කළ නොහැකි
බලවත්, සවිමත් අනුසස් ලැබෙනවා යනු ‘කඨින’ යන්නෙහි අරුත ය.
පඨවිරිව න ජාති කම්පතේ
න චලති මේරුරිවාති වායුනා
වජිරනිව න භිජ්ජනෙ ඝනං
තමිදමතො කඨිනත්ති වුච්චති
කඨිනයෙහි ආනිශංස දැක්වෙන්නේ එලෙස ය. එහි අනුසස් මහපොළොව සේ ය. ඉතා ශක්තිමත් ය.
මහමෙර සේ ය. කවර ආකාරයකින් වත්, මහ සුළි සුළඟකින්වත් සෙලවිය නොහැකි ය. දියමන්ති
පර්වතයක් සේ ය. කැඩී බිඳී නොයන්නේ ය. එහෙයින් මේ චීවර මාසයේ කඨින පුණ්‍ය
මහෝත්සවයන්ට සහභාගී වෙමින් බෞද්ධ ගිහියාට ලැබී ඇති සුවිශේෂී අවස්ථාවෙන් ප්‍රයෝජන ගත
යුතුම ය.
වස් සමාදන් වූ දිනයේ සිට වස් තුන් මාසය නිම වී කඨින පින්කම් නිමවෙනතුරු භික්ෂූන්
වහන්සේ ප්‍රතිපදාවන් සමාදන් ව ඒවා ආරක්ෂා කරමින් ආධ්‍යාත්මික ගුණ වගාවන් දියුණු
කරති. බොහෝ පින් කුසල් රැස් කරති. උන්වහන්සේට වස් ආරාධනා කළ දායක පින්වතුන් ද මේ
හාර මාසය තුළ විශේෂ වත් පිළිවෙත් ආරක්ෂා කරති. භික්ෂූන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන
කරමින් පින්කම්වලට සහභාගි වෙමින් තමන් ද ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කර ගනිති. මේ
සියල්ලට ප්‍රමුඛ වන්නේ පිරිසුදු සිතිවිලි ය.
සාර මාසයක කාලයක් පමණ විහාරස්ථානය සමඟ නොකඩවා සම්බන්ධ වෙමින් මෙසේ ගොඩනඟා ගත්
ආධ්‍යාත්මික දියුණුව ජීවිත කාලයට ම පවත්වා ගැනීම බෞද්ධයන් ලෙස ගිහි අපට පැවරෙන
වගකීම ය. සිත අපිරිසුදු කරන සිතිවිලි බැහැර කොට ධර්ම මාර්ගයේ ගමන් කරන්නට වස් කාලය
පුරා තමන් තුළ ගොඩනඟා ගත් පින්බර සිතිවිලි, ආධ්‍යාත්මික ගුණ ධර්ම තවදුරටත් වර්ධනය
කරනවා මිස වස් කාලය ද, කඨින පින්කම් ද අවසන් යැයි දහම් මාවතෙන් බැහැරවීම කිසිසේත්
නොකළ යුත්තකි.
බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතයේ දෙලොව දියුණුව පිණිස අනුදැන වදාළ පංචශීල ප්‍රතිපදාව
ජාති, ආගම්, භේදයකින් තොරව සියලු මිනිස් ප්‍රජාවටම අනුගමනය කළ හැකි වූවකි. ගිහි
ජීවිතයේ අනේක විධ ප්‍රශ්න, දුක් කම්කටොළුවලින් පීඩිත ගිහියාට නිරවුල් මනසකින්
ජීවිතය පවත්වා ගැනීමට පංචශීල ප්‍රතිපදාව ඉමහත් ප්‍රයෝජනවත් ය. මම කිසිවකුගේ ප්‍රාණය
උදුරා නොගනිමි. මා නිසා කිසිවකුට මරණ බියක් දැනෙන්නේ නැත. මම කිසිවකුගේ දෙයක්
සොරකම් නොකරමි. මම කාමය වරදවා නොහැසිරෙමි. බොරු නොකියමි. මදයට ප්‍රමාදයට පත්වන
මත්වතුර, මත් ද්‍රව්‍ය භාවිත නොකරමි යන උදාරතර ප්‍රතිපදාව තුළම දැනෙන අසීමිත සැනසුම
ජීවිතයේ බොහෝ ගැටලුවලට ලැබෙන අපූර්වතම වූ සාර්ථක විසඳුමකි. එහෙයින් පස් පවින්
දුරුවී වස්කාලය පුරා වෙහෙර විහාරස්ථාන සමඟ සම්බන්ධවෙමින් ගොඩනඟාගත් යහපත් ආකල්ප හා
හැසිරීම් තවදුරටත් සංවර්ධනය කරගන්නට තිර අධිෂ්ඨානයක් ඇති කර ගත යුතු ය. ජීවිත කාලය
පුරා සිත පෙළන ලද ලෝබ, ද්වේෂ, මෝහා දී අකුසල සිතුවිලි නිසා තමන්ට, අනුන්ට අනර්ථකාරී
ලෙස සිදුකළ ක්‍රියාවන්ගෙන් දුරස්ව ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් යහපත් ජීවිතයකට මෙම
පින්බර කාලය ම ඇරඹුමක් කර ගනිමු. |