ලක්දිව සංඝරාජ පදවිය
10:
විදුලකර නාහිමිවරුන් හොබවන
කොළඹ හලාවත දෙදිසාවේ
ප්‍රධාන සංඝනායක පදවිය
සියම් මහා නිකායෙහි මල්වතු පාර්ශ්වයට අයත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටින
විද්‍යාලංකාර පිරුවන ආරම්භයෙහි පටන් අද දක්වාම ස්වකීය සංඝ මූලස්ථානයෙහි නොමඳ
සම්භාවනාවට පත්වූ බැව් සඳහන් කළ යුතු ය.
යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමි කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන
සංඝනායක පදවියෙන් පුද ලැබීම |
රත්මලානේ ධර්මාරාම නාහිමියන්ගේ පටන් අද දක්වා විද්‍යාලංකාර පරිවේණාධිපති පදවියෙන්
සම්මානිත වන නායක හිමිපාණන් වහන්සේ වෙත ‘කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක
පදවිය’ සහ ‘ධර්‍මකීර්ති ශ්‍රී’ සහ ‘ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය’ ගෞරව නාමෝපලක්ෂිත ව
රාජපූජිත මල්වතු මහා විහාරයේ මංගලෝපෝෂථාගාරයෙහි උපාධ්‍යාය පදවියක් පිරිනැමීම මල්වතු
මහා විහාරය විසින් නොකඩවා සිදු කොට ඇත. තත්කාලීන ලේඛනයන්හි ලංකා ද්වීපයෙහි පශ්චිම
දිශානුදිශාවන්හි ප්‍රධාන සංඝ නායක, කොළඹ පළාතේ මහා නායක වැනි යෙදුම්වලින් මෙම පදවිය
හඳුන්වා තිබේ.
විද්‍යාලංකාර පිරුවන වෙත වසර එකසිය විසි පහකට ආසන්න කාලයක් හිමි වී ඇති කොළඹ හලාවත
දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ යමක් සඳහන් කරනු වටී. 1829 අගෝස්තු 25 වැනි
දා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා විසින් කෝට්ටේ රාජමහා විහාරාධිපති පිලානේ
බුද්ධරක්ඛිත හිමියන් වෙත කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක පදවිය
පිරිනමන ලදි. 1831 පිලානේ නාහිමියන් අපවත් වීමෙන් පසු තත්ශිෂ්‍ය මලිගස්පේ මංගල
හිමියන් වෙත 1832 සැප්තැම්බර් 21 වැනි දා එකී නායක පදවිය පිරිනමන ලදි. 1847 වසරේ දී
වයිකවුන්ට් ටොරින්ටන් ආණ්ඩුකාරවරයා විසින් ශාසනික කටයුතුවල වගකීම්වලින් රජය ඉවත්
වෙමින් නායක පදවි පිරිනැමීමේ බලය සංඝ සභාවලට පවරා දෙන ලදි. 1856 වසරේ දී මලිගස්පේ
මංගල හිමියන් ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පිහිටුවීමට මූලිකත්වය
ගැනීම නිසා මල්වතු මහා විහාරය විසින් නායක පදවිය අහෝසි කොට වාද්දුව සමුද්‍රාසන්න
විහාරයේ වාද්දුවේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ වෙත පිරිනමන ලදි. ඉනික්බිතිව වාද්දුව
සඟ පරපුරට ම අයත් වූ ගොරකාන කන්දේ විහාරාධිපති ගෝණදූවේ සෝණුත්තර හිමියන් සහ දෙදියවල
බුද්ධරක්ඛිත හිමියන් කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ නායක පදවිය හෙබවූහ.
විද්‍යොදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් 1890 වර්ෂයේ දී කොළඹ නව
කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පුද ලද අතර, කොළඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය
හෙවත් කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය දැරූ දෙදියවල
බුද්ධරක්ඛිත නාහිමියන් 1893 මැයි මාසයේ අපවත් වූ පසු රත්මලානේ ධර්මාරාම නාහිමියන්
වෙත 1893 ජූලි මස නායක පදවිය පුද දෙන ලදි.
1910 වකවානුව වන විට කුරුණෑගල, පුත්තලම සහ හලාවත යනුවෙන් වයඹ පළාතෙහි දිස්ත්‍රික්ක
තුනක් පැවතිය ද අද වන වි ට කුරුණෑගල සහ පුත්තලම යනුවෙන් දිස්ත්‍රික්ක දෙකක් පමණක්
සලකුණු කර ඇත. මෙම හලාවත දිසාවේ නායක පදවිය ධර්මාරාම නාහිමියන් ද ධරමාන වූ 1910 වන
විට ලංකාවේ පැවති හලාවත දිස්ත්‍රික්කයේ නායක පදවිය ලෙස අනුමාන කළ හැකි ය.
නාත්තන්ඩිය වීරහේන විද්‍යාරත්න පිරුවන වැනි විහාරස්ථාන තත් ප්‍රදේශයෙහි ධර්මාරාම
නාහිමියන්ගේ ආධිපත්‍යයෙන් පැවතීම නිසා හලාවත පළාතේ ද සම්භාවනීයත්වයට පත්වන්නට ඇත. ඒ
වන විට කොළඹ නායක පදවිය දැරූ රත්මලානේ ධර්මාරාම නාහිමියන් හලාවත නායක පදවිය
ලැබීමෙන් පසු කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක හිමියන් වශයෙන් ප්‍රසිද්ධියට
පත් විය.
රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පසු කොළඹ හලාවත දෙදිසාවේ
ප්‍රධාන සංඝ නායක පදවිය විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට පත් ලුණුපොකුණේ ශ්‍රී
ධර්මානන්ද නාහිමියන් වෙත පුද දෙන ලදි. ඉනික්බිතිව අද දක්වා විද්‍යාලංකාර
පරිවේණාධිපති පදවිය හොබවන සෑම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකම එකී සම්භාවනීය
පදවියෙන් පිදුම් ලබා ඇත. මේ අනුව කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, යක්කඩුවේ
ශ්‍රී ප්‍රඥාරාම නාහිමි සහ නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමියන්ගෙන් පසු
වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් මෙම පදවි හෙබවූහ.
විද්‍යාලංකාර පිරුවනෙහි උපපරිවේණාධිපති පදවිය හොබවන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් සම්මානිත කිරීම ද මල්වතු මහා
විහාරයේ සිරිතකි. 1917 වර්ෂයේ ලුණුපොකුණේ ධර්මානන්ද නාහිමියන් ද, 1922 වර්ෂයේ දී
කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියන් ද , 1986 වර්ෂයේ දී වැලමිටියාවේ කුසලධම්ම
නාහිමියන් ද කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝ නායක පදවියෙන් සම්මානිතවී ඇති අතර,
මඩකුඹුරේ පවරධම්ම හිමියන්ට පසු නාවින්නේ සුගුණධම්ම හිමියන් එම පදවිය හොබවයි.
විද්‍යාලංකාර පිරුවනෙහි ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පටන් සෑම
පරිවේණාධිපති හිමි නමකටම මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගලෝපෝෂථාගාරයේ උපාධ්‍යාය
පදවියක් පිරිනමනු ලැබේ. මල්වතු මහාවිහාරය විසින් ප්‍රථම වරට පහතරට හිමිනමකට
උපාධ්‍යාය පදවියක් පිරිනමන ලද්දේ විද්‍යොදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමගංල
නාහිමියන් වෙත ය. ශ්‍රී සුමංගල නාහිමියන් අපවත් වීමෙන් පසු විද්‍යාලංකාරයේ ශ්‍රී
ධර්මාරාම නාහිමියන් උපාධ්‍යාය පදවියෙන් හා ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගෞරව උපාධියෙන්
සම්මානිත වී ඇත.
කුරුණෑගල යුගයේ සිව්වන පරාක්‍රමබාහු රජ දවස විල්ගම්මුල සංඝරාජ මාහිමියන් සටීකාර්ථ
කථා ත්‍රිපිටක ධර්මයෙහි නොපැකිළ පැවති බුද්ධි ඇති හෙයින් ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය
නාමයෙන් පුද ලද බවත් ඉන් පසු රාජගුරු වනරතන මාහිමි, ධර්මකීර්ති මාහිමි, ද්විතීය
ධර්මකීර්ති මාහිමි, ගලතුරුමුල මෛත්‍රෙය මාහිමි, තොටගමුවේ රාහුල මාහිමි, පැපිලියානේ
මංගල මාහිමි යන මාහිමිවරුන් මෙම පදවිය ශෝභාවත් කළ බවත් සඳහන් ව ඇත.
විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේලා වෙත ධර්මකීර්ති ශ්‍රී යන ගෞරව නාමය ද මල්වතු
මහා විහාරය විසින් පිරිනැමීම සිරිතකි. එය විද්‍යාලංකාර සඝ පරපුරෙහි ආදිතමයා වූ
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය වූ ආසිදෙණියේ ශ්‍රී ධර්මකීර්ති මාහිමියන්ගේ
නාමය සිහිපත් කිරීමට පුද දෙනු ලබන බව කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්
සඳහන් කොට ඇත.
කොළඹ හලාවත දෙදෙසාවේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත අවස්ථාවේ දී විද්‍යාලංකාර
පරිවේණාධිපති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වෙත ‘ධර්මකීර්ති ශ්‍රී’ නාමාධෙයය
පිරිනමන්නා සේ ලුණුපොකුණේ ධර්මානන්ද නාහිමියන් එහි උපප්‍රධාන පදවියෙන් සම්මානිත වන
අවස්ථාවේ දී ‘කීර්ති ශ්‍රී’ නාමාධෙයය පිරිනැමූ බව ධර්මානන්ද චරිතයෙහි සඳහන් වෙයි.
දිමුතු පුන්සර කොළඹගේ |