ලෝකය බබළවන හිරු සඳු වගේ වෙන්න කැමැති ද?
අම්මාගේ ආදරයට ආදරය කරන පොඩි දරුවෝ කවදාවත් හොරකම් කරන්නේ නැහැ. ඒක අම්මාට ලොකු
ලජ්ජාවක්. ගුරුතුමියට ගුරුතුමාට ලජ්ජාවක්.
ආදරණීය දුවේ පුතේ,
ඔබ හැමදෙනා ම පාසල් යනවා නේද? පුංචි ඔබට උගන්වන්න අම්මා තාත්තා වගේ ම ගුරුතුමියත්,
ගුරුතුමාත් හුඟාක් මහන්සි වෙනවා. ඒ නිසා තමා අපි ගුරුතුමියට ගුරු මව කියන්නේ.
ගුරුතුමාට ගුරුපියාණන් කියන්නේ. බුදුරජාණන් වහන්සේත් තමන්ට පුංචි කාලයේ සිට ම
උගන්වපු ගුරුතුමන්ලාට ගෞරව කළා. කියන දේ ඇහුවා. සතුටුයි නේද?
දරුවන් පාසලට එනතුරු ගුරුතුමා ගුරුතුමිය මඟ බලාගෙන ඉන්නවා. දරුවන්ට උගන්වන්න තියෙන
පුංචි කාලය නාස්ති කරන්න හොඳ නැහැ කියලා ඒ අය දන්නවා. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා
කියන්නෙ ලස්සනට ‘අ’ ලියනවාට විතරක් නොවේ. අදහස් එකතු කරලා රචනාවක් ලියනවාටත් නෙමේ.
ලොකු ලොකු විභාග පාස් කරනවාටත් නෙමේ. ඒ සේරම ඕනෑ. ඒත් ගෙදර දී වගේම පාසලේ දී ත්
යහපත් ගතිගුණ ඉගෙන ගන්න එකත් ළමයින්ගේ වගකීමක්. අයිතියක්. යුතුකමක්.
මගේ පෑන නැතිවෙලා, පැන්සල නැතිවෙලා, පොත නැතිවෙලා කිය කියා මහ හයියෙන් අඬ අඬා පාසල්
නො යන දරුවොත් අපට නැහැ. හැම දෙනාම දන්නවා හොඳට ඉගෙන ගත්තොත් ලෝකය බබළවන ඉරහඳ වගේ
වෙන්න පුළුවන් කියලා.
දරුවන්ගේ අඩුපාඩු හොයලා උදව් කරන ගුරු මව්වරු, ගුරු පියවරු අපට ඉන්නේ. ඉතින් අපි
මොකටද පන්තියේ ළඟම ඉන්න යහළුවාගේ පෑන, පැන්සල, වතුර බෝතලය, කෑම පෙට්ටිය හොරෙන්
ගන්නේ. අපි ‘අ’ යන්නෙන් අම්මා ගැන ඉගෙන ගන්නවා. ‘ආ’ යන්නෙන් ආදරය ගැන ඉගෙන ගන්නවා.
අම්මාගේ ආදරයට ආදරය කරන පොඩි දරුවෝ කවදාවත් හොරකම් කරන්නේ නැහැ. ඒක අම්මාට ලොකු
ලජ්ජාවක්. ගුරුතුමියට ගුරුතුමාට ලජ්ජාවක්. ගමට ලජ්ජාවක්. පුංචි දරුවෝ හොරකම් කරනවා
දකින්න බුදු පියාණන් වහන්සේත් කැමැති නැහැ. හොරකමක් කරපු රාජ කුමාරයෙක් ගැන කතාවක්
බුදුපියාණන් වහන්සේ දරුවන්ට කියලා දී තියෙනවා. අපි ඒක මතක් කරමු නේද?
ඉස්සර කාලයේ ඉන්දියාවේ තක්ෂිලා නගරයේ ලොකුම ලොකු පාලසක් තිබුණා. පාසලක් කියනවට
වැඩිය හොඳ විශ්වවිද්‍යාලය කියලා මතක තියා ගමු.
මේ විශ්වවිද්‍යාලයේ ලොකු ගුරුතුමා දිසාපාමොක්. ලෝකයේ හුඟක් රටවල දරුවෝ තක්ෂිලාවට
ආවා ඉගෙන ගන්න. එතුමා ඒ හැම දෙනාටම කරුණාවෙන් දයාවෙන් ඉගැන්නුවා. රාජ කුමාරවරු,
පොහොසත් දරුවන් වගේ ම මුදල් නැති වුණත් ඉගෙන ගන්න කැමති දරුවොත් හිටියා. ඒ හැම
දෙනාම ගුරුතුමාට කීකරු ව හොඳට ඉගෙන ගත්තා.
දවසක් ගුරුතුමා දරුවන් සමඟ ළඟ තියෙන ගඟකට නාන්න ගියා. ඒ යන පාරේ එක ගෙදරක අත්තම්මා
කෙනෙක් පාර අයිනේ පැදුරක් දාලා තල අතුරලා වේළනවා. ගුරුතුමාට පිටි පස්සෙන් ගිය
දරුවෙක් තල පැදුර දැක්කා. එයාට තල කන්න ආසාවක් ඇති වුණා. වට පිට බලලා තල අහුරක් කටේ
දා ගත්තා. මේ හොර වැඩේ අත්තම්මා දැක්කත් පොඩි ළමයෙක් නේ කියලා එදා හිතුවා. ඒත් ඊළඟ
දවසක තල හොරා කන කොට එයාට කේන්ති ගියා.
ගුරුතුමනි, ඔබ මේ දරුවන්ට උගන්වන්නේ මොනවාද? හොරකම් කරන්නද? හැදිච්චකම, යහපත්
පුරුදු, අනුන්ට පාඩුවක් කරදරයක් නොකර ජීවත් වෙන්න උගන් වන්නේ නැද්ද? ලජ්ජයි
ගුරුතුමනි ලජ්ජයි.
දරුවාට දඬුවමක් නොදුන්නොත් අනිත් දරුවොත් හොරකමට පුරුදු වෙනවා. මෙයත් ලොකු වුණාම තව
තව හොරකම් කළොත් රාජ නීතියෙන් හරි මිනිස්සුන්ගෙන් හරි දඬුවම් ලබනවා. මගෙන් පාරක්
කාලා හැදෙන එක එයාට නම්බුවක්.
ගුරුතුමා හයිය කෝටුවක් ගත්තා. රාජ කුමාරයෙක් වුණත් නීතියට, හැදිච්චකමට හිස නමන්න
ඕනෑ කියලා තල හොරාගේ අතට පාර හත අටක් දුන්නා රිදෙන්නම.
යහළුවන් ඉස්සරහ තමන්ට පහරදීම ගැන රාජ කුමාරයාට හොඳටම කේන්ති ගියා. කඳුළු පෙර පෙරා
හඬ හඬා හිතුවා මා රාජ කුමාරයෙක්.
දවසක මා අපේ රටේ රජතුමා. එදාට මම දිසාපාමොක්ට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා.
දුවේ පුතේ අපගේ බුදුපියාණන් වහන්සේ මේ කතාව දරුවන්ට කියලා දුන්නේ බොහොම කරුණාවෙන්.
වැරැද්දකට දඬුවම් කළාම තරහ වෙන්න හොඳ නැහැ.
“මට සමාවෙන්න, ආයෙ මා වැරැද්දක් කරන්නේ නැහැ. මං හොඳ ළමයෙක් වෙනවා. මට සමාවෙන්න.”
කියලා සමාව ඉල්ලනවා වගේම ආයෙත් නරක වැඩ නොකර ඉන්න එක තමා හොඳ.
ප්‍රවීණ ලේඛිකා
සෝමා ජයකොඩි |